ශ්‍රී ලාංකේය ගුවන්තලයේ ස්වෛරීභාවය සුරකිමින් දශක හතහමාරක කාලයක් පුරා මාතෘභූමිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක නිරත වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 75 වන සංවත්සරය හෙවත් දියමන්ති ජුබිලිය මාර්තු මස 02 වන දින මහත් අභිමානයෙන් සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 1951 වසරේදී “රාජකීය ලංකා ගුවන් හමුදාව” ලෙස මෙරට ස්ථාපිත වූ දා සිට අද දක්වා පැමිණි ඒ ඓතිහාසික ගමන් මඟ සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් මාලාවක් දිවයින පුරා පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇති බව ගුවන් හමුදා මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කරන ලදී.
මෙම සැමරුම් උළෙලේ වඩාත් ආකර්ෂණීය සහ තාරුණ්‍යයේ ජවය විදහා දක්වන සුවිශේෂී ඉසව්වක් ලෙස “ගුවන් හමුදා පාපැදි සවාරිය” හඳුන්වා දිය හැකිය. මෙවර 27 වන වරටත් පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර මට්ටමේ පාපැදි තරගාවලිය පෙබරවාරි 27 සහ මාර්තු 01 යන දිනවලදී පැවැත්වෙන අතර, විශේෂයෙන්ම මාර්තු 01 වන දින පැවැත්වෙන “කාන්තා පාපැදි සවාරිය” සුවිශේෂී තරගයක් වනු ඇත. දෙස් විදෙස් ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නීතිරීතිවලට අනුකූලව පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලාංකීය දිරිය ලියන් සතු ශක්තිය සහ නොසැලෙන ධෛර්යය ලොවටම පසක් කරන මහා ක්‍රීඩා මංගල්‍යයක් වනු නොඅනුමානය.
සංවත්සරයේ කලාත්මක රිද්මය සනිටුහන් කරමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන “Symphony of Wings” දැවැන්ත සංගීත ප්‍රසංගය මාර්තු මස 28 වන දින පස්වරු 7.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. ගුවන් හමුදා ඊගල්ස් රොක් සංගීත කණ්ඩායම සමඟින් දිවයිනේ ජනප්‍රියතම තරු රැසක් එකම වේදිකාවක මුණගැසෙන මෙම ප්‍රසංගය සංගීත ලෝලී තාරුණ්‍යයට අමතක නොවන අත්දැකීමක් වනු ඇත. මීට අමතරව 75 වන සංවත්සරය මූලික කරගනිමින් ගුවන් සංදර්ශන සහ ගඟන ශිල්පීය තාක්ෂණික දැනුම සහිත දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් මාර්තු මස 06, 07 සහ 08 යන දිනයන්හිදී රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වේ. මෙමඟින් ගුවන් හමුදාව සතු තාක්ෂණික දියුණුව සහ ගුවන් යානා පිළිබඳව සමීපව දැකබලා ගැනීමට මහජනතාවට මහඟු අවස්ථාවක් හිමිවේ.
වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සෘජු මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම සියලු වැඩසටහන් සඳහා ටොයෝටා ලංකා, සෙලාන් බැංකුව, යුනිලීවර්, මැලිබන් සහ සියැට් වැනි ප්‍රමුඛ පෙළේ ආයතන රැසක් සිය අනුග්‍රාහක දායකත්වය ලබා දෙයි. දශක හතහමාරක අභිමානය සහ තාරුණ්‍යයේ ජවය එක්තැන් කරන මෙම සැමරුම් මාලාව ශ්‍රී ලාංකීය ජනතාවට තම නිදහස් අහස සුරකින වීරයන් සමඟ එක්ව සතුට සැමරීමට ලැබෙන කදිම අවස්ථාවකි.
TEXT – දුමින්ද කාරියවසම්
PIX BY – සුලෝචන ගමගේ
