ලෙඩ රෝගවලින් තොර නීරෝගි ජීවිතයක් ගත කිරීම අප සැමගේම පැතුමයි. එහෙත් වර්තමානයේ පවතින වැරැදි ආහාර රටාවන් හා වැරැදි ජීවන රටාවන් හේතුවෙන් විවිධ රෝගාබාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. පවුලක ජීවය බඳු කාන්තාවකගේ සෞඛ්‍යය පිරිහීම නිසා මුළු මහත් පවුල් ඒකකයම බිඳවැටෙන්නේ කෙසේද යන්න අප වටහාගත යුතුය. වර්තමානය වන විට කාන්තාවන් මෙන්ම පිරිමි පාර්ශ්වයටද මුහුණ දීමට සිදු වන අභියෝගාත්මක රෝගයක් ලෙස පියයුරු පිළිකාව හඳුනාගත හැකිය. එබැවින්, නිවැරැදි වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් පියයුරු පිළිකාවෙන් තොර නීරෝගි දිවියක් ගත කිරීම සිහිනයක්ම නොවන බව වටහා ගැනීම වැදගත්ය.
පිළිකාවක් යනු කුමක්ද?
අපේ ශරීරය නිර්මාණශීලිව නිපදවී ඇත්තේ සෛල මිලියන ගණනකිනි. මේ සෑම සෛලයක්ම අලුතින් නිපදවීම, වර්ධනය වීම හා යම් කාලයකට පසු මියයාම සිදු වන්නේ පුදුමසහගත ලෙසය. මේ සමස්ත ක්‍රියාවලිය පාලනය වන්නේ ශරීරයේ ඇති DNA මඟිනි. විවිධ පිළිකා කාරකවලට සෛල නිරාවරණය වීම නිසා DNA වල වෙනස්කම් ඇති විය හැකිය. විශේෂයෙන් ආහාරවල ඇති කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, රසකාරක හෝ විවිධ උත්තේජක නිසා යමකුට පිළිකා අවදානම ඇති විය හැකිය. වායුගෝලයේ ඇති විෂ වායු ආඝ්‍රාණය කිරීමෙන් පෙණහලුවල සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස් විය හැකි අතර, විකිරණවලට නිරාවරණය වීමද තවත් හේතුවකි. මීට අමතරව, 5% කට වඩා අඩු ප්‍රමාණයක ජානමය බලපෑමක්ද පවතී. නව සෛල නිපදවීමේදී ඇති වන විකෘතිතාවයන් කාලයක් යනතුරු සකස් කර ගැනීමට නොහැකි වූ විට එම සෛල පිළිකා සෛල ලෙස වර්ධනය වේ.
රෝගීන් ඉහළ යාමට බලපාන සාධක
වර්තමානයේ පිළිකා රෝගීන් වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපේ ජීවන රටාවේ වෙනස්කම්ය. නැවුම් එළවළු හා පලතුරු වෙනුවට ක්ෂණික ආහාරවලට වැඩි නැඹුරුවක් දැක්වීම නිසා පිළිකා කාරක ශරීරයට ඇතුළු වේ. කල්තබා ගන්නා ලද ආහාර සහ අධික ලෙස රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර භාවිතය නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වේ. කාර්මික දියුණුවත් සමඟ පරිසරයට එක්වන විෂ වායු සහ විකිරණ ද මීට සෘජුවම බලපායි. ශරීරයේ ද සිදුවන ඇතැම් ජානමය විකෘතිතා වයසින් වැඩි පුද්ගලයන්ට වැඩි වශයෙන් බලපාන අතර, ලංකාව තුළ වයස්ගත ජනගහනය ඉහළ යාමද පිළිකා වාර්තා වීම් වැඩි වීමට එක් හේතුවකි. වාසනාවකට මෙන් වර්තමානය වන විට ලංකාව පුරා පිළිකා ප්‍රතිකාර ඒකක 24ක් ස්ථාපිත කර ඇති අතර රජයේ සෑම ප්‍රධාන රෝහලකම රෝග හඳුනා ගැනීමේ පහසුකම් පවතී.
පියයුරු පිළිකාව සහ කාන්තාව
පියයුරු පිළිකාව වැඩි වශයෙන් කාන්තාවන්ට වැලඳුණද, රෝගීන්ගෙන් 1%ක පිරිමි අයකු සිටිය හැකි බව ඔබ දැන සිටියාද? ඊස්ට්‍රජන් හෝර්මෝනය පියයුරු පිළිකා කෙරෙහි විශාල බලපෑමක් කරයි. අඩු වයසින් මල්වර වීම හෝ වැඩි වයසක් වනතුරු ආර්තවහරණය සිදු නොවීම නිසා පියයුරු සෛල දීර්ඝ කාලයක් ඊස්ට්‍රජන් හෝර්මෝනයට නිරාවරණය වේ. මෙය අවදානම වැඩි කරයි. එසේම වෛද්‍යවරයකුගේ නිසි නිර්දේශයකින් තොරව හෝර්මෝන පෙති භාවිතය, මත්පැන්, දරු උපත් පමා කිරීම සහ ජානමය සාධකද පියයුරු පිළිකා කෙරෙහි බලපායි.
[Image showing signs of breast cancer such as lumps and skin changes]
මුල් අවධියේ හඳුනාගන්නේ කෙසේද?
ඕනෑම රෝගයක් මෙන්ම පියයුරු පිළිකාවද මුල් අවධියේ හඳුනා ගැනීම ප්‍රතිකාර සඳහා ඉතා වැදගත්ය. පියයුරක හෝ කිහිල්ලක ඇති වන කුඩා ගැටිත්තක්, සමේ පැහැය වෙනස් වීමක්, තනපුඩුවලින් ශ්‍රාවයක් නිකුත් වීම හෝ තනපුඩු ගිලා බැසීම වැනි ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. වයස අවුරුදු 20 ඉක්මවූ සෑම තරුණී මෙන්ම කාන්තාවකම මසකට වරක් ස්වයං පරීක්ෂාවක නිරත වීම අත්‍යවශ්‍යය. ඔසප් චක්‍රයේ දින 5ත් 10ත් අතර කාලය මේ සඳහා වඩාත් සුදුසුය. ස්නානය කිරීමෙන් පසු කණ්ණාඩිය ඉදිරිපිට සිට තම පියයුරු පරීක්ෂා කර බැලීමෙන්, හැඩයේ වෙනස්කමක් හෝ අසාමාන්‍ය ගැටිත්තක් ඇත්දැයි තහවුරු කරගත හැකිය.
ප්‍රතිකාර හා නිවාරණය
වර්තමානයේ තාක්ෂණික දියුණුව නිසා පිළිකාව යනු සුව කළ නොහැකි රෝගයක් නොවේ. ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර, සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන නවීන ප්‍රතිකාර ක්‍රම දැන් පවතී. Mammogram හෝ Ultrasound Scan වැනි පරීක්ෂණ මඟින් රෝගයේ ස්වභාවය නිවැරදිව හඳුනා ගැනේ.
අපට පාලනය කළ නොහැකි ජානමය සාධක තිබුණද, පාලනය කළ හැකි සාධක රැසක් පවතී. වෛද්‍ය උපදෙස් රහිත හෝර්මෝන භාවිතයෙන් වැළකීම, දරු උපත් පමා නොකිරීම, මව්කිරි දීම, නිතිපතා ව්‍යායාම කිරීම සහ මත්පැන් පානයෙන් වැළකීම මඟින් අවදානම අවම කරගත හැකිය.
නැවුම් ආහාර රටාවකට හුරු වීම සහ බුලත් විට වැනි අහිතකර පුරුදුවලින් වැළකීම නීරෝගි දිවියකට මඟ පාදයි. ඔබේ ශරීරයේ යම් වෙනසක්, එනම් මලපහ කිරීමේ අපහසුවක් හෝ හුස්ම ගැනීමේ වෙනසක් දැනේ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. මන්ද, රෝගය කලින් හඳුනා ගැනීමෙන් පවුලේ සතුට මෙන්ම ඔබේ ජීවිතයද සුරැකෙනු ඇත.
TEXT – නෙත්මි සේනාරත්න
