Monday, March 9, 2026
Epaper
Home විශේෂාංගකුතුහලයෙන් බලන ඇස් මැදින් යන අභිමානවත් තනි ගමන

කුතුහලයෙන් බලන ඇස් මැදින් යන අභිමානවත් තනි ගමන

by Shanaka Lakehouse

මම අද සිනමා ශාලාවකට ගියා. ටිකට් පතක් ඉල්ලුවම කවුන්ටර් එකේ හිටපු මනුස්සයා මගේ දිහා බලපු විදිහේ තිබුණේ පුදුමාකාර කුතුහලයක්. “එකයිද?” එයා ඇහුවේ හරියට මම ලෝක අපරාධයක් කළා වගේ. ඔව්, මම අද තනියම. මම මාවම “ඩේට්” එකක් එක්කන් ආවා. අපේ රටේ තරුණීයක තනියම ආපනශාලාවක කෑමක් කනවා දැක්කොත්, චිත්‍රපටයක් බලනවා දැක්කොත් වටපිටාවේ ඉන්න අයට ඒක අමුතුම කතාවක්. එක්කෝ ඇයගේ පෙම්වතා ඇයව මඟහැරලා, නැත්නම් ඇයට යාළුවෝ නැහැ, එහෙමත් නැත්නම් ඇය අමුතු චරිතයක්. හැබැයි මේ කිසිම ලේබලයකට අහුවෙන්නේ නැති, තමන්ගේ සතුට තමන්ගේ අතේ තියාගත්ත ආත්ම විශ්වාසයක් තියෙන තරුණීයක් ගැනයි අද මේ කතාව.

තනිකම නෙවෙයි, මේක පෞරුෂය!

ගොඩක් වෙලාවට අපේ තරුණියන් පාරට බහින්නේ එක්කෝ මව හෝ පියා එක්ක, නැත්නම් මිතුරියක් එක්ක, එහෙමත් නැත්නම් පෙම්වතා එක්ක. තනියම පාරේ යන එකත් අමුතු බයකින් කරන්නේ. හැබැයි “Solo Date” එකක් කියන්නේ ඒ බය හදවතින්ම අතුගාලා දාන වැඩක්. ඒක තනිකම නෙවෙයි, ඒක හුදෙකලාව රස විඳීමක්. කාගෙවත් මූණ බලන්නේ නැතුව, කාගෙවත් පස්සෙන් යන්නේ නැතුව, තමන්ට ඕනේ වෙලාවට, තමන්ට ඕන තැනකට යන එකේ තියෙන අභිමානය තව කෙනෙක්ගේ අතේ එල්ලීගෙන යන කෙනෙකුට කවදාවත් තේරෙන්නේ නැහැ.

අනුකම්පාව නෙවෙයි, ගෞරවය!

ඔබ තනියම මේසයක වාඩි වෙලා කෝපි එකක් බොනකොට වටපිටාවේ ඉන්න අය “අනේ පව්” කියලා හිතනවා කියලා ඔබට දැනෙනවා නම්, ඒක ඔබේ හිතේ මවාගත්තු දෙයක් විතරයි. ඇත්තටම ගොඩක් අය ඔබේ දිහා බලන්නේ පුදුමයෙන්. “මේ තරුණීයට තනියම මෙහෙම ඉන්න පුළුවන්නේ” කියලා ඔවුන් ඇතුළතින් හිතනවා. මොකද ගොඩක් අයට තනියම ඉන්න බයයි. ඔවුන්ට ඔවුන්ගේම ඇසුර එපා වෙලා. හැබැයි ඔබ, ඔබ සමඟම සතුටින් ඉන්නවා දැක්කම ඒක පෞරුෂයක තියෙන ප්‍රබලම ලක්ෂණයක් විදිහටයි කැපී පෙනෙන්නේ.

කාටවත් වගකියන්න ඕනේ නැහැ!

මිතුරන් එක්ක ගමනක් ගියාම තියෙන ලොකුම ගැටලුව තමයි “කාටද කොහෙද යන්න ඕනේ?” කියන එක. එක්කෙනෙක්ට කෝපි ඕනේ, අනිකාට බත් ඕනේ. අන්තිමට කාටවත් ඕනේ නැති තැනකින් කාලා එන්න වෙනවා. හැබැයි සෝලෝ ඩේට් එකේදී ඔබ තමයි ලෝකයේ රැජින. ඔබට ඕනේ නම් පැය දෙකක් එකම තැන වාඩි වෙලා ඉන්න පුළුවන්. කාගෙවත් උපදෙස් ඕනේ නැහැ. ඒ නිදහස ඔබේ මනස කොයිතරම් සැහැල්ලු කරනවද කියලා අත්විඳලම බලන්න ඕනේ.

අභියෝගයක් ජය ගැනීම

ලංකාවේ සමාජය ඇතුළේ තරුණියක් තනියම ඉන්නවා දැක්කම බලාගෙන ඉන්න මිනිස්සු වැඩියි. හැබැයි ඒ ඇස්වලට බයේ අපි අපේ ජීවිතේ විඳින්න ඕනේ නැද්ද? සෝලෝ ඩේට් එකක් කියන්නේ ඒ සමාජ මතවාදවලට දෙන ප්‍රබල පිළිතුරක්. ඔබ තනියම චිත්‍රපටයක් බලන්න යනවා කියන්නේ, ඔබ සමාජයේ සාම්ප්‍රදායික “බියගුලු තරුණිය” කියන ප්‍රතිරූපය කඩලා දානවා කියන එකයි. ඒකෙන් ඔබේ ආත්ම විශ්වාසය කොයිතරම් වැඩි වෙනවද කියනවා නම්, පස්සේ කාලෙක ජීවිතේ ඕනෑම ප්‍රශ්නයකදී තනියම නැඟී සිටින්න ඒක ඔබට ලොකු හයියක් වෙනවා.

ඔබේ වටිනාකම තීරණය කරන්නේ ඔබමයි

බොහෝ තරුණියන් තමන් ලස්සනයි කියලා හිතන්නේ කවුරු හරි “ඔයා ලස්සනයි” කිව්වොත් විතරයි. තමන් වටිනවා කියලා හිතන්නේ පෙම්වතා ඒකට ආදරේ කළොත් විතරයි. හැබැයි සෝලෝ ඩේට් එකක් යන තරුණිය තමන්ගේ වටිනාකම තීරණය කරන්නේ තමන් විසින්මයි. ඇය ලස්සනට අඳින්නේ තමන් වෙනුවෙන්. ඇය රස කෑමක් කන්නේ තමන් වෙනුවෙන්. තමන්ට තමන්වම ප්‍රමාණවත් කියලා හිතන තරුණියක්ව වට්ටන්න ලෝකයේ කිසිම බලවේගයකට බැහැ.

ඉතින්, මම කියන්නේ කවුරු හරි එනකම් මඟ බලන් ඉඳලා ඔබේ හොඳම කාලය නාස්ති කරන්න එපා. අදම ලස්සන ඇඳුමක් ඇඳගන්න. ඔබේ ප්‍රියතම තැනකට යන්න. ඒ යන ගමනේදී ඔබේ හිතත් එක්ක කතා කරන්න. තනිකම කියන්නේ මහා ලොකු බිල්ලෙක් නෙවෙයි, ඒක ඔබේ පෞරුෂය ඔප දමන දියමන්තියක් කියලා ඔබටම තේරේවි. ඔබේ ගමන අභිමානයෙන් යන්න!

 

TEXT – තුෂාණි රාජපක්ෂ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?