නූතන වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවද, හුදෙක් නොදැනුවත්කම හෝ නොසලකා හැරීම නිසා වටිනා ජීවිත රැසක් අකාලයේ අපට අහිමි වෙමින් පවතී. විශේෂයෙන්ම අනාරක්ෂිත ලිංගික සබඳතා, පච්ච කෙටීම (Tattoo) හෝ රුධිරය තැවරුණු උපකරණ හුවමාරුව හරහා ඉතා වේගයෙන් ව්‍යාප්ත වන හෙපටයිටිස් B සහ C රෝග තත්ත්වයන් අද වන විට ශ්‍රී ලංකාව තුළ ද කතාබහට ලක්විය යුතු මාතෘකාවක් බවට පත්ව තිබේ. එන්නතක් මඟින් වළක්වා ගත හැකි සහ නිසි ප්‍රතිකාර මඟින් පාලනය කළ හැකි මේ රෝ
ගය පිළිබඳව ඔබ දැනගත යුතු නිවැරැදි තොරතුරු ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සමඟ සිදුකළ කතාබහක් ඇසුරෙනි.
හෙපටයිටිස් B
හෙපටයිටිස් B ආසාදනය බොහෝ විට අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ඇති වන අතර රුධිරය තැවරුණු ඉදිකටු හෝ ශල්‍ය උපකරණ පොදුවේ භාවිතයෙන් ද හෙපටයිටිස් B වයිරසය සම්ප්‍රේෂණය විය හැකිය.
රෝග ලක්ෂණ
හෙපටයිටිස් B ශරීරයට ඇතුළු වූ පසු උණ, ඇස් කහ වීම, බඩේ කැක්කුම, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. නමුත් හෙපටයිටිස් B වයිරසය නිසාවෙන් කාලයක් ගත වන විට අක්මාවේ පිළිකාමය තත්ත්වයන්, සිරෝසියාව, අක්මාව අකර්මන්‍ය වීම වැනි සංකූලතා සමහර විට ඇති විය හැකිය.
හඳුනා ගැනීම
හෙපටයිටිස් B ආසාදනය වී ඇත්දැයි දැන ගැනීම සඳහාම වූ පරීක්ෂණයකින් (රුධිර සාම්පලයක් ලබා ගෙන කරන ELISA පරීක්ෂණය හෝ රුධිර බිංදුවක් ගෙන සිදු කරන Rapid Test ක්ෂණික පරීක්ෂණයක්) කළ යුතුයි.
ප්‍රතිකාර
හෙපටයිටිස් B ආසාදනය වූ පුද්ගලයන් වෛද්‍ය උපදෙස් මත හෙපටයිටිස් B ආසාදනය අලුත ඇති වූ ආසාදනයක් ද නැත්නම් කල් ගත වූ ආසාදන තත්ත්වයක් ද යන්න දැන ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කළ යුතුය. එමෙන්ම හෙපටයිටිස් B වයිරස ප්‍රමාණය බලන PCR පරීක්ෂණ මෙන්ම රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කරන ස්කෑන් පරීක්ෂණ ද නිසි කලට වේලාවට සිදුකිරීමට වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු වේ. තවද නිසි කලට පසු විපරම් වෙත යොමු වීම අතිශය වැදගත් වේ.
තවද හෙපටයිටිස් B ආසාදනය වූ පුද්ගලයන්ගේ හෙපටයිටිස් B වයිරස ප්‍රමාණය වැඩි වන විට වෛද්‍ය උපදෙස් මත ප්‍රතිවයිරස් ඖෂධ ලබා දීම සිදු කරයි. මේ මඟින් අප ඉහත සඳහන් කළ අක්මාවේ සංකූලතා වළක්වා ගත හැකිය. තවද හෙපටයිටිස් B ආසාදිත රෝගියාගේ ආශ්‍රිතයන් පරීක්ෂා කර ඔවුනට හෙපටයිටිස් B එන්නත ලබා දීම වැදගත් වේ.
වළක්වා ගැනීම
ලිංගික සම්බන්ධතාවලදී කොන්ඩමයක් නැත්නම් උපත් පාලන කොපුවක් නිසි ලෙස භාවිත කිරීම මෙන්ම එන්නත් කටු හෝ ශල්‍ය උපකරණ, විශේෂයෙන්ම ටැටූ පච්ච කෙටීමට භාවිත කරන උපකරණ පොදුවේ භාවිතා නොකිරීමත්, සෑම විටම අලුත් කටුවක් හෝ ජීවානුහරණය කළ කටුවක් භාවිත කිරීමෙනුත් හෙපටයිටිස් B රෝගය වළක්වා ගත හැකිය.

හෙපටයිටිස් B එන්නත
හෙපටයිටිස් B වයිරසය සඳහා එන්නත් තිබේ. ශ්‍රී ලංකාවේ 2004 වර්ෂයේ සිට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සෑම දරුවකුටම මෙම හෙපටයිටිස් B එන්නත නොමිලේ ලබා දෙනු ලැබේ. තවද සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, වකුගඩු රෝගීන් මෙන්ම හෙපටයිටිස් B ආසාදනය වීමේ අවදානමක් ඇති කණ්ඩායම් වෙත හෙපටයිටිස් B එන්නත ලබා දෙන අතර නියමිත මාත්‍රාවෙන් නිසි කලට හෙපටයිටිස් B එන්නත ලබා ගැනීම මඟින් හෙපටයිටිස් B රෝගය වළක්වා ගත හැකිය.
මවගෙන් දරුවාට හෙපටයිටිස් B වයිරසය සම්ප්‍රේෂණය වීම
තවද හෙපටයිටිස් B වයිරසය මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය විය හැකිය. මේ නිසා ගර්භිණී මව හෙපටයිටිස් B ආසාදිත බව කලින් දන්නේ නම් මවගේ රුධිරයේ හෙපටයිටිස් B වයිරස ප්‍රමාණය අවම කිරීම සඳහා ප්‍රතිවයිරස් ඖෂධ ලබා දිය හැකිය. එමෙන්ම දරු ප්‍රසූතියෙන් පසු දරුවාට වහාම හෙපටයිටිස් B ආසාදනය වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා එන්නත් සම්පූර්ණයෙන්ම ලබා දිය හැකිය. මේ නිසා හෙපටයිටිස් B එන්නත ලබා නොගත් මවක් තමාට හෙපටයිටිස් B ඇත්දැයි දැන ගැනීම සඳහා ගර්භනී සමයේ මුල් කාලයේ පරීක්ෂා කිරීම වැදගත් වේ.
හෙපටයිටිස් C
හෙපටයිටිස් C වයිරසය බොහෝ විට රුධිරය හෝ රුධිරය තැවරුණු උපකරණ පොදුවේ භාවිත කිරීමෙන් ඇති විය හැකිය. තවද හෙපටයිටිස් C ලිංගික සම්ප්‍රේෂණයේදී ද ඇති විය හැකිය. එමෙන්ම හෙපටයිටිස් C ආසාදිත මවකගෙන් දරුවාට, විශේෂයෙන්ම දරු ප්‍රසූතියේදී සම්ප්‍රේෂණය විය හැකි වුවද එසේ සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව ඉතාම අඩුය.
රෝග ලක්ෂණ
හෙපටයිටිස් C වයිරසය ආසාදනය වූ පුද්ගලයකුට හෙපටයිටිස් B ආසාදනයේදී මෙන්ම උණ, ඇස් කහ වීම, වමනය, බඩේ කැක්කුම ඇති විය හැකිය. නමුත් හෙපටයිටිස් C වයිරසය ආසාදනය වූ සමහර පුද්ගලයන්ට එම තත්ත්වය මාස 6කට වඩා පවතින්නේ නම් අක්මාවට හානි සිදුවී අක්මාවේ පිළිකා තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති වේ. මේ නිසා එම රෝගීන්ගේ හෙපටයිටිස් C වයිරස ප්‍රමාණය නිසි කලට පරීක්ෂා කිරීම සහ පසු විපරම සඳහා සායන වෙත පැමිණීම වැදගත් වේ.
ප්‍රතිකාර
හෙපටයිටිස් C ආසාදිත රෝගීන්ගේ වයිරස ප්‍රමාණය වැඩි නම් සති 12ක් ප්‍රතිවයිරස් ඖෂධ ලබා දීම මඟින් වයිරස ප්‍රමාණය අඩුවී අක්මාවේ සංකූලතා වළක්වා ගත හැකි සේම සමාජය තුළ වයිරසය පැතිරී යාම ද වැළැක්විය හැකිය. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ මර්දන වැඩසටහන දිවයින පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන මෙන්ම ප්‍රජාව මූලික කරගත් සායන (Community Clinic) හරහා මෙම හෙපටයිටිස් C රෝගය සඳහා ප්‍රතිකාර හා සේවාවන් නොමිලේ ලබා දෙනු ලැබේ.
TEXT – චතූ වීරසිංහ
