Wednesday, March 4, 2026
Epaper
Home විශේෂාංගමගේ අම්මා ජීවිතයෙන් සමුගත්තේ මාව අත්හැරපු මොහොතේදීයි

මගේ අම්මා ජීවිතයෙන් සමුගත්තේ මාව අත්හැරපු මොහොතේදීයි

ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන

by Shanaka Lakehouse

‘අම්මා’ ගැන නිර්වචන කොතෙක් තිබුණද අම්මා නිර්වචනය කිරීමට තරම් පිරිපුන් නිර්වචනයක් තවමත් මෙලොව ලියැවී නොමැත. ඈ සතු ගුණ කඳ ඒ තරමටම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුවිශාලය. ලොව සහසක් අම්මාවරුන් අතර මෙවර තරුණී අම්මාවරුනේ විශේෂාංගයෙන් කතාබහ කරන අම්මාද අපමණ ගුණ කඳක් දරාගත් ධීර කාන්තාවකි. ඒ අම්මා ගැන කතා කරන්නට ඇගේ ආදරණීය දියණිය, ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන අප සමඟ එක් වුණේ මේ ආකාරයෙනි.

“මගේ අම්මාගේ නම මාහිමි බණ්ඩාර මාරපන මුදියන්සේලාගේ මානෙල් මාරපන. පුංචි කාලේ මට තිබුණේ මගේ අම්මාගේ ආදරය විතරයි. මගේ අම්මයි අප්පච්චියි වෙන් වන විට මගේ වයස මාස අටයි. ඇය අප්පච්චිගෙන් වෙන් වන්නට ප්‍රධාන හේතුව වුණෙත් මම. ඉතින් මගේ අම්මා ඒ කාලේ ඉඳන්ම මට අසාමාන්‍ය විදිහට ආදරය කළා. ඇත්තටම මම ගැහැනු දරුවෙක් වෙලා ඉපදුණු නිසා තාත්තා මාව ප්‍රතික්ෂේප කළා. එහිදී මගේ අම්මා මගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටියා. ඉතින් ඇය මගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් නිබඳවම පෙනී සිටි යකඩ ගැහැනියක්. ඇය පුංචි කාලේ මාව අරගෙන උසාවි ගිය හැටි, පියා සහ පියාගේ පාර්ශ්වයෙන් මට අනතුරක් වේවි යැයි මාව ආරක්ෂා කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඇය ඒ වෙනුවෙන් දැරුවේ පුදුමාකාරයේ වෙහෙසක්. ඉතින් ඒ එක්ක අපේ අම්මාගේ ආදරය, සෙනෙහස, රැකවරණය මෙතරම් යැයි කිව නොහැකි තරම් විශාල දෙයක් යැයි මට වැටහෙන්න පටන් ගත්තා”

දුලීකා සිය මව හා බැඳුණු අමතක නොවන සිදුවීම් කිහිපයක් විස්තර කළේ මේ ආකාරයෙනි.

‘මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. ඒත් පාසල් කාලයේ වාර විභාගයකදී මට ඉංග්‍රීසිවලට තිබුණේ ලකුණු දහයක් විතරයි. ඉතින් එදා අම්මා මට හොඳටම ගැහුවා. “මම ඉංග්‍රීසි ගුරුවරියක් වෙලා උඹ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඇයි මෙච්චර කැමැති නැත්තේ.” (නැතහොත් අකැමැති) යැයි ඇය මගෙන් එදා ඇහුවා. මගේ අම්මා වගේම මගේ සීයා, ලොකු අම්මා ඇතුළු පවුලේ බොහෝ දෙනෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් අය. ඉතින් එදා අපේ අම්මා මට තළපු ගුටි පාරවල් ටික මගේ ජීවිතේට අමතක වෙන්නේ නෑ. පුංචි කාලේ මං බොහොම දඩබ්බරයි. ඒ දඩබ්බරකම් නිසාම ඉගෙන ගන්නට මං මැළි වුණා. ඇතැම් වාර විභාගවල ප්‍රශ්න පත්‍රය නොලියා මං නිදා ගන්නවා. ඒ වගේම ප්‍රශ්න පත්තරයට උත්තර ලියන්නේ මට හිතුණොත් විතරයි. ඉතින් ඒ විදිහේ දඩබ්බර ගති මගේ ළඟ තිබුණා.

ඒත් ඇත්තටම අම්මාගේ අරමුණ වුණේ මාව සමාජගත කරද්දී පරිපූර්ණ දැනුමක් සහිත පුද්ගලයෙක් ලෙස මාව සමාජයට දායාද කරන්නයි. ඒ අරමුණ ඇතිව ඇය මට උපදෙස් දෙමින් විටෙක ගුටි තළමින් බැණ වදිමින් මාව පිරිපුන් පුරවැසියෙක් කරන්නට සෑහෙන උත්සාහයක් ගත්තා. ඉතින් ඇත්තටම බොහෝ දෙනෙක් කීවේ, අම්මාට මගෙන් ඈත් වෙන්න නොහැකි වේවි කියායි. ඒ තරම් ගහට පොත්ත වගේ බැඳීමක් අපි දෙන්නා අතර තිබුණා. ඇත්තටම අපි දන්නා හඳුනන අයගේ අදහස වුණේ, මගේ විවාහයෙන් පස්සේ වුණත් ඇය මගේ පසුපස හිඳිමින් මාව පාලනය කරාවි කියායි. ඒත් මගේ විවාහයෙන් පස්සේ මගේ අම්මා ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් වුණා. මං විවාහ වන තුරුම ඇය මාව පාලනය කරමින් දරදඬු ලෙස කටයුතු කළා. මං රෑ වෙලා ගෙදර ආවොත් මට බැන වදිනවා, තරුණ වියේදී වුණත් මං එකට එක කිව්වොත් ඇය මට ගුටි තැලූ වාර අනන්තයි අප්‍රමාණයි. ඒත් විවාහයෙන් පස්සේ ඒ සියල්ල වෙනස් වුණා. අනතුරුව ඇය මට දුන්නේ ලොකු නිදහසක්. “දැන් මං ඔයාගේ පස්සෙන් එන්න ඕනෑ නෑ” කියා විවාහයෙන් පසු ඇය මට පැවසූ සැටි අද වගේ මතකයි.

ඒත් ඇය මාව සිතින් අත්හැර තිබුණේ නෑ. ඒ බව මට තේරුම් ගියේ ඇය රෝගාතුරව ජීවිතයේ අවසන් මාස කිහිපය ගත කරන කාලයේදී. ඉතින් අම්මා අසනීප වෙලා රෝහල්ගතව සිටි කාලයේ හැම මොහොතකම ඇයට මාව දකින්න වුවමනා වුණා. උදේ අවදි වෙද්දී වගේම රෑ නින්දට යද්දීත් ඇයට මාව නොදැක ඉන්න බැරි වුණ බව කිව යුතුයි. ඒ කාලයේ ඇය මට පැවසූ දෙයක් ගැන අදටත් මං කල්පනා කරනවා. ඇය මට කිව්වේ, “මට හැමදේම අත්හරින්නට පුළුවන්. ඒත් මට ඔයාව අත්හරින්න බෑ” කියායි. ඇය ඒ ප්‍රකාශය කළේ ඈ නැති වෙන්නට මාස එකහමාරකට පමණ පෙරයි. ඇත්තටම මගේ අම්මා වෙනුවෙන් මං ගත කළ කාලය මදි නේදැයි මං එදා කල්පනා කළා. ඉතින් එදායින් පසු මගේ සියලු වැඩ නවතා දමා අම්මා ළඟටම වී කාලය කැප කරන්නට මං කටයුතු කළේ ඇය කෙරේ වූ දැඩි ස්නේහයෙන්. ඒ වෙලාවේ මට අම්මා හරි අපූරු, ලස්සන කතාවක් කිව්වා. “මං මීට කලින් අසනීප වුණා නම් හොඳයි” යනුවෙන් ඇය කියා සිටියා. එසේ කියන්නට හේතුව මං විමසද්දී ඇය මට කියා සිටියේ “එහෙම වුණා නම් ඔයා මීට කලින් මගේ ළඟට වෙලා ඉන්නවා නේ” යනුවෙන්. මගේ අම්මා මාව කොතරම් බලාපොරොත්තු වෙලා තියෙනවාද කියා එදා මං තේරුම් ගත්තා.

ඒත් අම්මා ජීවිතයෙන් නිදහස් වෙන වෙලාවට අපේ බැඳීම ඊට බාධාවක් වනු ඇතැයි යන සිතුවිල්ල මට දැනුණා. ඉතින් ඒ ගැන එදා සිට මං ඇය සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලින් පස්සේ ඇය ඒ ගැන තේරුම් ගත්තා. ඉතින් දවසක් ඇය මට මෙහෙම කිව්වා. “දැන් මට ඔයාවත් අත්හරින්න පුළුවන්” යනුවෙන් මගේ අම්මා මට පැවසුවා. ඒ ප්‍රකාශයෙන් දවසකට පස්සේ ඇය මෙලොවින් සමු ගත්තා. ඇත්තටම මගේ අම්මා මාව අත්හැරපු තැන ඇය ජීවිතයෙන් නිදහස් වුණා කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඇය වේදනාවන් දරාගෙන හෝ සිටියේ මාව අත්හරින්න බැරි වුණු නිසා යැයි මා සිතනවා.”

දුලීකා මාරපනගේ මව සතු වූ සුවිශේෂ ගුණාංග දුලීකා විස්තර කළේ මේ අයුරිනි.

“මගේ අම්මා ළඟ තිබුණු ගතිගුණ බොහෝමයක් මගේ ළඟ නෑ. මගේ ළඟ තියෙන්නේ මගේ අප්පච්චිගේ ගතිගුණ යැයි මා විශ්වාස කරනවා. මගේ අම්මා ඉස්සර මට බණින්නෙත් “මහ එකාගේ ගතිගුණමයි තියෙන්නේ” කියා කියමින්. ඒ කාලේ මා කළේ කෙනෙකුට විඳ ගන්නට බැරි තරමේ දඩබ්බර වැඩ. ඒත් අම්මා ඒ හැම දෙයක්ම බොහොම ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන් දරා ගත්තා. ඒත් අම්මා ළඟ තිබුණු ඉවසීම මා සතුව නෑ. ඒ වගේම මවක් සතු විය යුතු හැම ගුණයක්ම මගේ අම්මා ළඟ තිබුණා. ඒ ගුණයත් මා සතුව නැති බව කිව යුතුයි. අම්මා නිතරම අවශ්‍ය තැන අවශ්‍ය දේ කළ කාන්තාවක්. නොපසුබට උත්සාහයත් අම්මා සතුව වූ විශිෂ්ට ගුණාංගයක්. එහෙත් නොපසුබට උත්සාහය කියන ගුණාංගය අම්මාගෙන් මට ලැබුණු ගුණාංගයක් බව කිව යුතුයි. ඇය කිසිම කෙනෙකුට යටත් නොවූ ස්වාධීනව ජීවත් වූ කාන්තාවක්. “මයි කාර් – මයි පෙට්‍රල්” යන ප්‍රකාශය ඇගේ මුවින් නිතරම පිට වුණා. ඇය ඇගේ වපසරිය ඇය විසින් නිර්මාණය කරගෙන ඉතා අභිමානවත් ජීවිතයක් ගත කළා. ඒ වගේම අපේ අම්මා ගොඩක් අහිංසක චරිතයක්. ඇය නිතරම මා සමඟ කටයුතු කළේ බොහොම ශක්තිමත්, ආත්ම විශ්වාසය සහිත ගැහැනියක් ලෙසයි.

ජීවිතයේ ප්‍රශ්නයක් මතු වූ මොහොතක දුලීකාට සිය මව සෙවණැල්ලක් වූ ආකාරය ගැන දුලීකා පළ කළේ මෙවන් අදහසක්.

මගේ අම්මාව මට ගොඩක් වැදගත් වුණේ ප්‍රශ්නයක් මතු වූ විටයි. මට ප්‍රශ්නයක් එන හැම විටකදීම ඇය මා වෙනුවෙන් මගේ ඉදිරියෙන් සිටිමින් පෙනී සිටියා. එහෙත් ඇය ඊට පෙනී සිටින්නට නම් මං ඒ ප්‍රශ්නයේදී නිවැරැදි විය යුතුයි. මං වරදක් කර තිබුණොත් මට ඇගෙන් සමාවක් ලැබන්නේ නැති බව කිව යුතුයි. එහෙත් මං නිවැරැදි නම් ඒ ප්‍රශ්නය යහපත් පිළිතුරකින් අවසන් වන තුරු ඇය මා අත්නොහැර මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම මගේ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් මට අම්මා එක්ක කතා කරන්නට හැකියාව තිබුණා. ඇත්තටම ඇහුම්කන් දෙන, යමක් අවබෝධ කර ගත හැකි මවක් ලැබීම, දුවෙක් ලෙස මා ලද වාසනාවන්තම ලැබීමක් බව කිව යුතුයි.

සිය රංගන දිවියේ අම්මාවරුන්ගේ චරිත රැසකට පණ පෙවූ දුලීකා ඒ අතරින් සිය මෑණියන්ව වඩාත්ම දුටු චරිතය ගැන මෙසේ අදහස් පළ කළාය.

“ඇත්තටම මං රංගන ජීවිතයේ අම්මාගේ චරිත රැසක් රඟපාලා තියෙනවා. ඒ අතර මගේ අම්මාව වඩාත් කැපී පෙනෙන ලෙස දුටු චරිතය ලෙස “අත්තම්මා” හි ඩිංගිරි අම්මා චරිතය පෙන්වා දිය හැකියි. ඇත්තටම මගේ අම්මා කතා කළ ආකාරය, අඳින පලඳින ආකාරය, ඇවිදින ආකාරය ඒ චරිතය තුළින් නිරූපණය වුණා යැයි මා විශ්වාස කරනවා”

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?