Monday, March 9, 2026
Epaper
Home විශේෂාංගදරුවාගේ ලෝකය අඳුරු වෙන්න කලින් දැනගත යුතුම දේ

දරුවාගේ ලෝකය අඳුරු වෙන්න කලින් දැනගත යුතුම දේ

by Shanaka Lakehouse

“ඩොක්ටර්… අපේ දුවට ඉස්කෝලෙන් ඇස් චෙක් කරලා කණ්ණාඩි දාන්න කිව්වා. බෝඩ් එක පේන්නේ නෑලු…”

අම්මව අක්ෂි සායනයට එක්ක යනකොට මං දැක්කා තවත් අවුරුදු 7ක හුරතල් දුවෙක්ව අත් අල්ලාගෙන අම්මා කෙනෙක් අක්ෂි සායනයට එනවා. දරුවාව අකුරු බෝඩ් එක ඉස්සරහා ඉන්දෙව්වා. මුලින්ම වම් ඇහැ වැහුවා, දකුණු ඇහෙන් යටම තියෙන පොඩිම අකුරු පේළියත් ලස්සනට කියෙව්වා. ඊට පස්සේ දකුණු ඇහැ වැහුවා. දුව එකපාරටම කලබල වුණා.

“අනේ… මට මුකුත්ම පේන්නේ නෑ… කළුම කළුයි…” උඩින්ම තියෙන ලොකුම අකුරවත් පේන්නේ නෑ”.

“පොඩි කාලේ මේ දරුවාට ඇස් දෙකේ පොඩි වපරයක් තිබුණද?”

“ඔව්… මාස කිහිපයකින් වම් ඇහැ පොඩ්ඩක් පැත්තකට ගියා. ඒත් ‘වපරේ කියන්නේ වාසනාවට’ කියලා දුවගේ ආච්චි කිව්වා… ‘ලොකු වෙද්දි හරියයි’ කියලා අපි බෙහෙත් ගත්තේ නෑ…”

වෛද්‍යවරයා කීවා “අනේ අම්මේ ඇයි එහෙම මිත්‍යා මතවලට රැවටෙන්නේ, ඇත්තටම ඇහැ නෙමෙයි සවුත්තු වෙලා තියෙන්නේ, මොළය ඒ ඇහැ භාවිත කිරීම නවත්තලා. මේකට අපි කියන්නේ Lazy Eye කියලා.”

මොකක්ද “Lazy Eye” කියන්නේ?

Lazy Eye කියන්නේ ඇහේ තුවාලයක් නෙමෙයි. මේක මොළය සහ ඇස අතර සම්බන්ධතාව වර්ධනය නොවීම. දරුවාට වපරයක් හෝ එක ඇසක පෙනීම අඩු වීම තිබුණොත්, මොළයට රූප දෙකක් ලැබෙනවා. (Double vision) එක දරාගන්න බැරි නිසා, මොළය එක ඇසකින් එන සංඥා අවහිර කරලා දානවා. දිගින් දිගටම එහෙම වෙද්දී, ඒ ඇස වර්ධනය වෙන්නේ නෑ. ඒකටම කියන්නේ Amblyopia (Lazy Eye).

දැනගෙන ඉන්න ඕනෑම වැදගත් දේවල්

දරුවාගේ පෙනීම වර්ධනය වෙන වැදගත්ම කාලය අවුරුදු 7–8 දක්වා. මේ කාලය තුළ ප්‍රතිකාර කළොත් පෙනීම සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු ලෙස ආපසු ලබාගන්න පුළුවන්. එතැනින් පසුත් ප්‍රතිකාර කළ හැකි නමුත් සම්පූර්ණ සුවය ලැබීම සීමිත විය හැකියි. වපරය නිවැරැදි කරන්න surgery කළත්, ඇස සහ මොළය අතර සබඳතාව වර්ධනය වෙලා නැත්නම් පෙනීම ආපසු එන්නේ නෑ.

🔴 මෙය හඳුනාගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා

👉 ඇසක් නිතර පැත්තකට හැරීම

👉 TV බලද්දී ඔළුව ඇල කිරීම

👉 අව්වට ගියාම එක ඇසක් වහගැනීම

👉 පොතට ගොඩක් ළං වෙලා බලන එක, හෝ එක් ඇසක් වැහුවම කලබල වීම.

මේවා පුරුද්දක් නෙමෙයි, warning signs.

ප්‍රතිකාර තියෙනවද?

ඔව්, ප්‍රතිකාර තියෙනවා. ගැළපෙන කණ්ණාඩි ලබාදීම, Eye Patch Therapy (හොඳ ඇස වහලා කම්මැලි ඇසට වැඩ කරන්න බල කිරීම) සහ අවශ්‍ය නම් වපරය නිවැරැදි කිරීමට surgery. නිසි කාලය තුළ patch therapy කළහොත් බොහෝ දරුවන්ගේ පෙනීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකියි.

🔴 අම්මේ තාත්තේ..,

“පොඩි වපරයක් තමයි…”, “ලොකු වෙද්දි හරියයි…”, “වාසනාවට…” කියලා ඉන්න අතරේ, දරුවකුගේ මොළය ඒ ඇස සදහටම අතහැරලා දාන්න පුළුවන්. ඇත්තටම මෙය ඉතා සුළු ප්‍රතිකාර කිහිපයකින් හොඳ කරගන්න පුළුවන් දෙයක්, ප්‍රමාදය නිසා ජීවිත කාලයක් පුරා පෙනීම නැති කරගන්න ඉඩ තියන්න එපා..

ඒ වගේම සමහර ඇස් ආශ්‍රිත පිළිකා තත්ත්ව පවා මේ වපරය පිං වපරයක් කියලා හිතන නිසා මඟ හැරිලා ඇස් දෙක විතරක් නෙවෙයි ජීවිතපවා අහිමි වූ අවස්ථා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. 💔

මෙම ලිපිය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. ඔබේ දරුවා සම්බන්ධ සැකයක් ඇත්නම්, වෛද්‍යවරයෙකු හමු වී ඇස් පරීක්ෂාවක් සිදු කරගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?