මංගල දිනය යනු ඕනෑම යුවළකගේ ජීවිතයේ සුන්දරම සහ අමතක නොවන සන්ධිස්ථානයයි. එදිනට මනාලියකගේ හැඩගැන්වීම් පිළිබඳව මුළු ලෝකයම කතා කළත්, මනාලයෙකුගේ පෙනුම සහ ඇඳුම් පැලඳුම් පිළිබඳව එතරම් අවධානයක් යොමු නොවන අවස්ථා වැඩිය.
නමුත් සැබෑව නම්, මනාලියක පමණක් නොව මනාලයෙකු ද තම මංගල දිනයේදී ඇඳුම සහ පෙනුම පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවයි. මනාලයෙකු තම ජීවිතයේ ලස්සනම දිනය ඇඳුමින් අලංකාර කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සමන්ත ගුණසේකර මහතා ලබා දුන් උපදෙස් ඇසුරින් මෙම ලිපිය සකසා තිබේ.

පළමු පියවර මනාලියගේ තේරීමට මුල් තැන
මනාලයෙකු තමන්ගේ විවාහ දිවිය ගිවිසගන්නා දවස හෝ මංගල දිනයට ඇඳුම් තෝරාගැනීමේදී පළමුවෙන්ම සිදු කළ යුත්තේ මනාලියගේ ඇඳුම තීරණය කිරීමයි. මන්ද මනාලිය අඳින සාරිය හෝ ගවුම හෝ ඔසරිය හෝ ඒ අඳින ඇඳුම්වල වර්ණය මුලින්ම තෝරාගත යුතුය. මනාලිය සුදු ද, තලඵළලු ද, පැහැයෙන් ගොඩක් අඩු කෙනෙක් ද යන්නත්, මනාලයා ඊට වඩා පැහැයෙන් යුත් කෙනෙක් ද යන්නත් මෙහිදී වැදගත් වේ. මනාලියකගේ සිරුරේ හැඩය ගැන සිතනවා වගේම පළමුවෙන්ම කළ යුතු දේ තමයි මනාලියගේ මංගල ඇඳුම්වල වර්ණ ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීම. දෙදෙනා අතර වර්ණ ගැළපීමක් නොමැති වුවහොත් ඡායාරූපවලදී පවා පෙනුම පලුදු විය හැකිය.
සම්ප්‍රදාය සහ විලාසිතාව
දෙවනුව මනාලිය හැඩවන ආකාරය පිළිබඳව නිසි අවධානයක් යොමු කරමින් උඩරට විදිහට ද, පහතරට විදිහට ද, බටහිර විදිහට ද, හින්දු විදිහට ද, කුමන විදිහට ද යන විලාසිතාව පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුය. ඒ වගේම මනාලිය දෙවැනි මනාලියන් සහ මල් කුමරියන් භාවිත කරනවා ද? මෙන්න මේ වගේ දේවල් ගැන මනාලයා විශේෂයෙන් පැහැදිලිව දැනගත යුතු වෙනවා. ඊට පස්සේ තමයි ඔසරියක් නම් සමහර විට මනාලයාගේ ශරීරයේ හැඩය අනුව තුම්පොට්ටිය අඳිනවද යන්න තීරණය කරන්නේ. තුම්පොට්ටිය කියලා අපි කියන්නේ මුල් ඇඳුම හෙවත් නිලමේ ඇඳුමටයි.
සිරුරේ හැඩයට ගැළපෙන ඇඳුම
නිලමේ ඇඳුම අඳින්න නම් හොඳ උසක්, හොඳ පළල් උරහිසක්, හොඳ කඳ උස මහතට පේන ඇඟක් තියෙන කෙනෙක් තමයි ලස්සන. බොහෝ විට කුඩා සිරුරු, කෙට්ටු සිරුරු තියෙන අය සහ කුඩා මුහුණක් ඇති අය නිලමේ තොප්පිය සහ එම ඇඳුමෙන් සැරසුණාට ලස්සනක් පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මනාලිය උඩරට සම්ප්‍රදායික විදිහට ඇන්දත්, මනාලයාට කළු වර්ණය හෝ ඩාර්ක් බ්ලූ වැනි වර්ණවලින් යුක්ත වූ යුරෝපීය විලාසිතාවේ ‘ෆුල් කිට්’ එකක් තෝරාගත හැකිය. මෙහිදී මනාලයාට උස සපත්තු භාවිත කරමින් උස පෙනුමක් ලබාගත හැකිය.
ගොඩක් සිහින් සිරුරක් තියෙන, කෙට්ටු, කෙසඟ වගේ පිරිමි ළමයි තද පාටවල්වලට යන්න නරකයි, මොකද තවත් පොඩි වෙලා, කුඩා වෙලා පේන හින්දා. එවැනි පුද්ගලයන් ඕෆ් වයිට් වගේ ළා පැහැති වර්ණවලින් සැරසෙනවා නම් එය වඩාත් නිර්මාණශීලිව කැපී පෙනෙනවා. ඈෂ් වගේ විහිදිලා යන පාට ඔවුන්ට වඩාත් සුදුසුයි. මනාලයාගේ ඇඳුම් අඳින විලාසිතාව මනාලියගේ ඇඳුමට ගැළපෙනම විදිහ වෙන්නත් ඕනේ. සරමට වුණත්, නැෂනල් එක අඳිනකොට වුණත් හොඳ උරහිස් පළල් සිරුරක් තියෙන කෙනෙක් තමයි ලස්සන වෙන්නේ.
ගැළපීම සහ පෙනුම
මෙහිදී මනාලයාගේ ශරීරයේ උස මහත ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. මනාලියගේත් පෙනුම ගැන ගොඩක් වෙලාවට හිතන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට සමහරක් තැන්වලදී මනාලිය ගොඩක් වයස්ගත පෙනුමක් තියෙන කෙනෙක් නම්, මනාලයා බොහෝ තරුණ පෙනෙන පොඩි විදිහට අඳින්න නරකයි. මොකද එතකොට මනාලිය වයස්ගතයි මනාලයා පොඩි වයසක කෙනෙක් වගේ පේන්න ඉඩ තියෙනවා. එතනදී ගැළපීමක් නැති විදිහක් පෙන්නනවා. කුඩා සිරුරක් හිමි අය බ්ලේසර් එකක් ඇඳලා ඒකේ හැඩය අවශ්‍ය පරිදි සකසා තමන්ගේ ශරීරය හැඩ කරලා හදාගන්න පුළුවන් වෙනවා.
ඇඳුම සකසා ගැනීම
මංගල ඇඳුම (නිලමේ ඇඳුම් වැනි) යම් කිසි ආයතනයකින් ලබාගන්නවාට වඩා, සිරුරේ හැඩයටම අලුතෙන්ම මහලා දෙනවා නම් වඩාත් අගනේය. මංගල දිනයේ තමන්ගේ ඇඳුම ලස්සනට මහගන්නවා නම් තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඒත් ආර්ථික මට්ටම් අනුව තමන් කුලියට ලබා ගන්නවා නම්, එය තමන්ගේ සිරුරට ගැළපෙන විදිහට තාවකාලික මිනුම් අනුව හෝ ටේලර් ෂොප් එකකට ගිහිල්ලා අඩු වැඩි කරලා හදාගන්න ඕනේ. එහෙම තමයි විවාහ වන දිනයේදී මනාලයත් මනාලිය සේම ලස්සනට හැඩවිය යුත්තේ.
අමතර උපාංග සහ පාවහන්
විශේෂයෙන්ම ඇඳුම් පැලඳුම් අඳින වෙලාවට ටයි එක, බෝ එක අනුකරණය කිරීමෙන් දාන්න යන්න නරකයි. ඔරලෝසුව පැලඳීමේදී ඇතැම් අවස්ථාවල බ්ලේසර් වගේ දේවල් අඳිනකොට පමණක් එය භාවිත කළ යුතුයි. නිලමේ මුල් ඇඳුම, නැෂනල් එක හෝ ආර්ය සිංහල ඇඳුම අඳින විට ඔරලෝසුවක් අවශ්‍ය වන්නේ නැත. සපත්තු පැලඳීමේදීද ඇතැම් වෙලාවට ඉදිරියෙන් ගොඩක් උලට දිග සපත්තු දානවා. ඒවා දැම්මහම තවත් ශරීරය කැතට පේනවා. ඒක නිසා ඒ දිග නැතුව හොඳ හීල් (heel) එකක් තමන්ට ගැළපෙන සේ සකසා ගත යුතුයි. පාවහන් නිෂ්පාදනය කරන අයත් එක්ක කතා කරගෙන උස මදි නම් උස හිටින විදිහට එය අවලස්සන නොවන සේ හීල් එක හෝ ප්ලැට්ෆෝම් (platform) එක හදාගන්න පුළුවන්. සරම්වලින් සැරසෙනකොටත් බාටා සෙරෙප්පු වැනි දේවල් පාවිච්චි නොකර, කකුලේ හැඩයට ලස්සන සැන්ඩල්ස් (sandals) වැනි දේවල් නිර්මාණශීලිව නිර්මාණය කර පාවිච්චි කිරීමෙන් මනාලයාගේ පෙනුම තවත් නැඟේ.
TEXT – සචිනි දිසානායක
