විවාහපත් නව යුවළකට මවුපියන් වීමේ සිහිනය තවදුරටත් බොඳව යා යුතුද? තාක්ෂණය අතින් ඉහළින්ම සිටින මෙවන් සමයක වෛද්‍ය විද්‍යාව තුළ ද විවිධ ප්‍රාතිහාර්යයන් පායි. ART (Assisted Reproductive Techniques – IUI, IVF, ICSI) ඔස්සේ මවක් පියෙක් වීමේ බලාපොරොත්තුව තවදුරටත් සඵලතාවට පත් වී ඇත. වඳභාවය (Infertility) නිසා අසහනයට සහ වේදනාවට පත්ව සිටින මවුපියන්ට මෙය සතුටට කාරණයකි.
මඳසරුභාවය යනු කුමක්ද?
නාල අවහිර වීම (Tube Block) මඳසරුභාවයට ප්‍රධාන හේතුවක් වන අතර වැදගත්ම හේතුව ද එය වේ. එමෙන්ම ක්‍රමානුකූලව ඩිම්බ නිදහස් නොවන බොහෝ කාන්තාවන් මුහුණ දෙන පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) ලෙස හැඳින්වෙන හෝමෝන අසමතුලිතතාව නිසා මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. එහිදී ඇති වන අධික වේදනාව, හෝමෝන වෙනස් වීම සහ මුහුණ ආශ්‍රිතව අසාමාන්‍ය රෝම වර්ධනය (Hirsutism), හිසකෙස් ගැලවී යාම රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකියි. මේ සඳහා ව්‍යායාම, ආහාර පාලනය මඟින් බර අඩු කර ගැනීම පළමු අදියරේ ප්‍රතිකාර වන අතර ඖෂධ ලබා දීම දෙවන අදියර වේ. තුන්වන අදියර ලෙස ලැපරොස්කොපි පරීක්ෂණය මඟින් සහනයක් ලබා ගත හැකි වේ.
ඩිම්බකෝෂ තුළ ගැටිති (Cyst) පැවතීම තවත් හේතුවකි. එහි පවතින කළු පැහැති රුධිර ගැටිති Chocolate Cyst නම් වේ. මෙවන් ගැටිති ගර්භාශය තුළ සහ පිටත ද දැකගත හැකි වන අතර ඉතාමත් වේදනාකාරී මාසික ඔසප් චක්‍රය සහ එහි ඇති වන බාධාවන් මෙන්ම එක්වීමේදී ඇති වන වේදනාව මඟින් රෝගය හඳුනාගත හැකි වේ. ගර්භාශය සම්බන්ධයෙන් ගත් කල එය තුළ ගෙඩි (Fibroid) පැවතීම, රුධිර කැටිති එකතුවක් (Adenomyosis) සෑදී තිබීම මඳසරුභාවයට හේතු වනවා මෙන්ම ගර්භාශය තුළ ඇති වන ප්‍රතිදේහ ප්‍රතික්‍රියාවන් ද (Antibody Reaction) තවත් එක් සාධකයකි.
ඉහත තත්ත්වයන් පරීක්ෂා කළ හැකි වන්නේ කෙසේද?
රෝග විනිශ්චය සඳහා ස්කෑන් පරීක්ෂාව (Ultrasound scan or TVS) මෙන්ම කලාතුරකින් CA125 රුධිර පරීක්ෂාව යොදා ගත හැකි වේ. මෙය ඩයි පරීක්ෂාව (Hysterosalpingograph) මඟින් ද අනාවරණය කරගත හැකි අතර ලැපරොස්කොපි (Laparoscopy) පරීක්ෂණය මඟින් ද තවත් පියවරක් ඉදිරියට තැබිය හැකියි. කෙසේ නමුත් අවිවාහක කාන්තාවන් සඳහා මෙම පරීක්ෂාව නොකරන අතර රෝග තත්ත්වය පාලනය කිරීමෙන් පසුව නැවත වර්ධනය වීමේ අවදානමක් ඇති බැවින් කඩිනමින් සඵලතා ප්‍රතිකාරවලට යොමු විය යුතු වේ.
තමන්ගේම ඩිම්බවලින් දරුවකු ලබා ගැනීම පිළිබඳ විශ්වාසයක් තැබීම නොහැකි විටදී ඒ සඳහා විකල්ප තිබීම ද සහනයකි. එවැනි විකල්ප ලෙස Stem cell සහ වර්ධක සාධක සහිත Platelet Rich Plasma ඇති අතර එය පරීක්ෂණ මට්ටමේ පවතී. මේ වන විට රෝගීන් 200කට පමණ මෙම ප්‍රතිකාරය යොදා ගෙන තිබෙන අතර සියයට 50කට පමණ සාර්ථක වී තිබේ. වයස අවුරුදු 49, 50 වන විට ඔවුන්ගේ ඩිම්බකෝෂ යථා තත්ත්වයට පත් කර ඩිම්බ ලබා ගැනීම අපහසු වන අතර වයස වැඩි වන විට සහ AMH (Anti-Müllerian Hormone) අගය අඩු වූ විටදී වුවද මෙම උසස් තාක්ෂණික ප්‍රජනක ප්‍රතිකාර යොදා ගත හැකි වේ. වයස වැඩි විට AMH අගය අඩු විට ද, FSH (Follicle-Stimulating Hormone) අගය ඉතා වැඩි විට මෙම ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදක්වයි.
Stem cell සහ වර්ධක සාධක සහිත Platelet Rich Plasma අවස්ථා තුනකදී එනම් අවස්ථා 2ක් කාන්තාවන් සඳහාත් එක් අවස්ථාවක් පුරුෂ පක්ෂය සඳහාත් යොදා ගත හැකියි.
ඩිම්බකෝෂවල ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවන විට සහ ඩිම්බ නිපදවීමේ හැකියාව වර්ධනය කිරීමට යොදා ගත හැකියි. Stem cell සහ වර්ධක සාධක සහිත Platelet Rich Plasma ඩිම්බවලට එන්නත් කිරීම මඟින් ඩිම්බකෝෂ යථා තත්ත්වයට පත් කර ගැනීමට මෙන්ම ඩිම්බ නිපදවීමේ හැකියාව වර්ධනය උත්තේජනය කරනු ලැබේ.
කාන්තාවන්ගේ ගර්භාශ පටලය තුනීව පිහිටා ඇති අවස්ථාවේදී එය ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන විට Stem cell සහ Platelet Rich Plasma ගර්භාශ පටලයෙහි අභ්‍යන්තර පටලයට එන්නත්කරණය මඟින් මවගේ සෛල සියල්ල උත්තේජනය කර ගර්භාශ පටලය යථා තත්ත්වයට පත් කරගත හැකි වනු ඇත.
පුරුෂ පක්ෂයේ ශුක්‍රාණු අඩු අවස්ථාවේදී මෙන්ම ශුක්‍රාණු නොමැති අවස්ථාවේදී (Azoospermia) ද Stem cell සහ Platelet Rich Plasma වෘෂණ කෝෂ (Testes) වලට එන්නත්කරණය මඟින් ශුක්‍රාණු ප්‍රමාණය වර්ධනය කර ගැනීමට හැකි වේ.
IVF – In Vitro Fertilization ප්‍රතිකාර ලබා ගත් පසු දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කම් මඟින් සිදු කළ යුතුද?
IVF – In Vitro Fertilization ප්‍රතිකාර ලබා ගත් පසු දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කම් මඟින් සිදු කළ යුතුය යන මතය සම්පූර්ණයෙන්ම සත්‍යයක් නොවේ. එනම් මව සහ දරුවා යන දෙදෙනාම නීරෝගි නම්, දියවැඩියාව නියම අයුරින් පාලනය කර ඇත්නම්, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් නොමැති විටදී, දරුවාගේ බර වැඩි (කිලෝග්‍රෑම් 4 පමණ) නොවේ නම් හෝ දරුවා ඉතා කුඩා නොවන විට, පෙකණි වැල ඉතා තුනී නොවන විට, වතුර බෑගයේ වතුර ප්‍රමාණය අඩු නොවන විට සාමාන්‍ය දරු ප්‍රසූතියකට යා හැකි වේ. නිවුන් දරු උපතකදී වුවද දරුවන් නීරෝගි නම් දෙදෙනාගේ හිස පහළට පිහිටා ඇති විටදී පවා සාමාන්‍ය දරු උපතකට යා හැකි වේ.
එසේ නොවන සෑම විටම සිසේරියන් සැත්කම සුදුසු වේ. කරුණු මෙසේ තිබියදී දරුවන් නොමැතිව මඳසරුභාවයෙන් චිත්ත පීඩාවට හා කනස්සල්ලට ඔබ තවදුරටත් පත් විය යුතු නැති බව ඔබටම වැටහී යනු ඇත.
