Sunday, March 22, 2026
Epaper
Home විශේෂාංගඔබේ මනස නිදහස් කරගන්න Me Time එකක් හදාගන්නේ මෙහෙමයි

ඔබේ මනස නිදහස් කරගන්න Me Time එකක් හදාගන්නේ මෙහෙමයි

by Shanaka Lakehouse

උදේ අවදි වූ වෙලාවේ සිට රාත්‍රියේ නින්දට යන තුරුම ඔබ ඉන්නේ ලොකු දිවීමක නේද? රැකියාවේ වැඩ, නිවෙසේ වැඩ, දරුවන්ගේ හෝ මවුපියන්ගේ වුවමනාවන්… මේ හැමදේම අස්සේ ඔබට ඔබවම අමතක වෙලාද? බොහෝ දෙනෙක් හිතන්නේ තමන් වෙනුවෙන් කාලය වෙන් කිරීම “ආත්මාර්ථකාමී” වැඩක් කියලා. නමුත් ඇත්ත එය නෙවෙයි. අනුන් වෙනුවෙන් උපරිම සේවයක් කරන්න නම්, මුලින්ම ඔබේ මනස සහ ශරීරය සුවපත්ව තිබිය යුතුයි.

අද අපි කතා කරමු, මේ කාර්යබහුල ජීවිතය ඇතුළේ තමන් වෙනුවෙන්ම වෙන්වුණු “Me Time” එකක් හදාගන්නේ කොහොමද කියලා.

මොකක්ද මේ “Me Time” කියන්නේ?

“Me Time” කියන්නේ තනිවම කාලය ගත කිරීමයි. මෙහිදී ඔබ වෙනත් කිසිම වගකීමකින් බැඳී නැහැ. එය පොතක් කියවීම, තේ කෝප්පයක් බීම හෝ නිකම්ම අහස දෙස බලා සිටීම වැනි ඉතා සරල දෙයක් විය හැකියි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දවස පුරා වැය වූ ඔබේ මානසික ශක්තිය (Energy) නැවත පුරවා ගැනීමයි.

ඔබ වෙනුවෙන් කාලය වෙන් කරගන්නේ මෙහෙමයි

උදෑසන “රන් පැය” (The Golden Hour)

හැමෝටම කලින් විනාඩි 20ක් හෝ 30ක් කලින් අවදි වෙන්න උත්සාහ කරන්න. මුළු ලෝකයම නිහඬ ඒ වෙලාවේ, තේ කෝප්පයක් රස විඳිමින් ඔබේ දවස සැලසුම් කරන්න. ඒ නිහඬ බව ඔබේ මනසට පුදුමාකාර සහනයක් ගෙන දේවි.

“එපා” කියන්න ඉගෙන ගන්න (Learn to say NO)

අපිට හැමෝවම හැම වෙලේම සතුටු කරන්න බැහැ. ඔබට දරාගත නොහැකි වැඩක් පැවරුණු විට හෝ ඔබට විවේකයක් අවශ්‍ය වෙලාවට ආචාරශීලීව “බැහැ” කියන්න පුරුදු වෙන්න. එය ඔබේ මානසික නිදහස රැකගන්නා ප්‍රබල අවියක්.

ඩිජිටල් විවේකය (Digital Detox)

අපේ විවේක කාලය හොරකම් කරන ප්‍රධානම සතුරා ස්මාර්ට් ජංගම දුරකතනයයි. දවසේ එක පැයක් දුරකතනය පසෙක තබා ඔබේ ප්‍රියතම විනෝදාංශයක නිරත වෙන්න. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ලෝකයෙන් මිදී සැබෑ ලෝකයේ සතුට විඳින්න.

ස්වයං සත්කාරයක නිරත වෙන්න (Self-care)

සතියකට වරක්වත් නිවෙසේදීම සරල රූපලාවණ්‍ය සත්කාරයක් කරන්න. උණුසුම් වතුරෙන් ස්නානය කිරීම, සුවඳ ඉටිපන්දමක් දල්වා සංගීතයට සවන් දීම වැනි දේ මඟින් ඔබේ පීඩනය (Stress) අවම කරගත හැකියි.

“Me Time” එකක ඇති වැදගත්කම

නිර්මාණශීලීත්වය වැඩි වීම

මනස නිදහස් වූ විට අලුත් අදහස් පහළ වේ.

සබඳතා ශක්තිමත් වීම

ඔබ මානසිකව සතුටින් සිටින විට, ඔබ අවට සිටින අය සමඟ වඩාත් ප්‍රසන්නව ගනුදෙනු කිරීමට හැකි වේ.

ආත්ම විශ්වාසය වැඩීම

ඔබ ගැන ඔබ සැලකිලිමත් වන විට, ඔබ තුළ ස්වයං වටිනාකමක් ගොඩනඟා ගත හැකිය.

මතක තබා ගන්න…

ඔබ රොබෝවරයෙක් නෙවෙයි. ඔබටත් විවේකය, ආදරය සහ සැලකිල්ල අවශ්‍යයි. දවසේ පැය 24න් අවම වශයෙන් විනාඩි 30ක්වත් “මේ මගේම කාලයයි” කියා වෙන් කරගන්න. එතැන් සිට ඔබ වඩාත් ප්‍රබල, වඩාත් සතුටුදායක තරුණියක හෝ කාන්තාවක වනු නොඅනුමානය.

“ඔබේ ලෝකය ලස්සන කරන්න නම්, මුලින්ම ඔබේ මනස ලස්සන කරගන්න.”

TEXT – තුෂානි රාජපක්ෂ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?