Monday, February 23, 2026
Epaper
Home විශේෂාංගදරුවන්ගේ හිත හදන පොත් කුටිය

දරුවන්ගේ හිත හදන පොත් කුටිය

by Shanaka Lakehouse

වර්තමාන ලෝකයේ සෑම දෙයක්ම පාහේ තාක්ෂණය සමඟ ඒකාබද්ධ වී පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩිහිටියන් මෙන්ම දරුවන්ද තම දෛනික කටයුතු සඳහා ස්මාර්ට් දුරකතන, ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක භාවිත කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි. මෙනිසා ඔවුන් සමාජ මාධ්‍යයන්හි හා අන්තර්ජාලයෙහි වැඩි වෙලාවක් ගත කරමින් සිය අධ්‍යාපන කටයුතු සඳහා විවිධ බාධා ඇති කර ගනියි. මෙවන් පරිසරයක පොතක් අතට ගත් දරුවකු නිර්මාණය කළ හැකි නම් එය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කරනු ලබන ඉතා වටිනා ආයෝජනයකි.

දරුවකු තුළ කියවීම් රුචිය වර්ධනය කිරීමට නම් නිවෙස තුළ නිතර පොතපත ඇස ගැටෙන පරිසරයක් තිබීම අත්‍යවශ්‍ය වේ. පොත් කියවීමට යොමු කිරීම යනු හුදෙක් කතන්දර කියවීම පමණක් නොව, ලොව වටා විසිරී ඇති දැනුම ලබා ගැනීමට දරුවා පෙලඹවීමයි. මේ සඳහා පදනම දැමිය යුත්තේ තමන්ගේ නිවෙස තුළිනි. මවුපියන් වශයෙන් ඔබට නිවෙසේ කුඩා ඉඩකඩක් භාවිත කරමින් “ගෘහස්ත පුස්තකාලයක්” හෙවත් “පොත් කුටියක්” ඉතා පහසුවෙන් දරුවාට නිර්මාණය කර දිය හැකිනම් දරුවාගේ කියවීම් රුචිය ඉතාමත් වේගයෙන් වර්ධනය කළ හැකියි.

මෙවැනි පුස්තකාලයක් නිර්මාණය කිරීමට විශාල කාමරයක් හෝ මිල අධික රාක්ක අවශ්‍ය නොවේ. නිවෙසේ ඇති කුඩා ඉඩකඩක්, කුඩා රාක්කයක් හෝ පාවිච්චි කරන ලද කාඩ්බෝඩ් පෙට්ටියක් වුවද මේ සඳහා යොදා ගත හැකිය. එයට දරුවා සතු කතන්දර පොත්, චිත්‍ර පොත් සහ විවිධ පුවත්පත් එක්කර වර්ණ සහ චිත්‍ර යොදාගෙන එම ස්ථානය අලංකාර කිරීමට මාවුපියන්ට මෙන්ම දරුවාට ද හැකියාව පවතී. මවුපියන්ගේ උදවු ඇතිව දරුවාම මෙම කාර්යයන් සිදු කිරීම මඟින් එම ස්ථානය කෙරෙහි ඔවුන් තුළ වැඩි ආශාවක් සහ උනන්දුවක් ඇති වෙයි.

මෙම පුංචි පුස්තකාලය දරුවා සතු වූ පමණින්ම එහි නියම ප්‍රයෝජනය ගත නොහැකි අතර එය නිරන්තරයෙන් පරිහරණය කිරීමට දරුවාව දිරිමත් කළ යුතුය. දිනකට අවම වශයෙන් විනාඩි 15ක් පමණ පොතක් කියවීමට දරුවා හුරු කරවීමෙන් ඔවුන්ගේ කියවීමේ හැකියාව සහ පරිකල්පන හැකියාව දියුණු වේ. එමෙන්ම මෙය දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට මෙන්ම ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනා ගැනීමටද මහෝපකාරී වේ. මෙමඟින් ස්මාර්ට් තිරයේ නිතර සිටීම මඟින් දරුවාට ඇතිවිය හැකි අක්ෂි ආබාධද වළක්වා ගත හැකි වේ. එබැවින් දරුවාගේ හෙට දවස වෙනුවෙන් ඔබත් අදම නිවෙස තුළ මෙවැනි පුංචි පොත් කුටියක් තනා දෙන්න.

TEXT – රොෂානි ලක්මිණි (පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශයකැලණිය විශ්වවිද්‍යාලය)

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?