Monday, March 2, 2026
Epaper
Home විශේෂාංගධනයට බිලිවන ජීවිත සහ නිවහනක සැබෑ රැකවරණය

ධනයට බිලිවන ජීවිත සහ නිවහනක සැබෑ රැකවරණය

by Shanaka Lakehouse

ප්‍රකට නීතිඥවරයකු සහ ඔහුගේ බිරියගේ අවාසනාවන්ත මරණයන් පිළිබඳ පුවත ශ්‍රී ලාංකීය සමාජය මහත් කම්පනයකට පත් කළේය. නීතියේ රැකවරණය සහ එහි සියුම් තැන් දන්නා පුද්ගලයන් පවා මෙවැනි ජාලයන් තුළ අතරමං වී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම බියකරු යථාර්ථයකි. මෙරට සමාජය වෙලාගෙන ඇති බිහිසුණු මූල්‍ය සහ කළු සල්ලි ජාවාරමේ ග්‍රහණය කෙතරම් ගැඹුරට මුල් බැස ඇත්ද යන්න මෙයින් මනාව පසක් වේ. නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සහ මුදල් විශුද්ධිකරණය යනු හුදෙක් ආර්ථික අපරාධයක් පමණක් නොව, එය මිනිස් ජීවිත බිලිගන්නා මාරක උගුලක් බව අප වටහා ගත යුතුය.

විවිධ වංචනික ක්‍රම මඟින් උපයන කළු සල්ලි නීත්‍යනුකූල මුදල් ලෙස සමාජගත කිරීමේ මෙම ක්‍රියාවලිය පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සහ සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවන්ගේ අදෘශ්‍යමාන හස්තයන් පවතී. අතීතයේ ත්‍රස්තවාදී සංවිධාන පවා සිය මූල්‍ය ශක්තිය ගොඩනඟා ගැනීමට මෙවැනි නීති විරෝධී ජාලයන් භාවිත කළ අතර වර්තමානයේ එය නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වේ. වර්තමාන නීති පද්ධතිය තුළ මෙවැනි වැරදිකරුවන් සඳහා වසර 20 දක්වා සිරදඬුවම් සහ දේපළ රාජසන්තක කිරීම වැනි දැඩි විධිවිධාන පැවතිය ද පුද්ගලයන් වංචනික මූල්‍ය ජාලයන්ට හසු කර ගැනීම සඳහා භාවිත කරන විවිධ උපාය මාර්ග හේතුවෙන් අවසානයේ ඔවුන්ට සිය ගෞරවය මෙන්ම ජීවිතය ද අහිමි කර ගැනීමට සිදු වේ.

මෙම අඳුරු ප්‍රවණතාව හමුවේ කාන්තාවකට පැවරෙන වගකීම අතිමහත්ය. පවුලක ආර්ථිකය කළමනාකරණය කරන හෝ ඒ පිළිබඳ විමසිලිමත් වන ප්‍රධාන බලවේගය කාන්තාවයි. තම ස්වාමිපුරුෂයා, දරුවන් හෝ සමීපතමයන් හදිසියේ උපයන අසීමිත ධනය හෝ සැකකටයුතු මූල්‍ය ගනුදෙනු පිළිබඳ බුද්ධිමත් මවක සහ බිරියක ලෙස ඔබ විමසිලිමත් විය යුතුය. “ක්ෂණික ධනවතුන්” වීමේ ආකර්ෂණීය සිහින පෙන්වමින් පවුල් සංස්ථාවන් ආක්‍රමණය කරන මෙම කළු සල්ලි උගුල්වලින් තම සමීපතමයන් මුදා ගැනීමට ඇය සවිඥානික විය යුතුය. නීති විරෝධී මූල්‍ය ජාලයකට හසුවීමෙන් පසු විඳීමට සිදුවන සමාජයීය අවමන් සහ ජීවිත අවදානම පිළිබඳ පවුලේ සාමාජිකයන්ට නිරන්තරයෙන් සිහිපත් කර දීම ඇගේ වගකීමකි.

සදාචාරාත්මක සමාජයක් ගොඩනැඟීම සඳහා හුදෙක් නීති පැනවීමෙන් පමණක් මෙවැනි ඛේදවාචක නතර කළ නොහැක. ධනයට වඩා ජීවිතයේ සහ ගෞරවයේ වටිනාකම පවුල තුළ තහවුරු කරන ආරක්ෂක පවුරක් ලෙස කාන්තාව නැඟී සිටිය යුතුය. කළු සල්ලි හඹා ගොස් ජීවිතයෙන් වන්දි ගෙවනවාට වඩා, නිවැරැදි මාර්ගයෙන් උපයන දෙයින් සතුටු වන සදාචාරාත්මක පවුලක් නිර්මාණය කිරීම හෙට දවසේ යහපත වෙනුවෙන් අප සැම ඉදිරියේ ඇති අත්හළ නොහැකි වගකීමකි. තවත් වටිනා ජීවිත කිහිපයක් මෙවැනි කළු සල්ලි උගුල්වලට බිලි වීමට පෙර සමස්ත සමාජයම මෙම අඳුරු යථාර්ථයට එරෙහිව අවදි විය යුතුව ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?