Monday, March 2, 2026
Epaper
Home විශේෂාංගඑරත්න මාවතේ සොඳුරු මතක

එරත්න මාවතේ සොඳුරු මතක

සොබාදහමේ අසිරිය විඳින වන්දනාවක්

by Shanaka Lakehouse

පරිසරයට ආදරය කරන, පරිසරය රස විඳින්නට කැමැති ඔබ ශ්‍රී පාදය කරුණා කරන්නේ නම් කුරුවිට – එරත්න සිරිපා මාර්ගයෙන් සිරිපා කරුණා කළ යුතුමය. බොහෝ දෙනෙක් ශ්‍රී පාදය කරුණා කරන හැටන් මාර්ගය තරම් සුවපහසු ගමන් මාර්ගයක් නොවුණද, තදබදයකින් තොරව නිවී සැනහිල්ලේ පරිසරයේ චමත්කාරය රස විඳිමින් කුරුවිට – එරත්න මාර්ගයෙන් ඔබට සිරිපා කරුණාව සිදු කළ හැකිය. මෙය හුදෙක් වන්දනාවක් පමණක් නොව, මහා වනාන්තරයක නිහඬ බවත්, වන සතුන්ගේ නාදයත් සමඟ කරන ආධ්‍යාත්මික චාරිකාවකි.

අඩවිකන්දෙන් ඇරඹෙන සොඳුරු ගමන

කුරුවිට – එරත්න සිරිපා මාර්ගයේ ප්‍රවේශය අඩවිකන්දයි. අඩවිකන්ද පාමුලින් සමනොළ ගිර තරණයට පැරණි මාර්ගය සහ නව මාර්ගය ලෙස මාර්ග දෙකක් දිස්වෙයි. එම මාර්ග ද්විත්වයම වර්ණගල අම්බලම දක්වා ගමන් කරයි. ඔබ පරිසරය රස විඳින්නෙක් නම් මෙහිදී නිසැකවම තෝරා ගත යුත්තේ පැරණි මාර්ගයයි. කුලී මුදලක් ගෙවා නව මාර්ගයේ කැබ් රථයකින් හෝ ත්‍රිරෝද රියකින් කිලෝමීටර් හතරක දුරක් ගමන් කිරීමේ හැකියාවද ඔබට තිබේ. එහෙත් වර්ණගල තෙක් පැරණි මාර්ගයේ ඔබ ගමන් කළ යුත්තේ පා ගමනිනි.

අඩවිකන්දෙන් ඇරඹෙන මේ සොඳුරු ගමනේදී සීතල තැවරුණු සුළඟ, ඒ සුළඟෙන් ළෙල දෙන තුරුලතා, ඒ තුරු ළතා මත පෙම් ගී ගයන විහඟුන්, මල් පෙති සිප ගන්නා සමනලුන්, මී මැස්සන්, බඹරුන් හැර අන් කිසිවක් අප නෙතට හසු නොවෙයි. ඒ සුන්දරත්වය මැදින් ගල් කුළු මතින් ටිකෙන් ටික ඉහළ නැඟී යන අපි ජම්බෝල ගහ යට සහ මාරගහහේන අම්බලම් පසුකර තවත් ඉදිරියට ඇදී ගියෙමු.

වර්ණගල විදුලි බලාගාරය සහ චාරිත්‍ර

මාරගහහේන අම්බලම පසුකරමින් කිලෝමීටර් දෙකක් පමණ ගමන් කළ විට වර්ණගල විදුලි බලාගාරය මුණගැසෙයි. අඩවිකන්දේ සිට පැරණි මාර්ගය අත්හැර කැබ් රථයක හෝ ත්‍රිරෝද රියක නැඟී පෙර කී නව මාර්ගයේ ගමන් කරන ඔබට වාහනයක නැඟී ගමන් කළ හැකි අවසන් ගමනාන්තය වන්නේද මෙයයි. අඩවිකන්දේ සිට දිවෙන කුරුවිට – එරත්න ශ්‍රී පාද පැරණි මාර්ගය සහ නව මාර්ගය එක් වන ස්ථානය මෙම විදුලි බලාගාරය ආසන්නයෙන් වැටී තිබේ. එහෙයින් ඉන් අනතුරුව ඔබට වර්ණගල විදුලි බලාගාරය අසල සිට සිරිපා මළුව තෙක් කුරුවිට – එරත්න පැරණි මාර්ගයේ කිලෝමීටර් දොළහක පමණ දුරක් පයින් ගමන් කිරීමට නිසැකවම සිදු වෙයි.

මෙම මඟෙහි තෙවැනි විවේකස්ථානය වන වර්ණගල අම්බලම මෙහිදී අපට දැක ගත හැකිය. වර්ණගල අම්බලම පසුකර මීටර් සියයක් දුර ඇදෙන විට පුරාණ සුමන සමන් දේවාලය මුණ ගැසෙයි. කෝඩුකාරයන්ගේ සුරත පඬුරු සහිත ශ්වේත පට පැලඳිය යුත්තේ මේ ස්ථානයේදීය. කෝඩුකාර සැදැහැවත්තු මෙහිදී පන්සිල් ගෙන දකුණු අත පඬුරු ගැටගසා ගෙන, සිත තුළ දැඩි අධිෂ්ඨානයක් ගොඩනඟා ගනිමින් කුඳුල් සිරිපා කරුණාවට ලහිලහියේ සූදානම් වන ආකාරය මෙහි සුලබ දසුනකි.

වන මං පෙතේ අසිරිය

වර්ණගල පසුකර තව තවත් ඉහළට ඇදෙන විට ගමනේ විඩාව මඳ වශයෙන් හෝ අපට දැනෙන්නට පටන් ගනියි. එහෙත් හාත්පස සොබා සෞන්දර්ය තැවරුණු හරිත පැහැ තුරුලතා සිප ගන්නා කඳු මුදුන්, ඒ කඳු සිප ගනිමින් අප සනහන සීත සුළං රැලි ගමන් විඩාවද රැගෙන පලා යන්නේ සමනොළ ගිර නඟින්නට රුකුල් දෙමිනි. යන එන මඟ දෙපස බැලූ බැලූ තැන මලින් කොළින් ගැවසුණු මහා ඝන වනාන්තරය පමණකි. ඒ වනාන්තරය අස්සේ සැඟවී, හෝ හෝ නදින් හඬ තළන්නේ පහළින් ඇදෙන සීත ගඟුලයි. මේ අතර ඈත කඳු මුදුන් දෙස දෑස දල්වාගෙන බවුන් වඩන්නට සකස් කළ බංකු පෙළක්ද තැනින් තැන දැක ගත හැකි වෙයි. සැබැවින්ම ඒ බංකු මත වාඩි ගෙන මීදුම් තැවරුණු කඳු දෙස බලා සිටින්නකුගේ සිත ඔබ මොබ සක්මන් නොකරයි.

වර්ණගලින් කිලෝ මීටර් හතරක් පසු කර ඉදිරියට ඇදෙද්දී මහ වන මැද සැඟව නද දුන් සීත ගඟුල අප නෙත් මානයේ සිනාසෙන්නේ සීත දිය තවරාගෙන විඩාබර ගත සනහාගන්නැයි කියන්නාක් මෙනි. ඒ ඇරයුමෙන් සීත ගඟුලේ සීත දියෙන් අප ගත නැහැවෙද්දී දිය යට මසුන් කිසිදු අය කිරීමක් නැතිවම අප දෙපා සම්ඛාහනය කරයි.

වර්ෂාව සහ රාත්‍රී කරුණාව

සීත ගඟුලෙන් විඩා නිවාගෙන එහි අම්බලමේ මඳ වෙලාවක් රැඳී සිට නැවතත් සමනොළ සිරසට නැඟෙන අප ගත වටා සීත සළුව දැන් දැන් පෙරට වඩා දෙතුන් පොටක් එතී එතී හිරිගඩූ නඟයි. ඒ අස්සේ කන් බිහිරි කරවන රැහැයියන්ගේ ඝෝෂාව පහළින් ඇදෙන සීත ගඟුලේ සුමියුරු රාවය පරාජය කරයි. වෙනදාට මෙහි නැඟෙන මීදුම වැසි සළුවෙන් වසාගෙන එක් වරම මහා වරුසාවක් ඇද හැලුණේ අප හැඳ සිටි සීත කබා මත වැහි කබායක බරද පටවමිනි. මේ අතර කොළ රොඩු අතර සුව නින්දේ පසු වූ කූඩැල්ෙලා් වැස්සත් සමඟ යළි පණ ලබා දෙපාවල එල්ලී අප කැටුව ගමන් කරති. මේ ගමනේදී කූඩැල්ලන්ගේ ඇසුරද අපට නොමඳව ලැබෙන බව කිව යුතුය.

සැණෙකින් නැඟුණු වැසි සැණෙකින්ම නිමා වෙද්දී සීත ගඟුලේ සිට කිලෝමීටර් තුනක් පසු කර අපි මැදහින්න අම්බලමට ළඟා වූවෙමු. කළු වන් වැසි සළු අකුලා ගත් අහස තරු සළුවෙන් වසා ගනිද්දී රෑ ගනඳුරෙන් නැඟුණු භයංකාරය විදුලි ආලෝකයෙන් මකාලූයේය. අඩවිකන්දේ සිට සිරිපා මළුවටම කණු මත එල්ලී හිනැහෙන විදුලි පහන් වන්දනාකරුවන්ට රැකවල් සපයයි. කුරුවිට මාර්ගයට තවත් මාර්ග කිහිපයක්ම සම්බන්ධ වන අතර ඒ අතර දැරණියගල මාලිම්බොඩ සිරිපා මාර්ගය සහ සඳගල තැන්න මාර්ගය ප්‍රධාන වෙයි. ඒ මාර්ගවලින් සිරිපා කරුණාවට එක් වන පිරිසද කුරුවිට මාර්ගයේදී ඉඳහිට හෝ අපට මුණගැසෙයි.

ඉඳිකටුපාන සහ අවසන් හෝරා කිහිපය

ඉඳිකටුපාන අම්බලමට පෙර වන්දනාකරුවන්ට සෙවණ දෙන්නට සොබා මෑණියන් විසින් ඉදි කරවූ විසල් ගල් කුළක් අපට හමු වෙයි. අව්වට, වැස්සට, පින්නට එය වන්දනාකරුවන්ට රැකවලෙක් වන්නේ නිරායාසයෙනි. එහි විඩා නිවා ගත් අප ඉඳිකටුපාන අම්බලමට ළඟා වන්නේ කෝඩුකාරයන් වෙනුවෙන් වතාවත් ඉටු කිරීමට ලක ලැහැස්ති වෙමිනි. කෝඩුකාරයන් විසින් ගෙත්තම් කළ සුදු පැහැති නූල් ගෙත්තමින් සැරසුණු ගෙත්තම්පාන පසු කරමින් ඉදිරියට ඇදෙන අපට කුරුවිට එරත්න මාර්ගය සහ පලාබත්ගල රජ මාවත සම්බන්ධ වන ගල්වංගෙඩිය අම්බලම මීළඟට හමු වෙයි.

හැරමිටිපාන පොලිස් ස්ථානය, විවේකාරාම විහාරස්ථානය සහ මකර තොරණ එහිදී අපට මුණගැසෙයි. විවේකාරාම විහාරස්ථානය අසල සෑම දිනකම පාහේ දන්සැලක් නොවරදින බව එහි රැකවලට සිටින පොලිස් නිලධාරියෙක් පැවසුවේය. අඩවිකන්දේ සිට කිලෝමීටර් හත අටක් ඉහළට කරුණා කරන වන්දනාකරුවන්ගේ ගත වෙලා ගත් සීතල මුසු විඩාව දන්සැල් කෝපි කෝප්පයට සැණෙකින් උරා ගත්තේය. දන්සැල් සංවිධායකයන්ට පින් දෙමින් නැවතත් ගමන් ආරම්භ කරන අපට මීළඟට මුණ ගැසෙන්නේ ආඬියාමලතැන්න අම්බලමයි. මෙය සිරිපා මළුවට නැඟෙන ප්‍රධාන මාර්ග ත්‍රිත්වයම හොඳින් දිස්වන ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

සිරිපා මළුවට පිවිසීම

අනතුරුව සුළං කපොල්ලෙන් අතොරක් නැතිව නැඟෙන චණ්ඩ සුළඟද දරා ගෙන ඇහැළ කණුවද පසු කර සිරිපා මළුවට නැඟෙද්දී දැනෙන සුවය, මෙතෙක් අප ලද විඩාව සැණෙකින් මකා දමන්නේ පුදුමාකාරයෙනි. හාත්පස කඳු මුදුන් අරක් ගත් මීදුම සහ සුළඟ දැවටුණු පරිසරය ගතට සිතට දෙන සිසිලස නිසාම අප සිටින්නේ දෙව්ලොවදැයි දෙවරක් විමසන තරමට අප ඒ සුවයට ඒකාත්මික වී ඇත. කුරුවිට – එරත්න මාර්ගය යනු ශාරීරික දුෂ්කරතා මධ්‍යයේ වුවද සොබාදහමේ අසීමිත ශාන්තිය අත්විඳිය හැකි මාවතකි.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?