ඔබට ඔබේ ශක්තීන් පිළිගත හැකිනම් ඔබ ජයග්‍රාහකයෙකි. සැබෑ ලෙසම තමාගේ දුර්වලතා පිළිබඳ පමණක් සිතමින් කල්මැරීම දියුණු වන කාන්තාවකගේ ලක්ෂණයක් නොවේ. තමාට ඇති කුමන හෝ දක්ෂතාවයක් මත යැපෙමින් ජීවත්වීම සාර්ථක ශක්තිමත් ගැහැනියකගේ ලක්ෂණය යි. මන්ද ඕනෑ ම පුද්ගලයකු හට ආවේණික දස්කම් පවතින බැවිනි. එමෙන්ම ඕනෑම පුද්ගලයකු තුළ දුර්වලතා තිබීම ද සාමාන්‍ය බැවිනි.
මෙම ලිපියෙහි ප්‍රස්තුතය වන්නේ එවැනි දිරිය යුවතියකගේ ශක්තිමත් දිවි ගමන පිළිබඳව යි. ඇය නමින් මලීෂාය. අවුරුදු විසි හයක් පිරුණු ඇය තමාගේ ම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ විවිධ අභියෝග මැදය.
ඇය පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව තම පවුලේ සමීපතමයන්ගේ ආදරය සහ උපකාරය ඇතිව ඇගේ කුඩා ව්‍යාපාරය ආරම්භ කරයි. ආරම්භයේ දී මඳක් අපහසු වුවත් ඇය අද වන විට වසරකට ආසන්න කාලයක් තිස්සේ තම ව්‍යාපාරයෙන් විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇත. ඒ තම මව සහ වැඩිමහල් සොහොයුරියගේ උපකාරයෙනි. සැබැවින්ම ඔවුන් මලීෂාගේ එකම ශක්තියයි.
ලොව පවතින සෑම දෙයකට ම ධනාත්මක මෙන්ම ඍණාත්මක පැතිකඩක් පවතින බව සැබෑය. වැදගත් වන්නේ එම සෑම තත්ත්වයක් ම හොඳින් අවබෝධකර ගනිමින් ජීවිතය ඉදිරියටම ශක්තිමත්ව ගෙනයාම යි. මලීෂාගේ හදවත ද එවැනි ධනාත්මක දේ පමණක් ආකර්ෂණය කරගන්නා තරමටම සවිමත් වූවකි. ඇය ඇගේ “Malmaalee creations” ව්‍යාපාරය සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා අතර වඩාත් ජනප්‍රිය වූවක් බවට පත්කරගෙන ඇත්තේ එබැවිනි.
ඇය විවිධ මෝස්තරයේ කොණ්ඩාකටු ආදිය කාන්තාවන්ට, ගැහැනු දරුවන්ට හෝ යුවතියන්ට වඩාත් සුදුසු මෙන් ම අලංකාරයක් එක් කරන නිර්මාණ සිදු කරයි.
බොහෝ දෙනා ඇගේ නිර්මාණවලට ප්‍රිය කරනුයේ ඒවායෙහි ඇති නිර්මාණශීලී බව සහ අලංකාරය නිසාය. ඒවා ඇයටම අනන්‍ය වූ විලාසිතා වන බැවින් ඇගේ ඉදිරි ජීවිතය ද මෙම ව්‍යාපාරය තුළින් දියුණු කරගැනීමට ඇයට වඩාත් පහසු කරවන බවත් එය ඇගේ එක ම පරමාර්ථය වීමත් ඉතාමත් ප්‍රශංසනීයය.
අප අපගේ සිහින වෙත පියනඟන විට දී ආරම්භය එතරම් සුන්දර නොවේ. හෙට දවස තවදුරටත් අපහසු වේ. නමුත් එම අපහසු දින ශක්තිමත්ව, ඉවසීමෙන් ජීවත් වන්නේ නම් පසුව ඔබට ඇත්තේ ඔබේ ජීවිතයේ වඩාත් සුන්දර අවධියෙහි ආරම්භයයි. ඔබ ඔබේ හීන වෙනුවෙන් කැප වන්නේ, ජීවත් වන්නේ අවංකව නම් ඔබේ අවංක බවට සොබාදහමෙන් ලබා දෙන්නේ ද ධනාත්මක ප්‍රතිඵලයකි.
අභියෝග ඇත්තේ ජය ගැනීමට මිස ඉන් පලායාමට නොවේ. එනිසා අපහසුම අවස්ථාවන්හි දී වුවද වඩාත් ශක්තිමත්ව ජීවත්වීම සාර්ථක මෙන් ම ධනාත්මක කාන්තාවකගේ පෞරුෂය වඩවන හැසිරීමක් බව ඇය අප සැමට පසක් කර දෙයි.
TEXT – පියුනි හිමායා
