සිංහල සිනමා වංශකතාවේ ආකර්ෂණීය රංගන ශිල්පිනියන් අතර සංගීතා වීරරත්නට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. සිය නව යොවුන් අවබියේදීම සිංහල සිනමාවට පියවර තබන ඇය එදා සිට අද දක්වාම රිදී තිරය හැඩ කරන සොඳුරු රුවැති රංගන ශිල්පිනියකි. මෙවර තරුණී “අම්මාවරුනේ” විශේෂාංගය සමඟ සිය දයාබර මෑණියන් ගැන අදහස් බෙදාහදා ගැනීමට අප හා එක් වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්නයි.
මගේ අම්මා ඩේසි අයිරාංගණි වීරරත්න. අපේ අම්මා බොහොම ඍජු චරිතයක්. මං පුංචි කාලේ අම්මාට ටිකක් බයයි. අපි නිතරම කළේ අම්මා කියන දේ පමණයි. ඉතින් අපි කළ යුතු හොඳම දේ කුමක්දැයි අම්මා හොඳින්ම දැන සිටියා. මං රංගනයට එන විට මගේ වයස අවුරුදු දහසයයි. රංගනයට ආපු මුල් අවධියේ සිටම ඊට මඟපෙන්වූයේ අපේ අම්මා. නව යොවුන් වියේදී මම ලෝකය දැක්කේ වෙනස් විදිහකට වුණත් මං කැමැති හැම දෙයක්ම කරන්නට අම්මා මට ඉඩ දුන්නේ නෑ. පුංචි කාලේ ඉඳන්ම අම්මා කියන දේට පිටින් වැඩ කරන්නට ඇය සමඟ තර්ක විතර්ක කරන්නට මං පෙළඹුණේ නෑ. ඒ කීකරු ස්වභාවය රංගන ජීවිතයට ආ මුල් අවධියේදීත් ඒ විදිහටම මා සතුව තිබුණා.
ඒත් රංගන ශිල්පිනියක ලෙස මං ටිකෙන් ටික ඉදිරියට යද්දී අම්මා මට යම් නිදහසක් ලබා දුන්නා. අම්මා ඒ නිදහස ලබා දුන්නේ මා අත්දැකීම් ලබාගෙන වයසින් වැඩෙද්දීයි. මට අවුරුදු විසි එකක් වෙද්දී උපන් දින සාදයක් ගැනීමට මවුපියන් යෝජනා කළත් මං ඊට කැමැති වුණේ නෑ. ඒ වන විටත් අවුරුදු තුනක් තිස්සේ මං තනිවම වාහනයක් ගෙන එය නඩත්තු කරමින් සිටි ස්වාධීන චරිතයක්. ඒ වගේම ගෙදර සියලුම බිල්පත් පවා ගෙව්වේ මා විසින්. මා එසේ කියමින් මගේ විසි එක් වැනි උපන්දින සාදය ප්‍රතික්ෂේප කරද්දී එදා අම්මා දුන් උපදේශය මට අද වගේ මතකයි.
“අපේ ජීවිතයේ විවිධ මංසන්ධි තිබෙනවා. ඒ හැම මංසන්ධියක්ම ජීවිතයට හරි වැදගත්. ඒ නිසා ඒවා සැමරිය යුතුයි. ඒ ගැන දැන් නොදැනුණත් පසු කාලයේදී ඒ ගැන හොඳින් දැනෙන නිසා උපන්දිනය සමරමු” යැයි අම්මා මට පැවසුවා. ඉතින් අම්මාගේ ඉල්ලීම නිසාම මගේ විසි එක් වැනි උපන්දින සාදය ඉතා කුඩාවට අපේ නිවෙසේ අපි සැමරුවා. මගේ ජීවිතයේ විසි වැභි දශකය ආරම්භ වෙද්දී මවුපියන් මගේ පිටුපසින් සිටියත් මගේ ජීවිතයේ තීරණ ගත්තේ මං. ඇත්තටම මට මගේ අම්මාගේ අගය දැනුණේ මං අම්මා කෙනෙක් වුණාට පසුවයි. මගේ දුව මට ලැබුණේ කැනඩාවේදී. ඒ වන විට මගේ අම්මා මා ළඟ හිටියේ නෑ. ඉතින් ඒ අඩුව මට තදින්ම දැනුණා.
ඒ වුණත් මගේ දුවගේ පළමු උපන්දිනය වෙලාවේ මගේ අම්මා මගේ ළඟින් හිටියා. මගේ තාත්තා නැති වුණ දවසෙත් මගේ අම්මා මගේ ළඟින්ම උන්නු හැටි මට අමතක වන්නේ නෑ. මගේ අම්මා නැති වුණු අවස්ථාවත් මගේ ජීවිතයේ මට අමතක නොවන අවස්ථාවක්. එදා අප්‍රේල් තුන්වැනිදාවක්. අම්මා නැති වෙන්න දවසකට කලින් මං කොණ්ඩය හදා ගන්න යන්නට සූදානමින් සිටියේ වැඩසටහනක් වෙනුවෙන්. එහිදී මට “මේ වෙලාවේ ඒ ගමන යන්න එපා” යැයි ඇය සිනාසෙමින් කියා සිටියා. එහෙත් මං කොණ්ඩය සකස් කරන්නේ වැඩසටහනක් වෙනුවෙන් යැයි අම්මාට පැහැදිලි කළා. එවිට අම්මා ඊට කැමැත්ත පළ කළා. එදා කොණ්ඩය හදාගෙන ඒ විලාසිතාව අම්මාට පෙන්වන්න මට වුවමනා වෙලා තිබුණා. ඒත් ඒ වන විට අම්මා නින්දේ පසුවුණු නිසා වැඩසටහන නිමා කර අම්මාව මුණගැසීමට මං තීරණය කළා. කෙසේ නමුත් වැඩසටහන කෙරෙන අතරතුර අම්මා නැති වුණා යැයි පණිවිඩයක් මට ලැබෙනවා. එය මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක්.
පැටලී ලෝ මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවෙ මඟ පෙන්නාලා
යනුවෙන් තිස්ස ඩයස්ගේ පද පෙළකට සුමියුරු නදින් ගයන එච්. ආර්. ජෝතිපාලයාණෝ කියා සිටින්නේ මවුවරුන් හැමදාමත් දරුවන්ට නිවැරදි මඟ පෙන්වා දෙන බවයි. මේ මායාකාරී ලෝකයේ නිවැරදි මඟපෙන්වමින් නුවණැස පෑදු සිය මව ගැන සංගීතා අපට අදහස් පළ කළේ මේ ආකාරයෙනි.
“අපේ අම්මා මට නිතරම පෙන්නුවේ යා යුතු නිවැරදි මාර්ගය පමණක්ම බව කිව යුතුයි. ඒ වගේම අප පුංචි කාලයේ කරන කියන දේවල් අම්මා දන්නේ නැහැ යැයි අපි හිතනවා. අපි පුංචි කාලයේ පාඩම් කරනවා යැයි කියමින් රූපවාහිනී නරඹනවා නැත්නම් කතන්දර පොත් කියවනවා. හැබැයි අම්මාට හොරෙන් අපි ඒ දේවල් කළාට අම්මා ඒ ගැන හොඳින් දැන සිටියා. එසේ දැන ගන්නේ අම්මා නිතරම අපි ගැන සුපරීක්ෂාවෙන් ඉන්න නිසයි. ඒ වෙලාවට අම්මා නිතරම, තමන් පාඩම් කළොත් එහි යහපත තමන්ටයි, ඒ වගේම පාඩම් නොකළොත් එහි අයහපතත් තමන්ටයි යනුවෙන් මට අවවාද කළා.
අද මගේ දුව පාඩම් කරන අතර පරිගණකයෙන් සින්දු අහනවා නම් අම්මා කෙනෙක් විදිහට මට එය වැටහෙනවා. ඇත්තටම මට අද මගේ දුව ගැන වැටහෙනවා වගේ එදා අපේ අම්මාටත් මා ගැන වැටහෙන්න ඇති. අම්මා එවන් අවවාදයක් මට ලබා දුන්නේ ඒ නිසා විය යුතුයි. එදා අපේ අම්මා මාව නිවැරදි මාර්ගයට යොමු කළේ කෙසේද, ඒ ආකාරයෙන්ම මගේ දුවවත් මං නිවැරදි මාර්ගයට යොමු කරවනවා. ඉතින් ඒ ආභාසය මට ලැබුණේ මගේ අම්මාගෙන්”.
පුංචි කාලයේ ජීවිතයේ නැඟෙන හැම ප්‍රශ්නයක්ම අප පවසන්නේ මවුපියන්ටය. අප මුහුණ දෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරක් නිසැකවම ඔවුන් සතුව ඇත. මවුවරුන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයන ආකාරය වෙනස් වුවත් ලොව සෑම මවක් සහ පියෙක්ම සිය දරුවන්ගේ ප්‍රශ්නවලට නිසැකවම පිළිතුරු ලබා දෙයි. එදා සංගීතා වීරරත්නගේ ජීවිතයේ නැඟුණු ප්‍රශ්නවලට ඇයගේ මව සහ පියා පිළිතුරු ලබා දුන් ආකාරය ගැන ඇය මෙසේ පැහැදිලි කළාය.
“ජීවිතයේ ප්‍රශ්නයක් ආවාම ඒ ගැන මං මවුපියන්ට කියනවා. එතකොට අම්මගෙයි තාත්තාගෙයි දෙන්නාගෙම පළමු ප්‍රතිචාරය වන්නේ සිනාසීමයි. ඇත්තටම ඒ කාලයේ ප්‍රශ්නයේ පීඩනයත් එක්ක මට ඒ ගැන කේන්ති යනවා. ඒත් ඔවුන් මගේ ප්‍රශ්නයට පළමුව සිනහවෙන් ප්‍රතිචාර දක්වන්නේ ඒ ප්‍රශ්නය කියන්නේ මුළු ලෝකයම නොවන බව ඒත්තු ගැන්වීමට බව මං තේරුම් ගත්තා.
ඕනෑම ප්‍රශ්නයක් දෙස සැහැල්ලුවෙන් බැලිය යුතු බව මං වටහා ගත්තේ ඔවුන්ගේ ඒ ප්‍රතිචාරයෙන්. අදටත් මගේ ජීවිතයේ ප්‍රශ්න සැහැල්ලුවෙන් විසඳාගෙන හරි ලස්සනට මං ඉන්නේ ඒ නිසාම බව කිව යුතුයි”.
TEXT – ආර්. පී. මිහිරාන්
