Monday, February 23, 2026
Epaper
Home වෛද්‍යසිර වූ ස්නායුවේ සැඟවුණු අනතුර

සිර වූ ස්නායුවේ සැඟවුණු අනතුර

කොඳු ඇට පෙළෙහි ස්නායු තෙරපුම පිළිබඳ දැනගමු

by Shanaka Lakehouse

ඔබත් එකම ඉරියව්වෙන් එක දිගට වැඩ කරන කෙනෙක්ද? නිතර නිතර බෙල්ල, තුනටිය, අත්, කකුල්වල වේදනාවෙන් පසු වෙනවාද? ඔබත් මෙලෙස එකම ඉරියව්වෙන් සිට වැඩ කරන කෙනෙක් නම් ඔබට ස්නායු තෙරපීමේ තත්ත්වයට මුහුණ දීමට වැඩි කල් ගතවන්නේ නැත. ස්නායු තෙරපුම වයස් භේදයකින් තොරව ලොකු කුඩා ඕනෑම කෙනෙකුට වැරදි ඉරියව් භාවිත කිරීම නිසාවෙන් ඇති විය හැකි තත්ත්වයකි. ඒ අතරින් විශේෂයෙන් මේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇති වන ස්නායු තෙරපුම් තත්ත්වය නොදැනුවත්වම බොහෝ දෙනෙකුට ඇති වන රෝගී තත්ත්වයකි. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය දිගින් දිගටම නොසලකා හරින්නේ නම් අර්ධ අංශභාග තත්ත්වයන්ට පවා මුහුණ දීමට ඔබට සිදු විය හැකිය. ඒ නිසා මේ ස්නායු තෙරපීම පිළිබඳව අවබෝධයක් ලැබීම ඔබ සියලු දෙනාටම ඉතා වැදගත් වන්නේය.

කොඳු ඇට පෙළෙහි ස්නායු තෙරපුම ඇති වන්නේ කොහොමද?

කොඳු ඇට පෙළ යනු මනුෂ්‍ය ශරීරයේ අස්ථි කොටස් තිස් තුනකින් සමන්විත අස්ථි පද්ධතියකි. මෙය ග්‍රෛවීය කශේරුකා, පෘෂ්ඨීය කශේරුකා, කටී කශේරුකා, ත්‍රිකාස්ථිය, අනුත්‍රික කශේරුකා වශයෙන් කොටස් කිහිපයකින් සමන්විත වේ. මෙම කොටස් අතරින් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු හට ස්නායු තෙරපීම් ඇති වන්නේ ග්‍රෛවීය කශේරුකා, කටී කශේරුකා යන කොටස්වලය. මේ ග්‍රෛවීය කශේරුකා කොටස ලෙස අප හඳුන්වන්නේ ගෙල (බෙල්ල) ප්‍රදේශයේ පිහිටා ඇති කොඳු ඇට පෙළ ආශ්‍රිතව එන ප්‍රධාන අස්ථි කොටස් හතයි. එමෙන්ම කටී කශේරුකා කොටස ලෙස හඳුන්වන්නේ තුනටිය ආශ්‍රිතව ඇති අස්ථි කොටස් පහයි. ප්‍රධාන වශයෙන් මේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව සිදු වන ස්නායු තෙරපීම් ඇති වන්නේ මෙකී අස්ථි කොටස්වලය.

ස්නායු තෙරපීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. ඉන් එකක් නම් අධික පීඩනයක් යෙදීම නිසා හෝ වැරදි ඉරියව් භාවිතය නිසා කොඳු ඇට එහා මෙහා වීමෙන්, කොඳු ඇටය මූලික කරගෙන ඇති වන ස්නායු තෙරපුම් තත්ත්වය හා අනෙක් අවස්ථාව නම් කොඳු ඇට ද්විත්වයක් අතර ඇති අන්තර් කශේරුකා මඬල පිටතට පැමිණීම තුළින් ඇති වන ස්නායු තෙරපුම් තත්ත්වයයි.

කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු තෙරපුම ඇති වීමට හේතු

කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු තෙරපුමේ තත්ත්වයන් ඇති වීමේදී විශේෂයෙන්ම බලපාන කාරණාවක් ලෙස වැරදි ඉරියව් භාවිත කිරීම පෙන්වා දිය හැකිය. විශේෂයෙන් ඔබ එකම ඉරියව්වකින් රැකියාවක් හෝ වෙනත් කාර්යයක නිරත වන්නේ නම් එම අවස්ථාවල වැරදි ඉරියව් භාවිත කරන විට මෙම කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු තෙරපීම් තත්ත්වයට ලක් විය හැකිය. උදාහරණයක් ලෙස ඔබ නිතරම එකම ඉරියව්වකින් දුරකතනය හෝ පරිගණක තිරය දෙස බලා සිටින විට අධික පීඩනයක් කොඳු ඇට පෙළේ ග්‍රෛවීය කශේරුකාවලට එල්ල වෙයි. එමෙන්ම කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇති වන ස්නායු තෙරපීමට බලපාන තවත් හේතුවක් ලෙස අප ශරීරයේ ඇති සුෂුම්නාව ගමන් කරන්නේ කොඳු ඇට පෙළෙහි ඇති සුෂුම්නා නාළය හරහා වීමද එක් හේතුවකි.

මෙහි ඇති රෝග ලක්ෂණ මොනවාද?

ග්‍රෛවීය කශේරුකා ආශ්‍රිතව ස්නායු තෙරපීමක් ඇති වූ විට එහි වේදනාකාරී බලපෑම එල්ල වන්නේ අප ශරීරයේ ඇති අත්වලටය. ඒ අනුව ග්‍රෛවීය කශේරුකා ආශ්‍රිතව ස්නායු තෙරපීමක් ඇති වූ විට අත් හිරිවැටීම, අත් අප්‍රාණික වීම, එක් අතක හෝ අත් දෙකෙහිම විදුලි කොටනවා සේ ඇති වන නොනැවතෙන වේදනා තත්ත්වය වැනි රෝග ලක්ෂණ පළ කළ හැකිය.

කටී කශේරුකා (තුනටිය) ප්‍රදේශය ආශ්‍රිතව ස්නායු තෙරපීමේ තත්ත්වයක් පැමිණි විටදී එහි වේදනාකාරී බලපෑම ඇති වන්නේ අප ශරීරයේ ඇති දෙපාවලටය. ඒ අනුව කටී කශේරුකා ප්‍රදේශය ආශ්‍රිත ස්නායු තෙරපුමක් ඇති වූ විට ඇති වන රෝග ලක්ෂණ ලෙස දෙපා හිරිවැටීම, දෙපාවල එක දිගට ඇති වන වේදනාකාරී තත්ත්වය, දෙපාවල ඇති වන අප්‍රාණික බව ආදි රෝග ලක්ෂණ පෙන්වා දිය හැකිය.

මෙහි ඇති අවදානම් තත්ත්ව මොනවාද?

දිගින් දිගටම ඔබ ස්නායු තෙරපීමේ තත්ත්වයට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් ඇතැම් විටෙකදී අර්ධ අංශභාග තත්ත්වයකට පවා පත් විය හැකිය. එනම් ඔබේ එක් අතක් හෝ එක් කකුලක් අප්‍රාණික වීම සිදු විය හැකිය. මේ නිසා ඉහත සඳහන් රෝග ලක්ෂණවලින් ඔබ පසු වන්නේ නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩා යෝග්‍ය වේ.

මෙම තත්ත්වය නැති කර ගැනීමට ගත හැකි පිළියම් මොනවාද?

ග්‍රෛවීය කශේරුකා හා පෘෂ්ඨීය කශේරුකා ස්නායු තෙරපීම්වල වේදනාව ඇති වන්නේ දෙඅත් සහ දෙපාවලට වුවද මේ සඳහා ප්‍රතිකාර කළ යුත්තේ බෙල්ල සහ තුනටිය යන ප්‍රදේශවලටය. සාමාන්‍යයෙන් මේ අත්පාවල ඇති වන හිරිවැටීම් තත්ත්වය සතියක් හෝ සති දෙකක් පමණ ඇත්නම් ඔබ අනිවාර්යයෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවීම වඩා යෝග්‍ය වේ.

මේ තත්ත්වය මඟහරවා ගැනීමට නිවෙසේ සිට සිදු කරන අත්බෙහෙත් ක්‍රම භාවිතයට (තෙල් ගැල්වීම ආදි) වඩා වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු වේ. නමුත් අපි නිරන්තරයෙන් නිසි ඉරියව් භාවිත කරන්නේ නම් අපට මේ ස්නායු තෙරපීමේ තත්ත්වය මඟහරවා ගත හැකිය. දෛනික ජීවිතයේදී අසුන් ගැනීමේදී, නිදා ගැනීමේදී විධිමත් හැඩයකට අප ඉරියව් පවත්වා ගත යුතුය. උදාහරණ ලෙස ඔබ නිතර පරිගණක භාවිත කරන්නේ නම් ඇස් මට්ටමක සිට පරිගණක මුහුණත දෙස බැලීම, නිතර නිතර තමා සිටින ඉරියව්ව ප්‍රකෘතිමත් කිරීම සිදු කිරීම වැදගත් වේ. එමෙන්ම ඔබ මේ තත්ත්වයට දැනටමත් ගොදුරු වූ අයෙක් නම් අස්ථි පංජරය ශක්තිමත් වන ව්‍යායාමවල නිරත වීම, අස්ථි සෞඛ්‍ය වඩවන පෝෂ්‍ය පදාර්ථ (කැල්සියම්, විටමින් D) ඌනතාවකින් තොරව ලබා ගැනීම වැනි විධිමත් ප්‍රතිපදාවන් ක්‍රියාත්මක කරන්නේ නම් කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇති වන ස්නායු තෙරපීමේ තත්ත්වයෙන් ඔබට ගැලවිය හැකිය.

 

TEXT – ජීවන්ත ගුණවර්ධන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?