Monday, February 23, 2026
Epaper
Home වෛද්‍යසිරුරේ මතු වූ කුඩා ගැටිත්තක් ඔබේ සතුට උදුරා ගන්නවාද?

සිරුරේ මතු වූ කුඩා ගැටිත්තක් ඔබේ සතුට උදුරා ගන්නවාද?

by Shanaka Lakehouse

බොහෝ දෙනෙක් වෛද්‍යවරයෙකු හමුවීමට පවා මැළි වන, රහසින් බිය වන ‘ලිංගික ඉන්නන්’ යනු හුදෙක් චර්ම රෝගයකට එහා ගිය සමාජීය සහ මානසික පීඩනයකි. නමුත් සැබවින්ම මෙය එතරම්ම බිය විය යුතු තත්ත්වයක්ද? නිසි දැනුවත්භාවය මඟින් මෙයින් මිදෙන්නේ කෙසේද?

අද අප මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සමඟයි.

මොනවාද මේ ලිංගික ඉන්නන්?

ශරීරයේ විවිධ ස්ථානවල ඇති වන ඉන්නන් සඳහා බලපාන්නේ Human Papilloma Virus (HPV) නමැති වයිරසයයි. මෙම වයිරසයේ ප්‍රභේද ගණනාවක් පවතින අතර, ලිංගික ප්‍රදේශවල ඉන්නන් ඇතිවීමට බොහෝ විට බලපාන්නේ එහි 6 සහ 11 යන ප්‍රභේදයන්ය. මෙම වයිරසය ප්‍රධාන වශයෙන්ම ලිංගික සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය වේ.

රෝග ලක්ෂණ සහ බලපෑම

HPV වයිරසය ශරීරගත වූ බොහෝ පුද්ගලයන්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත. නමුත් සමහරුන්ගේ ලිංගික ප්‍රදේශවල කුඩා ගැටිති ආකාරයෙන් මේවා මතු වේ. මෙම ගැටිතිවල ප්‍රමාණය සහ සංඛ්‍යාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. ශරීරයේ ප්‍රතිශක්තිය අඩු අවස්ථාවලදී රෝග ලක්ෂණ මතු වීමේ වැඩි ඉඩකඩක් පවතී. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් සහ ගර්භිණී මවුවරුන් අතර මෙම ලක්ෂණ බහුලව දැකිය හැකිය.

හඳුනා ගැනීම සහ පරීක්ෂාව

ලිංගික ප්‍රදේශයේ කිසියම් හෝ සැක සහිත ගැටිත්තක් ඇත්නම්, වහාම ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනයකට (STD Clinic) ගොස් වෛද්‍ය පරීක්ෂාවකට ලක් වීම අතිශය වැදගත්ය. ඊට හේතුව, ලිංගික ප්‍රදේශවල පවතින ස්වාභාවික තත්ත්වයන් වන PPP (Pearly Penile Papules), Fordyce spots හෝ Tyson glands වැනි තත්ත්වයන් ලිංගික ඉන්නන් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇති බැවිනි.

එමෙන්ම, කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂණ (Pap Smear) අතරතුර ලබා ගන්නා සාම්පල මඟින් HPV DNA-PCR පරීක්ෂණය සිදු කර වයිරසය ආසාදනය වී ඇත්දැයි නිවැරදිව හඳුනාගත හැකිය. විශේෂයෙන්ම HPV 16 සහ 18 වැනි ප්‍රභේද ගැබ්ගෙල පිළිකා ඇති කිරීමට සෘජුවම බලපාන බැවින්, ඒවා කල්තියා හඳුනා ගැනීම ජීවිතය බේරා ගැනීමට උපකාරී වේ.

ප්‍රතිකාර ක්‍රම

ලිංගික ඉන්නන් සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම පවතී.

1. රෝගියාට නි‍ෙවසේදී තමා විසින්ම ආලේප කළ හැකි ඖෂධ.

2. වෛද්‍යවරයෙකු විසින් සිදු කරනු ලබන ප්‍රතිකාර.

බොහෝ විට වසරක පමණ කාලයක් ඇතුළත ශරීරයේ ප්‍රතිශක්තිය මඟින් මෙම වයිරසය පාලනය කර ඉන්නන් ඉබේම ඉවත් වීමට ඉඩ ඇත. නමුත් ප්‍රතිශක්තිය දුර්වල වූ විට ඒවා නැවත මතු වීමේ හැකියාවක් පවතී.

වැළකී සිටින්නේ කෙසේද?

ලිංගික සම්බන්ධතා විශ්වාසවන්ත එක් සහකරුවෙකුට හෝ සහකාරියකට පමණක් සීමා කිරීම.

සෑම ලිංගික සම්බන්ධතාවකදීම නිවැරදිව කොන්ඩමයක් (උපත් පාලක කොපුවක්) භාවිත කිරීම. (නමුත් කොන්ඩමයෙන් ආවරණය නොවන ප්‍රදේශවල ඉන්නන් ඇත්නම් වයිරසය සම්ප්‍රේෂණය විය හැකි බව මතක තබා ගන්න).

HPV එන්නත ලබා ගැනීම

වර්තමානයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 11-13 ගැහැනු දරුවන්ට මෙම එන්නත නොමිලේ ලබා දේ. මෙය HPV 6, 11, 16, 18 යන ප්‍රභේද හතරෙන්ම ආරක්ෂාව සපයන බැවින් ගැබ්ගෙල පිළිකා මෙන්ම ලිංගික ඉන්නන් ඇතිවීමද වළක්වයි. වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා ලිංගික සබඳතා ආරම්භ කිරීමට පෙර (නව යොවුන් වියේදීම) එන්නත ලබා ගැනීම අතිශය වැදගත්ය.

ගර්භිණී කාන්තාවකට ලිංගික ඉන්නන් ඇති වුවහොත්, ප්‍රසූතියෙන් පසු ඒවා බොහෝ විට ඉබේම අඩුවී යයි. නමුත් සාමාන්‍ය දරු ප්‍රසූතියකට බාධා වන පරිදි ඉන්නන් වර්ධනය වී ඇත්නම්, ගර්භිණී සමයේදී භාවිත කළ හැකි ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රම මඟින් ඒවා ඉවත් කරනු ලැබේ. මේ සඳහා ලිංගාශ්‍රිත රෝග සායනයකින් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

TEXT – චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?