Monday, February 23, 2026
Epaper
Home විශේෂාංගඅනියම් මාවත්වල අතරමං වන ආත්මීය බැඳීම්…

අනියම් මාවත්වල අතරමං වන ආත්මීය බැඳීම්…

by Shanaka Lakehouse

ආදරය යනු හුදෙක් හැඟීමකි. ඒ හැඟීම කාලයක් තිස්සේ සෙමින් මෝදු වන්නටත් හැකිය. නැතහොත් එක රැයකින් හදවත තුළ ජනිත වන්නටත් හැකිය.

ආදරය උපදින්නා සේම, එය කාලයක් තිස්සේ වියැකී යාමට හෝ එක් නිමේෂයකින් එපා වීමට ද පුළුවන. සැබෑ ආදරය යනු අනෙකා වෙනුවෙන් තමන් කෙතරම් දුරට දරාගන්නවාද යන කාරණාව මත පදනම් වූවකි. අනෙකා වෙනුවෙන් ඉවසන්නට, දරාගන්නට සහ කැපවෙන්නට ඇති හැකියාව ආදරයේ හරය ලෙස හැඳින්විය හැකිය.

ආදරය යනු එක වචනයකට හෝ එක් නිර්වචනයකට සීමා කළ හැක්කක් නොවේ; එය අතිශය සංකීර්ණ වූත්, සුන්දර වූත් මානුෂීය අත්දැකීමකි. එහි සැබෑ පැවැත්ම ඇත්තේ නිදහස තුළය. තමන් කැමැති දෙයක් කිරීමටත්, තමන් ප්‍රිය කරන ඇඳුමක් ඇඳීමටත්, තමන් කැමැති තැනකට යාමටත් ඉඩහසර ලැබෙන තැන ආදරය පවතී. කෙටියෙන් කිවහොත්, තමන්ට “තමන්” වීමට ඉඩ දෙන තැන සැබෑ ආදරය ලැගුම් ගනී.

වර්තමානයේ බොහෝ දෙනා ආදරය ලෙස වටහා ගන්නේ ද්‍රව්‍යමය දේවල් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයි. ඒ දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ආදරය ඇත්තේ ධනවතුන් අසල පමණක් බවයි. නමුත් සැබෑව එය නොවේ. මෙයට හොඳම උදාහරණය වන්නේ අද සිටින පෙම්වතා හෝ පෙම්වතිය මීළඟ වැලන්ටයින් දිනය වන විට වෙනස් වී තිබීමයි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ දෙදෙනා අතර අවංක අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැති වීම සහ ඔවුන්ගේ බැඳීම හුදෙක් ද්‍රව්‍යමය ගනුදෙනුවකට පමණක් සීමා වීමයි.

පුද්ගල සීමාවන් ආක්‍රමණය කරන කිසිදු තැනක සැබෑ ආදරයක් නැත. නිරන්තරයෙන් අනෙකාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීම, යන එන තැන් සැකයෙන් සෙවීම සහ සැක මුසු බැල්මෙන් අනෙකා දෙස බැලීම තුළ ප්‍රේමය මිය යයි. සැකය නිසා සිදුවන්නේ දෙදෙනාම එකිනෙකා රිදවා ගැනීම පමණි. එබැවින් අපට අවශ්‍ය වන්නේ අන්‍යෝන්‍ය විශ්වාසය, ඉවසීම සහ “කෙසේ හෝ ලබා ගැනීමේ” දැඩි තෘෂ්ණාවෙන් තොර වූ පරිණත ආදරයකි. ආදරය යනු වසරකට එක් වතාවක් එන වැලන්ටයින් දිනයට හෝ උපන්දිනයකට පමණක් සීමා වූ සැමරීමක් නොවේ. රතු රෝස මල් සහ තෑගි බෝග හුවමාරු කර ගැනීමට එහා ගිය, වසරේ දින 365 පුරාම එකිනෙකාට ගරු කරන, අවබෝධයෙන් පිරි උතුම් බැඳීමක් ඇති කර ගන්නේ නම් එය අතිශය වටිනා දෙයකි.

අවාසනාවකට මෙන්, වර්තමානයේ ආදරය යනු ලිංගිකත්වයට පමණක් සීමා වූවක් ලෙස ඇතැම්හු සලකති. පෙම්වතිය සමඟ හෝටල් කාමරයකට යාම හෝ ඇයව ලිංගිකව පරිභෝජනය කර අතහැර දැමීම ආදරය නොවේ. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතාවක් අවසන් වූ පසු, දෙදෙනා අතර තිබූ රහස්‍යභාවය සමාජයට මුදා හැරීම හෝ අනෙකා ලැජ්ජාවට පත් කිරීම කිසිසේත්ම ආදරය නොවේ. එහි තිබී ඇත්තේ ගනුදෙනුවක් පමණි. අවම වශයෙන් ව්‍යාපාරික ගනුදෙනුවකදී පවා අවසානයේ ගරුත්වය කෙලෙසන්නේ නැත.

නමුත් වර්තමාන ආදර සබඳතාවල එවැනි ගරුත්වය කෙ‍ෙලසා දැමීම් බහුලව දක්නට ලැබේ. අතීත සමාජය භෞතිකව දියුණු නොවූවත්, එදා පෙම්වතුන් ආදරය යනු කුමක්දැයි මැනවින් වටහාගෙන සිටියහ. ඔවුහු විවාහ වී දරුවන් ලැබූ පසුවත් ඒ ආදරය නොසැලී පවත්වා ගත්හ. ඔවුන් අතර ඉතා සුන්දර හා යහපත් ලිංගික සබඳතාවක් මෙන්ම ආත්මීය බැඳීමක් ද පැවතුණි. එදා නි‍ෙවසක දරුවන් සෙල්ලම් කරන විට මවුපියන් ද ඔවුන් සමඟ එක්වී සතුටු වූ අතර, පවුල තුළ ප්‍රබල අන්තර් සම්බන්ධතාවක් තිබුණි. බිරිය සහ සැමියා පෞද්ගලික පිරිසුදුකම මෙන්ම නි‍ෙවසේ පිළිවෙළ ගැන ද දැඩිව සැලකිලිමත් වූහ. උදෑසනම වැවට ගොස් ස්නානය කර, පිරිසුදු ඇඳුමින් සැරසී, පෝෂණීය ආහාර වේලක් සතුටින් භුක්ති විඳිමින් ඔවුන් ගත කළේ ආදරයෙන් පිරි ජීවිතයකි.

සැබෑ ආදරය තුළ ප්‍රබල සංඥා සහ ඉඟි තිබිය යුතුය. පංචේන්ද්‍රියයන්ට දැනෙන ශාරීරික ආකර්ෂණයට නොදෙවැනි වූ දැඩි මානසික සමීපතාවක් පෙම්වතුන් අතර තිබිය යුතුමය. ආදරය තුළ හිස්තැන් තිබිය නොහැකිය. එය කැපකිරීම, ආරක්ෂාව සහ අවංකභාවය යන උතුම් ගුණාංගවලින් පිරි පූර්ණ අත්දැකීමක් විය යුතුය.

විවාහකයන් අනියම් සබඳතාවල ට පෙලඹෙන්නේ ඇයි?

ප්‍රධානතම හේතුව විවාහය තුළ පවතින “චිත්තවේගීය හිස්බවයි.” සහකරුගෙන් ලැබිය යුතු ඇගයීම සහ අවධානය නොලැබෙන විට, මිනිසුන් බාහිර පුද්ගලයන් වෙත යොමු වේ. මීට අමතරව ලිංගික අතෘප්තිය සහ ඒකාකාරී බව ද බලපායි.

සැබෑ ආදරයත් තාවකලික ආකර්ෂණයත් පටලවා ගැනීම නිසා ඇති වන ගැටලු මොනවාද?

මෙම පටලවා ගැනීම නිසා විවාහ සංස්ථාව බිඳ වැටේ. තාවකාලික ආකර්ෂණය සැබෑ ආදරය යැයි සිතා ගොඩනඟාගත් පවුල් ජීවිතය අතහැර දැමීම නිසා දරුවන් අතරමං වේ. මෙය සියදිවි නසාගැනීම් වැනි බරපතළ සමාජ ගැටලු දක්වා වර්ධනය විය හැකිය.

සන්නිවේදනය මඟින් අනියම් සබඳතා අවම කළ හැකිද?

සන්නිවේදනය බිඳ වැටුණු තැන සැකය සහ රහස් උපදියි. දිනකට අවම වශයෙන් විනාඩි 15ක්වත් තම සහකරුට “විවේචනයෙන් තොරව” සවන් දීමට කාලය වෙන් කරන්න.

සමාජ මාධ්‍ය පවුල් ජීවිතයට තර්ජනයක් වී තිබෙන්නේ කෙසේද?

සමාජ මාධ්‍ය හරහා පැතිරෙන ව්‍යාජ වයිරසය මෙන් මිනිසුන් අතථ්‍ය ලෝකයට හුරු වෙති. එහි පෙන්වන ඔප දැමූ රූප සමඟ තමන්ගේ සහකරු සැසඳීමට යාම නිසා සැබෑ බැඳීම් පලුදු වේ. මේ සඳහා තාක්ෂණය බුද්ධිමත්ව භාවිත කිරීම අත්‍යවශ්‍යයි.

රැවටීම්වලින් වැළකී සිටීමට කාන්තාවන්ට කළ හැකි දෑ මොනවාද?

ක්ෂණිකව ලැබෙන අසීමිත ප්‍රශංසා සහ අවධානය ගැන විමසිලිමත් වන්න. තමන්ගේ ස්වයං ගරුත්වය සහ පවුලේ වටිනාකම ගැන සිතා බුද්ධිමත්ව තීරණ ගන්න.

මවකගේ අනියම් සම්බන්ධතාවක් දරුවන්ට බලපාන්නේ කෙසේද?

දරුවෙකුගේ ලෝකය මවයි. මවගේ මෙවැනි ක්‍රියාවක් හෙළි වූ විට දරුවා තුළ මානසික කම්පනයක් සහ අනාගතය පිළිබඳ අනාරක්ෂිත බවක් ඇති වේ.

සමාජය කාන්තාවට පමණක් දොස් කියන්නේ ඇයි?

මෙය පවතින පීතෘමූලික මානසිකත්වයේ ද්විත්ව ප්‍රමිතියයි. වරදකට දෙපාර්ශ්වයම වගකිව යුතු බවත්, ගරුත්වය දෙදෙනාටම පොදු බවත් සමාජය තවමත් පුළුල්ව වටහාගෙන නැත.

මනෝවිද්‍යා උපදේශනය කෙතරම් වැදගත් ද?

එය ඉතා සාර්ථක විද්‍යාත්මක ක්‍රමයකි. ආවේගශිලීව තීරණ ගන්නවාට වඩා, මනෝවිද්‍යා උපදේශකයෙකු මඟින් බිඳුණු විශ්වාසය පිරිසුදු සිතින් නැවත ගොඩනඟා ගැනීමට වෘත්තීය මගපෙන්වීමක් ලබා ගත හැකිය.

පවුලේ අන්තර් සම්බන්ධතාවෙන් ගැටලු අවම කළ හැකි ද?

සැබවින්ම ඔව්. පවුලක් තුළ සාමූහිකත්වය සහ ආදරය ශක්තිමත් නම්, සාමාජිකයන් නීරෝගි මානසිකත්වයකින් යුතුව කටයුතු කරයි. එවැනි පසුබිමක හැදෙන දරුවන් අනාගතයේදී වගකීම් සහගත පුද්ගලයන් බවට පත් වේ.

TEXT – සහන් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?