කාන්තාවකගේ සුන්දරත්වය යනු කිසිදු ප්‍රතිභාපූර්ණ කවියෙකුට අත්නොහළ හැකි වස්තුබීජයකි. ඉතිහාසයේ සිටම කාන්තාවගේ රූසපුව තේමා කරගත් නිර්මාණ ලොව කොතරම් බිහි වී තිබේද? ඒවා කෙතරම් රසවත්ද? මුහුණ යනු කාන්තාවකගේ සුන්දරත්වය මෙන්ම පෞරුෂය ද විදහා දක්වන කැඩපතකි. නමුත් මුහුණේ ඇති අනවශ්‍ය රෝම නිසා ඇගේ සුන්දරත්වය මෙන්ම පෞරුෂය ද බිඳවැටෙන්නේ නිමේෂයකිනි. අද වන විට තරුණියන් රැසකට මුහුණ දීමට සිදු වී ඇති මෙම අර්බුදය පිළිබඳ අප අද ගැඹුරින් සාකච්ඡා කරමු.
වැඩි වශයෙන්ම මුහුණේ නිකට, තොල් වටා සහ කම්මුල් පෙදෙස්හි වැවෙන රෝමවලින් කාන්තා සුන්දරත්වය මරා දමයි. මනුෂ්‍යයන් ලෙස අප සියල්ලන්ටම පොදුවේ රෝම වර්ධනය වේ. එය ස්වභාවධර්මයයි. නමුත් අනවශ්‍ය ලෙස කළු පැහැති දෘඪ රෝම වැඩි වශයෙන් වර්ධනය වීම සුන්දරත්වයට මෙන්ම මානසික සෞඛ්‍යයට ද දැඩි හානි පමුණුවයි. වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්ත්වය හඳුන්වන්නේ “Hirsutism” ලෙසයි.
මෙය හුදෙක් රූපලාවණ්‍ය ගැටලුවක්ද?
මෙය බැලූ බැල්මට සාමාන්‍ය රූපලාවණ්‍ය ගැටලුවක් (Cosmetic issue) ලෙස දිස් වුවද, එය ශරීරයේ අභ්‍යන්තර හෝමෝන අසමතුලිතතාව නිසා ඇති වන්නකි. මේ සඳහා බලපාන ප්‍රධානතම හේතු සාධක කිහිපයක් හඳුනාගත හැකිය.
ඇන්ඩ්‍රොජන් (Androgen) හෝමෝනය අධික වීම:
කාන්තාවන්ගේ ශරීරයේ ද පුරුෂ හෝමෝන ස්වල්ප වශයෙන් පවතී. ඒවා අධික වීම නිසා රෝම කූප උත්තේජනය (Hair follicle stimulation) වැඩි වී Terminal hair වර්ධනය වේ. මේවා දෘඪ කළු පැහැති රෝම වේ.
Polycystic Ovary Syndrome (PCOS)
වර්තමානයේ බොහෝ තරුණියන් පීඩා විඳින මෙම තත්ත්වය නිසා කාන්තාවන්ගේ නිකට ප්‍රදේශයේ වැඩි වශයෙන් රෝම වර්ධනය වේ. මෙහිදී ඩිම්බ කෝෂ මඟින් ඇන්ඩ්‍රොජන් හෝමෝනය නිපදවීම වැඩි වීම ප්‍රධාන හේතුවයි.
ප්‍රවේණිගත සාධක (Genetic Factors) පරම්පරාගතව මෙම තත්ත්වය ඇති විය හැකිය. පවුලේ සමීප සාමාජිකයකුට මෙම තත්ත්වය පවතී නම්, ඔබට හෝමෝන අසමතුලිතතාවක් නොමැති වුවද රෝම වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතී.
ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව (Insulin Resistance)
ශරීරයේ සෛල ඉන්සියුලින් හෝමෝනයට නිසි ලෙස ප්‍රතිචාර නොදක්වන විට, රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි. මෙය දිගුකාලීනව Type 2 දියවැඩියාවට මෙන්ම හෝමෝන ක්‍රියාවලිය අවුල් කිරීමටද හේතු වේ.
නිවැරදි විසඳුම් සහ ප්‍රතිකාර
අප දන්නා පරිදි ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් අප අසලම පවතී. මෙම ගැටලුවටද විසඳුම් රාශියක් ඇති අතර, පුද්ගල අවශ්‍යතාව මත ඒවා තෝරාගත හැකිය.
තාවකාලික විසඳුම්
Shaving, Threading, Waxing සහ Hair removal creams වැනි ක්‍රම ඉතා පහසුවෙන් සිදු කළ හැකි නමුත් රෝම ඉක්මනින් නැවත වර්ධනය වේ. එම නිසා නිරන්තරයෙන් මෙම සත්කාර සඳහා කාලය වැය කිරීමට සිදු වේ.
වෛද්‍ය ප්‍රතිකාර
හෝමෝන ප්‍රතිකාර (Hormonal therapy) මඟින් අසමතුලිතතාව පාලනය කළ හැකිය. Anti-androgen ඖෂධ මඟින් පුරුෂ හෝමෝන ක්‍රියාකාරීත්වය අවම කර රෝම වර්ධනය පාලනය කරයි. මතක තබා ගන්න, මේවා සම්පූර්ණයෙන්ම වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කළ යුතුය.
Laser Hair Reduction
මෙහිදී රෝම කූපයේ ඇති මෙලනින් විනාශ කිරීම මඟින් රෝම වර්ධනය දීර්ඝකාලීනව අඩාළ කරයි. මෙය ඉතා ජනප්‍රිය සහ ආරක්ෂිත ක්‍රමයකි.
Electrolysis
එක් එක් රෝම කූපය විදුලි ධාරාවක් මඟින් විනාශ කරන මෙම ක්‍රමය කුඩා ප්‍රදේශවල රෝම ස්ථිරවම ඉවත් කිරීමට වඩාත් සුදුසු වේ.
අවදානම් සහ වැරදි පුරුදු
වෛද්‍ය උපදෙස්වලින් තොරව Face creams, හෝමෝන පෙති හෝ ස්ටෙරොයිඩ් අඩංගු ආලේපන (Steroid cream) භාවිත කිරීමෙන් හෝමෝන අසමතුලිතතාව තවත් උග්‍ර විය හැකිය. එමඟින් කුරුලෑ (Acne), සමේ වර්ණය වෙනස් වීම (Pigmentation) සහ සම තුනී වීම වැනි බරපතළ අතුරු ආබාධ ඇති විය හැකිය.
ආහාර සහ ජීවන රටාව
හෝමෝන සමතුලිතතාව පවත්වා ගැනීමට පෝෂණය ඉතා වැදගත් වේ.
ගත යුතු ආහාර
රතු සහල්, කුරක්කන්, ඇට වර්ග, කොළ පැහැති එළවළු, පලතුරු සහ ඔමේගා 3 අඩංගු මාළු.
නොගත යුතු ආහාර
අධික සීනි සහිත පාන, පිටි සහිත ආහාර, Fast foods සහ ගැඹුරු තෙලේ බැදපු ආහාර.
එමෙන්ම, සතියට දින 4ක්වත් ව්‍යායාම කිරීම, යෝග සහ භාවනා මඟින් මානසික සුවතාව රැක ගැනීම, පැය 7-8ක සුවදායී නින්දක් සහ වසරකට වරක් හෝ හෝමෝන පරීක්ෂාවක් සිදු කිරීම ඉතා යහපත්ය.
අනවශ්‍ය රෝම නිසා ඇතැම් කාන්තාවන් දැඩි ලෙස මානසික අපීඩනයට ලක්ව සිටිති. නමුත් මතක තබා ගන්න, ඔබේ වටිනාකම තීරණය කරන්නේ රෝම ගස් කිහිපයක් නොවේ. නිවැරදි සහ ආරක්ෂිත වෛද්‍ය ක්‍රමවේද වෙත යොමු වීමෙන් ඔබේ පෞරුෂය සහ සුන්දරත්වය නැවත දිනා ගැනීමට හැකියාව ඇත.
TEXT – ටිරුණි ඉමායා වීරසිංහ
