විවාහය යනු දෙදෙනකුගේ හුදෙක් එක්වීමක් නොව නව ජීවන ගමනක අර්ථවත් ඇරඹුමකි. මෙම නව පරිච්ඡේදය සාර්ථකත්වයෙන් හැ
ඩවීමට නම් එය අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ ‘නීරෝගි සබඳතාවක්’ (Healthy Relationship) විය යුතුමයි. සැබෑ නීරෝගි පවුල් සංස්ථාවක් ගොඩනැඟෙන්නේ තමන් ජීවත් වන නිවහන තුළ එකිනෙකාට හිමිවිය යුතු උපරිම නිදහස, මානසික සැහැල්ලුව සහ පෞද්ගලිකත්වය නිවැරදි ලෙස සුරැකෙන විට පමණි. විවාහයෙන් පසු කාන්තාවක් සහ පුරුෂයෙක් තවදුරටත් තමන් හැදී වැඩුණු පවුලේ පාලනයට නතු වූවන් නොවන අතර ඔවුන් මෙතෙක් සිටි පවුලේ ආදරණීය සාමාජිකයන් වන අතරම තමන් අලුතින් ගොඩනඟන කැදැල්ලේ පූර්ණ හිමිකරුවන් බවට පත් වේ. කෙසේ වෙතත් වර්තමාන ලාංෙක්ය සමාජය තුළ මෙම සීමාවන් නිවැරදි ලෙස හඳුනා නොගැනීම හා පෞද්ගලිකත්වයට ගරු නොකිරීම බොහෝ පවුල් ආරවුල් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුවක් වී තිබේ.
වර්තමාන සමාජය තුළ බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු මුහුණ දෙන ප්‍රබලතම ගැටලුව වන්නේ තමන්ගේම කියා ගොඩනඟාගත් කැදැල්ල තුළ පවා තීරණ ගැනීමේ නිදහස සහ පෞද්ගලිකත්වය අහිමි වීමයි. විවාහයත් සමඟ තම උපන් පවුලෙන් සහ ස්වාමිපුරුෂයාගේ පවුලේ වැඩිහිටියන්ගෙන් එල්ල වන අනිසි බලපෑම් හා පාලනය හමුවේ ඇය නිරන්තර මානසික පීඩනයකට ලක් වේ. තමන්ගේ නිවෙසේ තීරණ ගැනීමේදී පවා බාහිර පාර්ශ්වයන්ට වගකීමට සිදුවීම නිසා ඇයට හිමිවිය යුතු ගෘහිණියකගේ අභිමානය සහ නිදහස ගිලිහී යයි. මෙම තත්ත්වය ඇයව තමන්ගේම නිවෙස තුළ අමුත්තියක බවට පත් කරන අතර එය අවසානයේදී දැඩි මානසික අවපීඩනයටත් පවුල් සංස්ථාව දෙදරා යාමටත් බලපාන ප්‍රධානතම සමාජීය ගැටලුවක් බවට පත්ව තිබේ.
අපේ සමාජයේ බොහෝ විවාහක යුවළ දරුවන්, මවුපියන්, සහෝදර සහෝදරියන් මෙන්ම වෙනත් නෑදෑ පිරිසක් සමඟ එකම වහලක් යට ජීවත් වෙති. මෙවන් පරිසරයකදී අලුත විවාහ වන නව යුවළ පීඩනයට පත් වේ. විශේෂයෙන්ම නව නිවෙසක පදිංචියට යන කාන්තාවකට මුහුණ දීමට සිදුවන පීඩනය හුදෙක් වචනවලට පමණක් සීමා කළ නොහැක. එය ඇයගේ මුළු ජීවිතයම වෙලා ගන්නා, ඇයගේ ආත්ම අභිමානය දිය කර හරින බරපතළ අර්බුදයකි.
අන්වීක්ෂයකින් බලනවා වැනි ජීවිතයක්
ඇය තමන්ගේම නිවෙස තුළ සිටින්නේ නිරන්තරයෙන්ම කවුරුන් හෝ තමන් දෙස බලා සිටිනවා යන තැතිගැන්මෙනි. ඇය ඇඳ පැලඳ සිටින ආකාරය, මුළුතැන්ගෙයි වැඩ කරන පිළිවෙළ, දරුවකුට කිරි පොවන හෝ දරුවකු හදන වඩාත් පෞද්ගලික අවස්ථාවන් පවා පවුලේ අනෙක් සාමාජිකයන්ගේ දැඩි පරීක්ෂාවට ලක් වේ. මෙහිදී ඇයගේ සෑම ක්‍රියාවක්ම ‘හරි’ හෝ ‘වැරදි’ ලෙස වර්ගීකරණය කෙරෙන අතර එය ඇයට තමන්ගේම නිවෙස තුළ “අමුත්තියක” හෝ “පරීක්ෂණයකට ලක්වන අපේක්ෂිකාවක” වැනි හැඟීමක් ඇති කරයි. ඇය ආහාර පිසින රසය, පිරිසුදුකම හෝ ඇය නිදාගන්නා සහ අවදි වන වේලාව පවා අනෙක් අයගේ ඇනුම්පදවලට හෝ උපදෙස් මාලාවලට නතු වේ. නිවෙසක් යනු කෙනෙකුට උපරිම නිදහසේ ඕනෑම ඇඳුමකින්, ඕනෑම ඉරියව්වකින් සිටිය හැකි ස්ථානය වුවත් සමූහ පවුලකදී ඇයට සිදු වන්නේ නිරන්තරයෙන්ම “අනෙක් අය කුමක් සිතයිද?” යන බියෙන් ජීවත් වීමටයි.
මානසික පීඩනය සහ පෞද්ගලිකත්වය අහිමි වීම
තමන්ගේම කියා නිදහස් මනසකින් හුස්ම ගැනීමට ඉඩක් නැති තැන ඇය දැඩි මානසික අසහනයකට පත් වේ. තමන්ගේ කාමරයට පවා අවසරයකින් තොරව ඕනෑම අයකුට ඇතුළු විය හැකි පරිසරයක ඇයගේ පෞද්ගලිකත්වය බිඳවැටේ. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීමෙන් ඇය තුළ තැන්පත් වන කෝපය, කලකිරීම සහ අසරණකම අවසානයේදී ඇයව කායික හා මානසික රෝගියෙකු බවට පත් කිරීමට පවා ප්‍රබල හේතුවක් වේ.
අයිතිය අහිමි වූ අමුත්තියක වීම
සෑම කාන්තාවකගේම හදවතේ සුන්දර සිහිනයක් ඇත. ඒ තමන්ට රිසි පරිදි, තමන්ගේම අභිමතය පරිදි තමන්ගේ ආදරණීය පුංචි කැදැල්ල හැඩකර ගැනීමයි. නිවෙසක තිර රෙද්දේ වර්ණයේ සිට මුළුතැන්ගෙයි බඩු බාහිරාදිය පිළිවෙළකට තබා ගැනීම දක්වා වූ සෑම කුඩා දෙයකින්ම පිළිබිඹු වන්නේ එම ගෘහිණියගේ අනන්‍යතාවය සහ ඇයගේ නිර්මාණශීලීත්වයයි. නමුත් සමූහ පවුලක් තුළ ජීවත් වීමේදී ඇයගේ ඒ සියලු සිහින සහ රුචිකත්වයන් යටපත් වී යයි. නිවෙසක තීරණ ගැනීමේ බලය වැඩිහිටියන් සතු වූ විට බිරියකට තමන් කැමැති දේ කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යයි. නිවෙසේ පිසින ආහාරයේ සිට ගෙදර බඩුබාහිරාදිය තබන ස්ථානය දක්වා අන් අයගේ කැමැත්තට ඉඩ දීමට ඇයට සිදු වේ. එවිට ඇය ජීවත් වන්නේ තමන්ගේම නිවෙසක නොව අනුන්ගේ නීති රීතිවලට යටත් වූ “අමුත්තියක” ලෙසිනි.
විවාහක අඹුසැමි යුවළකගේ බැඳීම වඩාත් අර්ථවත් සහ ශක්තිමත් වන්නේ ඔවුන් දෙදෙනාට පමණක් සීමා වූ නිදහස් අවකාශයක් පවතින විටය. නමුත් සමූහ පවුලක් තුළදී ඔවුන්ගේ මුළු පෞද්ගලික ජීවිතයම බිත්ති හතරකට සීමා වූ කුඩා කාමරයකට පමණක් කොටු වේ. මුළු නිවෙසම අන් අයගෙන් පිරී පවතින විට තමන්ගේම නිවෙස තුළ නිදහසේ සැරිසැරීමට හෝ සැහැල්ලුවෙන් සිටීමට ඇති ඉඩකඩ ඇහිරී යයි. නිවෙසක් යනු ඕනෑම ඉරියව්වකින්, ඕනෑම ඇඳුමකින් නිදහසේ සිටිය හැකි තැන විය යුතු වුවත් සමූහ පවුලකදී ඇයට සැමවිටම සිදු වන්නේ බාහිර පුද්ගලයන්ට පෙනෙයිද යන බියෙන් සහ අවේලාවක කවුරුන් හෝ කාමරයට එබෙයිද යන තැතිගැන්මෙන් යුතුව හැසිරීමටයි.
අඹුසැමියන් අතර ඇතිවන රහසිගත කතාබහක්, සුන්දර විහිළුවක් හෝ ඇතැම් විට ඇතිවන මතභේදයක් පවා නිදහසේ විසඳා ගැනීමට ඔවුන්ට නොහැකි වේ. තම හඬ අනෙක් අයට ඇසෙයිද යන සැකය නිසා ඔවුන් නිරන්තරයෙන් “නිහඬ” වීමට උත්සාහ කරයි. මේ නිසා දෙදෙනා අතර තිබිය යුතු විවෘත සන්නිවේදනය ක්‍රමයෙන් අඩාළ වන අතර එය දෙදෙනා අතර මානසික දුරස්ථභාවයක් ඇති වීමට ප්‍රබල හේතුවක් වේ.
ආදරය සහ සමීප බව යනු හුදෙක් රාත්‍රියට පමණක් සීමා වූ දෙයක් නොවේ. දවසේ ඕනෑම වෙලාවක එකිනෙකාට දක්වන ආදරය, උදවු කිරීම් සහ සුහද කතාබහ සමූහ පවුලකදී අන් අයගේ නිරීක්ෂණයට ලක් වේ. එවිට ඇතිවන ලැජ්ජාව හෝ අපහසුතාවය නිසා ඔවුන් දෙදෙනා රංගනයක නිරත වන්නන් මෙන් හැසිරීමට පටන් ගනී. අවසානයේදී ඔවුන්ට හිමිවන්නේ සැහැල්ලු ආදරණීය ජීවිතයක් නොව අන් අයට පෙනෙන්නට පවත්වාගෙන යන යාන්ත්‍රික විවාහ ජීවිතයකි.
අලුත විවාහ වන නව යුවළක් වෙන්ව ජීවත් වීම යනු මවුපියන් අත්හැරීමක් හෝ අපේ සිරිත් විරිත්වලට පිටුපෑමක් නොව සාර්ථක පවුල් සංස්ථාවක් උදෙසා කරනු ලබන වටිනා ආයෝජනයක් වේ. විශේෂයෙන්ම කාන්තාවකට තම නිවෙස තුළ හිමිවිය යුතු අභිමානය, නිදහස සහ පෞද්ගලිකත්වය උකසට තබා ගොඩනඟන කිසිදු පවුලක් සැබෑ ලෙසම සතුටින් පවතින්නේ නැත. පවුලක සතුට රැඳී ඇත්තේ එම නිවෙසේ ගෘහිණියගේ මානසික සුවය මත බැවින් ඇයව තවත් අයෙකුගේ පාලනයට නතු වූ යටහත් පහත් චරිතයක් බවට පත් නොකිරීමට සැමියා මෙන්ම සමාජය ද වගබලා ගත යුතුය. සමූහ පවුල් තුළ හුස්ම හිරවන ගැහැනියකට ඇයගේ ජීවිතය විඳීමට ඉඩ දීමෙන් සිදු වන්නේ මුළු පවුලම ආදරයෙන් සහ ගෞරවයෙන් ශක්තිමත් වීමයි. එබැවින් නීරෝගි පවුලක් යනු සියලු දෙනා එකම වහලක් යට ගොඩගැසී සිටීම නොව එකිනෙකාගේ ස්වාධීනත්වයට සහ පෞද්ගලික සීමාවන්ට ගරු කරමින් ආදරයෙන් බැඳී සිටීම බව සිහිපත් කළ යුතුයි.
TEXT – සදුනි මුණසිංහ
