කෝකිලයන්ගේ නාදය අපට ඇසෙන්නේ වසරක එක් කාර්තුවක පමණි. එහෙත් කෝකිලයාගේ හඬ පැරදූ හෙළ සංගීත අඹරෙහි ඉරක්ව සඳක්ව පායා අද ඉන් බැස ගියත් එහි ආලෝකයෙන් පවා අප හදවත් සැනහෙන ඔවුන් අප කෙසේ අමතක කරම් ද? එකම කැදැල්ලක යුග දිවි සුව විඳි ඔවුහු ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල නම් වූහ.
අද අප ඔවුන්ගේ රූපකාය ජීවමානව නොදකින මුත්, ඔවුන්ගේ හඬ අප දෙසවන් අතර තවමත් රැව්පිළිරැව් දෙයි. ඒ ගීත කෝකිලාවියගේ සහ කෝකිලයාගේ උරුමය ඉදිරියට රැගෙන ආ අමිත් වල්පොල ද කලක් හෙළ සංගීත සාගරයේ අප නුදුටු තරම්ය. එහෙත් දශකයක පමණ කාලයක් අපට නෑසුණු අමිත්ගේ හඬ නුදුරේදීම ආයෙමත් ඇසෙන්නට නියමිත බව ද අපට දැනගන්නට ලැබිණි. මේ ඒ පිළිබඳව අදහස් දක්වන්නට අමිත් වල්පොල, තරුණී අප හා සබැඳුණු ආකාරයයි.
ඔහුගේ දිගු නිහැඬියාව සහ නිහැඬියාවෙන් පසු නැවතත් සංගීතයට තබන පියවර ගැන ඔහු අප හමුවේ පළ කළේ මෙවන් අදහසක්.
“මං 2016 වසරේදී කැනඩාවට ගියේ රැකියාවක් කර දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවමින් පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්නයි. ඒ තීරණය ගන්නට ආසන්නතම හේතුව වුණේ නක්ෂත්‍රකරුවකුගේ අනාවැකියක්. ගෙදර තියෙන බඩු මුට්ටුවක් හෝ විකුණා දියණියට උගන්වන්නැයි කියා ඔහු මට පැවසුවා. ඇය නීති අංශයෙන් ඉහළටම ඉගෙන ගන්නා බවට ඒ නක්ෂත්‍රකරුවා අනාවැකියක් ද පළ කළා. දුව උසස් පෙළින් පස්සේ “සිමා” විභාගය සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව නීතිය හැදැරිය යුතු යැයි මට පැවසුවා. ඇත්තටම එදා නක්ෂත්‍රකරුවාගේ අනාවැකිය නිවැරදි බව මට වැටහුණේ එවිටයි.”
“ඒ කාලෙ ඉඳන්ම මං දරුවන්ට දුන් ප්‍රධානම උපදෙසක් වුණේ සංගීතයෙන් ලැබෙන ආදායමට අමතරව එක් ස්ථිර ආදායම් මාර්ගයක් රඳවා ගන්නා ලෙසයි. ඇත්තටම සංගීත ක්ෂේත්‍රයේ අප නිරන්තරයෙන් මුහුණ දෙන ස්ථිර ආදායම් මාර්ගයක වටිනාකම මෙසේ පහදා දිය හැකියි. කිසියම් මාසයක පළමුවැනිදා, පහළොස්වැනිදා සහ තිස් එක් වැනිදා සංගීත ප්‍රසංග තිබුණොත් පළමුවැනිදා, පහළොස්වැනිදා ප්‍රසංග සාර්ථකව කෙරෙද්දී තිස්එක් වැනිදා ප්‍රසංගය හදිසි හේතුවක් නිසා අවලංගු වුණා යැයි සිතමු. එතකොට ඒ වෙද්දී අප ඒ ප්‍රසංගයෙන් ලැබෙන ආදායම අනුව අපේ වියදම් සැලසුම් කර තිබිය හැකියි. එවන් අවස්ථාවක අපට ණය වෙන්නට සිදු වෙනවා. එහෙත් අපට ස්ථිර ආදායම් මාර්ගයක් තිබුණා නම් අපි ආර්ථික අතින් ශක්තිමත්. ඉතින් මං දරුවන්ට ඒ පාඩම කියා දුන්නා. ඇත්තටම අපි වැටුණු වළේ දරුවන්ට වැටෙන්න දෙන්න බෑ. ඒ නිසා මං දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් හොයන්නට රැකියාවක් බලාපොරොත්තුවෙන් විදේශගත වුණා. ඉතින් මගෙ මහන්සිය සපල කරමින් දරුවනුත් හොඳින් ඉගෙන ගත්තා.”
“මගේ දුව ගඟුලි මේ වන විට සංගීත කටයුතු කරන අතරතුර නීතිය විෂයයක් ලෙස හදාරනවා. ඇය ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍යයන්හි අතිශය ජනප්‍රියයි. මගේ පුතා චමිත් වල්පොල. ඔහු අබුඩාබිවල බටහිර සංගීතය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස සේවය කරනවා. ඔහු දේශන පවත්වන්නේ රෝයල් ස්කූල් ඔෆ් මියුසික් එකේ. ඔවුන් දෙදෙනාටම අපේ අම්මාගෙ තාත්තාගෙ ලේ උරුමයෙන් සංගීත ආභාසය ලැබී තිබෙනවා. ඒත් මගේ පුතා වගේම මගේ දුව ගඟුලිත් වඩාත් නැඹුරු බටහිර සංගීතයට. ඒක ඒගොල්ලන්ගෙ රුචිකත්වය. මට වගේම මගේ දරුවන්ගේ හැම කටයුත්තකටම මගෙ බිරිය ගංගානිගෙන් ලැබෙන සහයෝගයත් මේ වෙලාවේ අමතක කරන්නට බෑ. සැබැවින්ම එය ද වචනයෙන් කියා නිම කළ නොහැකියි.”
ලතා වල්පොල සහ ධර්මදාස වල්පොළ පවුලේ එකම මිණිපිරිය ගඟුලි දියණිය ගැනත් චමිත් පුතණුවන් ගැනත් අමිත් සහිපත් කළේ එලිසිනි.
ලතා වල්පොලගේ දෙඇස්වලටත් ධර්මදාස වල්පොලගේ මුවගටත් සමාන හැඩහුරුකම් ඇති අමිත් වල්පොලගේ මියුරු හඬ ධර්මදාස වල්පොලගේ හඬට මනාව සමීප වෙයි. වසර දහයකට ආසන්න කාලයක් හිම මිදෙන සීතලේ කැනඩාවේ ඇල්ගරිවල දුෂ්කර දිවියක් ගත කළ අමිත් දැන් දැන් නැවතත් සංගීත ක්ෂේත්‍රය හා සබැඳීමට බලාපොරොත්තුවෙන් සිටියි. මේ ඒ ගැන ඔහු අප හමුවේ පළ කළ අදහස්….
“කැනඩාවේ වැඩ කරන කාලේත් මගේ හිතේ ලොකු අධිෂ්ඨානයක් තිබුණා. ඒ අනුව මට තිබුණේ කවදා හෝ ලංකාවට ඇවිත් සංගීතය නවත්වපු තැනින් ආරම්භ කිරීමේ අරමුණක්. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට කාලය දැන් එළැඹ ඇතැයි මම විශ්වාස කරනවා. මං සංගීතය විෂයයක් ලෙස හැදෑරුවේ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ සිටයි.”
“විදේශගත වන්නට පෙර මං සංගීත ක්ෂේත්‍රයේ දිගු කලක් රැඳී සිටියා. මේ වන විට චිත්‍රපට 23ක පසුබිම් ගී ඇතුළුව ගීත රැසක් මං ගායනා කර තිබෙනවා. දැන් ආයෙත් මගේ සංගීත ජීවිතය ප්‍රතිසංවිධාන කර ගත යුතුයි. එදා සිට අද වන තුරුම මං දවසකට පැයක් හෝ සංගීත පුහුණුවීම්වල නියැළෙනවා. ඉදිරියේදී ධර්මදාස වල්පොලගේ සහ ලතා වල්පොලගේ හඬ මගේ මුවින් ආයෙත් ඔබ දෙසවන්හි ප්‍රතිරාව නැඟේවි. ඒ වගේම කාලාන්තරයක් පුරා මට මඟ හැරුණු ගීත ගොඩාක් ඉදිරියේදී ජනගත වීමට නියමිතයි.”
ඒ අනුව නොබෝ දිනකින් ප්‍රසංග වේදිකාවේ ලතා වල්පොල සහ ධර්මදාස වල්පොලගෙන් හිස් වුණු සංගීත අවකාශය අමිත් වල්පොල විසින් පුරවනු ඇත. එමෙන්ම නවතම ගීත කහිපයක් ඔහුගේම හඬින් එළිදක්වන්නටත් අමිත් සැඳී පැහැඳී සිටීමත් ගීත ලෝලි ඔබට සතුටුදායික පුවතක් වනු නොඅනු මානය.
සිය මාපිය උරුමයෙන්ම ඔවුන්ගෙන් හිස්ව ගිය අවකාශය පුරවන්නට අමිත් හැර අන් කවරහු ද?
TEXT – මනෝලි සුබසිංහ
PIX BY – ටෙනිසන් එදිරිසිංහ
