කාලයෙන් කාලයට විවිධාකාරයේ මත අදහස් පළ වුවද ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තවමත් ක්‍රියාත්මක වන්නේ පුරුෂ මූලික ජන සමාජයකි. ඒ තුළ පිරිමි පාර්ශ්වයේ ඇල්ම බැල්ම, ආරක්ෂාව යටතේ දියණියක, බිරියක, මවක ලෙසින් කාන්තාව සිය ජීවිතය පවත්වාගෙන යන්නීය. යුරෝපීය රටවල පවත්නා නිදහස් මතධාරී කාන්තා චින්තනය අපේ සමාජයේ තරුණියන්ට තවමත් අභියෝගයකි. ඒත් මේ අභියෝගයට ඉඳහිට යම් යම් ප්‍රතිප්‍රහාර එල්ල කරනා කාන්තාවන් ද අප අතර නැතුවා නොවෙයි.
‘බෙලා’ එහෙමත් නැතිනම් බෙලින්ඩා කෲස් කියන්නේ එවැනි කාන්තාවන්ට අපූරු උත්තේජනයක් සපයන යුරෝපීය කාන්තාවකි. නීතිවේදිනියක ලෙසින් නිදහස් මතධාරී වෘත්තීය ජීවිතයක් ගත කරන ඇය ලොව හැමදෙයම දෙස බලන්නෙ නිවහල්වය. විවෘතවය. තීරණ ගන්නේත් ඵලෙසමයි. ආදරය හොඳින් දකින, එය හොඳින් විඳින, එවන් සබඳතාවක අවසන් ඉලක්ක පිළිබඳවත් ඇය ඒ විවෘත මනසින් දකින්නියකි. ඔස්ට්‍රේලියාවට ආසන්න නැඟෙනහිර ටිමෝරයේ විදෙස් සාම සාධක මෙහෙයුම්වල නිරත ලාංකික තරුණයකු වූ තමල් බෙලින්ඩාගේ ප්‍රේමවන්තයායි. ‘බෙලා’ ඔවුන් අතර ගලා යන රෝමාන්තික ආදරය ගැන කියැවෙන කෘතියයි.
හිටපු එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සිවිල් සේවක විජිත බණ්ඩාර හේරත් විසින් රචිත කුලුඳුල් නවකතාවයි බෙලා. වර්තමානයේ විදෙස්ගතව ජීවත් වන ඔහු මේ දිනවල ලංකාවේ කෙටි සංචාරයක නිරතව සිටී. ඒ අතරතුර බෙලා ගැන කෙටි සංවාදයක නියැෙළන්නට ඔහු තරුණීට ගොඩවන්නට අමතක කළේ නැහැ.
අපි මුලින්ම ඔබේ ලේඛන කලාවේ ආරම්භය ගැන කතා කරමුද.
ඇත්තටම මම වෘත්තීය ලේඛකයකු හෝ සාහිත්‍යධරයෙක් නෙවෙයි. දැනට බ්‍රිතාන්‍යයේ ජීවත්වන එක්සත් ජාතීන්ගේ හිටපු ජාත්‍යන්තර සිවිල් සේවකයෙක්. හැබැයි මම දැඩි ආසාවකින් පොතපත කියවන කෙනෙක්. දිගු කාලයක් තිස්සේ මේ කියවීම හරහා මට සාහිත්‍යකරණය පිළිබඳ ඇල්මක්, රුචියක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මම 2018 වසරේ ඉඳන් විවිධ චාරිකා සටහන්, මතක සටහන් ලියන්න පටන් ගත්තා. මේ විදිහට නවකතාවක් ලෙසින් පරිණාමය වුණේ ඒ ලියවිල්ලයි.
ඒ කියන්නේ ‘බෙලා’ ඔබේ ලේඛන ගමනේ ආරම්භයයි.
ඔව්. බෙලා කියන්නේ මගේ පළමු මුද්‍රිත කෘතියයි.
එය අතිශයින් රෝමාන්තික ප්‍රේම කතාවක් නේද?
ඔව්. හැබැයි මහද්වීපාන්තර අතර ප්‍රේම කතාවක්. විදෙස් සාම මෙහෙයුමක් අතර අහම්බෙන් සිදු වූ ශ්‍රී ලාංකික තරුණයකු සහ යුරෝපීය නීතිවේදිනියක අතර ගලා යන ආදරයක් තමයි මේ පොතට පසුබිම් වන්නේ. බෙලින්ඩා කියන ඇයගේ නම තමයි, බෙලා කියලා මේ කෘතියට නම දීලා තියෙන්නේ. මේ කතාවේ විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම මුහුණ දෙන ලාංකිකයන්ට නුහුරු අතිශය අභියෝගාත්මක විදෙස් වෘත්තීය ජීවිතයයි. මෙහි කතා නායිකාව බෙලා කියන්නේ අතිශය මානුෂීය ආකල්ප සහිත නිදහස් මතධාරී යුවතියක්. අපේ සමාජයේ තරුණියන්ට තවමත් අභියෝගයක් වෙලා තියෙන “මගේ ජීවිතය මට ඕනෑ විදිහට ගෙවන්න පුළුවන්ද?” කියන ප්‍රශ්නයට බෙලා හොඳ පිළිතුරක්. ඇය ආදරය ගැන හරි අපූරුවට දකින, එය හොඳින් විඳින යුවතියක්. ඇය ආදර සබඳතාවක අවසාන ඉලක්කය දෙස විවෘත මනසකින් බලනවා. මේ කාරණා නිසාම බෙලා කාන්තාවන්ගේ හදවතට සමීප වුණු, ඔවුන් අතර ජනප්‍රියත්වයට පත් වුණු කෘතියක් කියන්න පුළුවනි.
මෙම නවකතාවේ තමන් තුළින් ඇතැම් විට ඔබව දකින්න ලැබෙනවා කිව්වොත්?
සැබෑ සිදුවීම් පදනම් කරගත් ප්‍රබන්ධයක් ලියන විට එය උත්තම පුරුෂයෙන් ලියනවා නම් ලේඛකයා තමන් නොදැනුවත්වම කතාවට ඇතුළු වීම වළක්වන්න බැහැ. තමල් හරහා මගේ අත්දැකීම්, සිතුවිලි, මගේ ඇස් දෙකෙන් දැකපු ලෝකය ඒ සියල්ලම යම් ප්‍රමාණයකට ගලාගෙන ගිහින් තියෙනවා. ඒක මඟහරින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා පාඨකයන්ට ඒක දැනෙන එක ස්වාභාවිකයි. කොහොමටත් මේ කෘතිය පුරාම දකින්නට ලැබෙන්නේ මටම ආවේණික නිදහස් ආරේ ලේඛන ශෛලියක්.
ලේඛන කලාව තුළ ඔබේ ඉදිරි පියවරයන් ගැනත් සඳහන් කළොත් ?
මේ කෘතිය ලිවීම හරහා මට ලැබුණු උත්තේජනය තුළ ලේඛනයට ඇති ඇල්ම තවත් වැඩි වුණා. ඒ සඳහා මට තාක්ෂණික බාධාවක් තියෙනවා. එකක් ස්වයංක්‍රිය සිංහල අකුරු වින්‍යාස නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම. මම පෑනෙන් ලිවීමෙන් මිදිලා සෑහෙන කාලයක් වෙනවා. ඉතින් හිතේ ඇතිවන සිතුවිලි ඒ වේගයෙන්ම පරිගණකයට ඇතුළත් වීම පෑනෙන් ලියනවාට වඩා ඵලදායී කියලා මා හිතනවා. තාක්ෂණික පිළියම් ලැබුණොත් මගේ ඊළඟ කෘතිය බිහි වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.
අවසානයට ඔබට මොනවද තරුණී පාඨකයන්ට කියන්න තියෙන්නේ.
ලංකාවේ සංස්කෘතිකමය රාමුව හමුවේ කාන්තාවට ඇති සීමා බිඳීම ලේසි නැහැ. කාන්තාවක් ලෙස ඔබේ ජීවිතය ගැන තීරණ ගන්න බය වෙන්න එපා. ආදරය කරන්න. හැබැයි ඔබව අහිමි කරගෙන නෙවෙයි. බෙලා කියන්නේ එක කාන්තාවක් නෙවෙයි. ඇය ඔබ විය හැකියි. ඔබට හමුවුණු කෙනෙක් විය හැකියි. හෙට දවසේ ලෝකය වෙනස් කරන කාන්තාවක් විය හැකියි. ඔබේ කතාවත් ඔබම අධ්‍යයනය කරන්න. ඇතැම් විට ඔබටත් ඒවා ලියා පළ කරන්න හිතේවි. ඒකටත් බය වෙන්න එපා.
බෙලා කෘතිය කියවා ඒ ගැන හැඟුණු දැනුණු දේ කියන්නට ඇත්නම් [email protected] හරහා ඔහුව හමුවිය හැකියි.
TEXT – චම්පා වරුසප්පෙරුම
