Monday, March 9, 2026
Epaper
Home විශේෂාංගවැඩ ඇරී වැඩට යන ගැහැනියක්

වැඩ ඇරී වැඩට යන ගැහැනියක්

by Shanaka Lakehouse

වේලාව අලුයම හතරයි. හාත්පස වෙලාගෙන ඇත්තේ දැඩි නිහඬ බවකි. ඒ නිහඬ බව බිඳිමින් නිවෙසෙහි මුළුතැන්ගෙයි පැසෙන වතුර කේතලයේ හඬ රම්‍යාගේ දෙසවන වැකෙන්නේ ඇගේ සිතෙහි ඇති වේදනාවේ රාවයට සමානවයි. රම්‍යා සැට වියැති මහලු ගැහැනියකි. නමුත් ඇගේ පවුලේ උදවියගේ හැසිරීම් රටාවන්ට පින් සිදු වන්නට වසර හැටක් සපිරුණු අනෙක් ගැහැනුන්ගේ සිල් ගැනීම, බණ ඇසීම හෝ වෙනත් ආගමික චර්යාවන් ඇගේ ගතටත් සිතටත් නුපුරුදුය. ඇය සතු වන්නේ විවේකය අහිමි වූ, වෙහෙසකර දෑතක් පමණි.

ඇය පැසුණු වතුර කේතලයෙන් කහට කෝප්පයක් පිළියෙල කරගන්නේ බීඩි කොළ මිටිය සමඟ ඔට්ටු වීමට සිතාගෙන ය. හෝරා දෙකක් පමණ එම කාර්යයේ අඛණ්ඩව නිරත වන ඇය මුව සෝදා පිරිසුදු වී පැරණි පන්නයේ සායක් සහ හැට්ටයක් ඇඳ පිටත් වන්නේ තම සුපුරුදු රැකියාවට යි. දැන් වෙලාව උදෑසන හතයි. ඇය නි‍ෙවසේ සිට බස් රථයෙන් මේනකා නෝනාගේ නිවසට පැමිණෙයි. ඇතැම් දිනවල ඇය යන්නේ සුජාතා නෝනාගේ නි‍ෙවසට යි. ඒ, එම නිවෙස්වල වතුපිටියේ හෝ එහි ඇති වෙනත් ඕනෑම බර වැඩක් කර දී සොච්චම් මුදලක් උපයා ගැනීමටයි.

ඇත්තෙන්ම මා ඇගේ මේ හැසිරීමට මෙන්ම ඇගේ සිතිවිලිවලට ද ඉතාමත් කැමැතිය. ඒ, දුප්පත්කමෙහි නාමයෙන් සොරකම හෝ වෙනත් පාපී ක්‍රියාවන්ට ඇගේ සිතිවිලිත් ක්‍රියාවත් නොපෙලඹෙන නිසාය. එසේම ඇගේ උත්සාහවන්ත බව ද ප්‍රශංසනීයය. දහවල් තිස්සේ අව්ව, වැස්ස, මහන්සිය කිසිවක් නොබලා ඈ වෙහෙසෙන්නීය. නමුත් ඇය වැනි කාන්තාවකට නොපෑහෙන තරමේ බර වැඩ ගන්නා ඉහත සඳහන් නෝනාවරුන් නම් මාගේ සිත තුළ ලැගුම් ගෙන ඇත්තේ සිත් පිත් නැති ගැහැනුන් මෙනි. මන්ද ඇය එතරම් වෙහෙසෙන්නේ රුපියල් එක්දහස් පන්සීයක දවස් පඩියකට බැවිනි.

රම්‍යාගේ නිවෙසෙහි ගැහැනු දරුවන් පස් දෙනෙකි. එක් පිරිමි දරුවෙකි. ඔවුන් සියල්ලන්ම අධ්‍යාපනය අවසන් කර ඇතත් ඒ, නිසි කලට හෝ නිසි ආකාරයකට නොවේ. ඔවුන් පාසල් ගමන අතරමඟ නවතා දමා ඇත්තේ ඔවුන්ගේම වුවමනාවටය. ඇතැම් ගැහැනු දරුවන් විවාහ වී දැන් දික්කසාද වී ඇත. ඔවුන් නැවත පැමිණ ඇත්තේ ද රම්‍යාගේ සෙවණටමය. කෙසේ නමුත් රම්‍යාගේ දරු දුක දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් වාසනාවකි. මන්ද රම්‍යාගේ දරුවන් මෙන්ම ඔවුන්ට දාව උපන් මුනුපුරු මිනිපිරියන්ද පෝෂණය වන්නේ ඇගේ මෙම සොච්චම් දවස් පඩියෙනි.

ඇගේ දරුවන්ගේ අලසකම සහ වගකීම් විරහිත බව රම්‍යාගේ හදවත පාරවන කටු වැනිය. තරුණ ජවය ඇති දරුවන් සිටියදීත්, රම්‍යා සිය ජරාජීර්ණ වූ දෑතින් පවුලක බර කරට ගැනීම දෛවයේ සරදමක් බඳුය. ඇය තම ශරීරය ද නොතකා වෙහෙසෙන්නේ තමන්ට වඩා තම දරුවන්ගේ බඩගින්න ගැන සිතන බැවිනි.

සවස හතර හමාර වන විට ඇගේ වැඩ නිම ය. ඉන්පසු දඩිබිඩි ගාමින් ඇය සූදානම් වන්නේ නි‍ෙවස බලා යෑමට ය. පස්වරු හතරයි පනහට බස් රථයට නැඟ ගන්නා ඇය පස්වරු හත වන තුරුත් මහමඟ කාලය ගෙවයි. කෙසේ නමුත් ඇය වැඩ ඇරී නැවත යන්නේ ද වැඩටය. නි‍ෙවසට පා තැබූ විගස දවස තිස්සේ කුසගින්නේ හෝ අලසව වැතිර සිටින වැඩිමහල් දරුවන්ට කෑම පිසීම ඇගේ පළමු රාජකාරියයි.

ඇති හැකි පමණින් රාත්‍රී ආහාර වේල පිළියෙල කරන ඇය, විවේකයක් ගැනීමට සිතන්නේවත් නැත. ඇය නැවතත් බීඩි එතීමට ගෙයි මුල්ලක බිත්තියකට හේත්තු වී වාඩි වෙයි. රාත්‍රියේ නිශ්ශබ්දතාව මැද ඇගේ දෑත් වෙහෙස නොබලා වැඩ කරයි. බීඩි එතීමෙන් පසු දිනකට ඇයට ඇති රාජකාරි අහවර වන්නේ මැදියම් රැයට ආසන්නවය. දැන් ඒ උදාර කාන්තාවට නින්දට යෑමට හැකිය. නමුත් ඇය, නින්දේදීත් තම දරුවන්ගේ සුබසිද්ධිය ගැන සිහින දකින, සුව සේ නොනිදන අසරණ ගැහැනියකි. ඇය තවමත් පණ ගැහෙන උත්තරීතර මාතෘත්වයකි.

පිරිහුණු සමාජ වටපිටාවක, වගකීම් පැහැර හරින දරුවන් මැද, රම්‍යා වැනි ගැහැනුන් අපට කියා දෙන්නේ ජීවිතය යනු අත්හැරීම නොව සටන් කිරීම බවයි. ඇය වැනි සාමාජිකයකුට පවුල තුළ ලැබිය යුතු ගෞරවය අහිමි වීම කනගාටුදායකය. එහෙත් ඇය තම නිවැරදි මාවතේ නොසැලී ගමන් කරයි.

 

TEXT – පියුනි හිමායා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?