Monday, March 2, 2026
Epaper
Home විශේෂාංගආදරයේ නාමයෙන් සිරකාරියක් වූ ඔබට

ආදරයේ නාමයෙන් සිරකාරියක් වූ ඔබට

by Shanaka Lakehouse

ආදරයේ නාමයෙන් ඔබත් ‘සිරකාරියක්’ වෙලාද?

ඒ ආදරණීය සිහින අතරේ ඔබේ හදවත ‘පීඩනයකින්’ ගැහෙනවා නම්, ඒ බැඳීම තුළ ඔබට ඔබවම අහිමි වී ඇති බව දැනෙනවා නම්, මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.

රෝස මල්, චොක්ලට් සහ ආදරණීය තෑගිබෝග අතරින් අපි සොයන්නේ ඒ සුන්දර බැඳීමයි. නමුත්, බොහෝ තරුණ තරුණියන් ආදරය යැයි සිතා අත්තනෝමතික පාලනයකට හෝ පීඩනයකට හසුවී සිටින අවස්ථා අපමණයි. ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව, ඔබේ ආදර කතාව වඩාත් අර්ථවත් සහ සෞඛ්‍යසම්පන්න එකක් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අප මෙවර සාකච්ඡා කරන්නේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා ටී.ජී.එස්. සෝබා ගමගේ මහත්මිය සමඟයි.

සබඳතාවක ‘සීමා මායිම්’ අවශ්‍ය ඇයි?

“සීමා මායිම් තිබිය යුතුමයි. මම මෙයින් අදහස් කරන්නේ වෙනත් අයකු වෙනුවෙන් පනවන ලද අත්තනෝමතික සීමා මායිම් ගැන නොව, තමා විසින් තමන් වෙනුවෙන්ම පනවා ගන්නා සීමා මායිම් ගැනයි. මෙම සීමා ආදරයට බාධාවක් නොවේ. සීමා පවතින විට ආදරය වඩාත් සුරක්ෂිතව, ගෞරවයෙන් හා දීර්ඝකාලීනව පවත්වාගෙන යාමට එය පිටිවහලක් වේ. එවිට ආදරය තවත් ගැඹුරු වේ. මෙහිදී සිදු වන්නේ තමන්ගේ කැමැත්ත, අකමැත්ත සහ සීමාවන්ට ගරු කරන සහකරුවෙකු සිටින බව තහවුරු වීමයි. සීමාවක් නැති ආදරය නිසා පීඩනය, බිය සහ ආතතිය ඇති විය හැකියි. වඩාත් සෞඛ්‍යසම්පන්න වන්නේ ‘මමත් ඔබත් දෙදෙනාම වැදගත්’ යන හැඟීමයි. කෙනෙකු වෙනුවෙන් පනවන ලද අත්තනෝමතික පාලනයන් සහ අකමැති දේට බල කිරීම තුළින් ආදරය කාලයත් සමඟ වේදනාවක් බවට පත් වේ.”

ආදරය වෙනුවෙන් සැමට ‘එසේය’ කිව යුතුද?

“කාන්තාවක ලෙස තමාගේ මානසික සුවය සහ ගෞරවය වෙනුවෙන් ‘නැහැ’ හෝ ‘බැහැ’ යැයි පැවසීමට හැකි මානසික ශක්තියක් තිබිය යුතුය. මන්ද එවැනි අවස්ථාවලදී කාන්තාවන්ට ඇති අවදානම වැඩි බැවිනි. ඇය සැමවිටම ආරක්ෂාකාරී විය යුතුය. තමන්ගේ හැඟීම් යටපත් කර ගැනීමෙන් ආතතිය, බිය, වරදකාරී හැඟීම සහ තමා කෙරෙහි ඇති වටිනාකම අඩුවීම වැනි ලක්ෂණ ඇති විය හැකියි. මතක තබා ගන්න, ‘නැහැ’ හෝ ‘බැහැ’ කී පමණින් ඔබේ ආදරය අඩු වන්නේ නැත. එය මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යය රැකගැනීමේ මූලික අයිතිවාසිකමකි. ‘මට මේ ගැන තීරණයක් ගන්න ටිකක් කල් ඕනෑ’, ‘මේ වෙලාවේ මම පහසුවෙන් (Comfortable) නැහැ’ වැනි දේ පැවසීමට තරම් ආත්ම ශක්තියක් ඔබ තුළ තිබිය යුතුය.”

පාලනය කිරීම ආදරයේ සලකුණක්ද?

“ආදරය යනු විශ්වාසය මත ගොඩනැ‍ෙඟන දෙයකි. දුරකතනයේ මුරපදය (Password) පවා ඉල්ලනවා යනු අවිශ්වාසයේ ලක්ෂණයකි. ආදරයේදී පෞද්ගලිකත්වයට ගරු කළ යුතුය. දුරකතනයේ මුරපදය ඉල්ලන්නේ බොහෝ විට අහිමි වේ යැයි ඇති බිය, ඊර්ෂ්‍යාව හෝ පාලනය කිරීමට ඇති කැමැත්ත නිසාය. මනෝවිද්‍යාවට අනුව මෙය ආවේගාත්මක වධහිංසාවක් (Emotional Abuse) ලෙස හැඳින්විය හැකියි. මෙය වර්තමාන සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. එසේම පෙම්වතියන් ද තම පෙම්වතාගේ විශ්වාසය රැකීමට වගබලා ගත යුතුය. එලෙස විශ්වාසය පවතී නම් මුරපද හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනඟී. නමුත් කෙතරම් විශ්වාසවන්ත වුවත් සැක කරන සහකරුවෙකු සිටී නම්, ඔහු ඔබේ ජීවිතයට තවදුරටත් අවශ්‍යද යන්න ඔබ තීරණය කළ යුතුය.”

තමන්ටම කියා අවකාශයක් (Space) අවශ්‍ය ඇයි?

‘මේ ඇඳුම අඳින්න එපා, මම කියන විදිහට ඉන්න, ඒ අයව ආශ්‍රය කරන්න එපා’ වැනි නීති රීතිවලින් ඔබවත් බැඳ දමා තිබේද? මෙය ආදරයේ නාමයෙන් කරන පාලනයකි. නිරන්තරයෙන් ඔබ සිටින තැන (Location) පරීක්ෂා කිරීම මනෝවිද්‍යාවට අනුව පුද්ගල නිදහස අඩාළ කිරීමකි. සැබෑ ආදරයේදී ‘ඔයා කැමති විදිහට ඉන්න’ යැයි පැවසීමට තරම් සහකරු නිදහස් විය යුතුය. ආදරය යනු අයිතිවාසිකමක් නොව, අනෙකාට ගෞරවයෙන් සහ නිදහසේ සිටීමට ඉඩ දීමයි.”

නිදහස දීමෙන් දුරස් වීමක් සිදුවේද?

“පෞද්ගලික අවකාශයක් තිබීමෙන් ආදරයේ දුරස්ථභාවයක් ඇති නොවේ. ඉඩක් ලබා දෙන ආදරය වඩාත් ශක්තිමත් හා සෞඛ්‍යසම්පන්නයි. තමාගේ පෞද්ගලික කාලය, විවේකය, මිතුරන් සහ පවුලේ අය සමඟ ගත කරන කාලය සීමා කිරීමට වෙනත් අයෙකුට අයිතියක් නැත. ‘මට මගේ කාලයත් අවශ්‍යයි’ යනුවෙන් විවෘතව සංවාද කිරීම සබඳතාවක් දීර්ඝකාලීනව පවත්වා ගැනීමට රුකුලක් වේ.”

සීමාවන් වටහා දෙන්නේ කොහොමද?

“මෙය ඉතා වැදගත් කුසලතාවකි. ආරවුල් ඇති කර නොගෙන තමාගේ අපහසුතාවන් පැහැදිලි කළ හැකිය. ‘මට මගේ නිදහස වැදගත්’, ‘මේ තීරණය ගැන සන්සුන්ව හිතන්න මට කාලය ඕනෑ’ වැනි දේ පවසමින් සහකරුට ඔබේ සීමාවන් වටහා දෙන්න.”

සැබෑ ආදරවන්තයෙකු යනු ඔබව “අයිති කරගන්නා” කෙනෙකු නොව ඔබව “තේරුම් ගන්නා” කෙනෙකි. රතු රෝස මලක් මෙන්ම ආදරය ද ඉතා පිවිතුරුය. එය තදින් මිරිකා අල්ලා ගැනීමට ගියහොත් එය මැලවී යා හැකිය. මලකට පිපෙන්නට අවශ්‍ය ඉඩ සහ හිරු එළිය ලබා දුන්නොත් එය මනාව විකසිත වනු ඇත.

ප්‍රේමයේ නාමයෙන් මිල අධික තෑගි සොයනවා වෙනුවට ඔබ සෙවිය යුත්තේ “ගරුත්වය සහ පෞද්ගලික නිදහසයි.” ආදරයේ නාමයෙන් කිසිවෙකුට සිරකරුවෙකු වීමට ඉඩ නොදෙන්න. ඔබ ඔබේ අනන්‍යතාව රැකගන්නා තරමට ඔබේ ආදර කතාව ද සුන්දර වනු ඇත.

 

TEXT – සඳුනි නිමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?