කාන්තාව නැතහොත් ගැහැනිය වනාහි සමාජය හැඩකරන වර්ණහලක් වැනිය. නමුත් මෙම වර්ණයන් සමාජය තුළ නේක රටා මැවූවද ඒවා සමාජය කෙසේ පිළිගන්නවාද යන්න ගැටලුවකි. ගැහැනිය සමාජය තුළ හුදෙක් ප්‍රදර්ශනය සඳහා පමණක් වෙන් වූ, අන් අයව තෘප්තිමත් කිරීමට සහාය වන්නියක් පමණක් ද යන්න විමසීම ඉතා වටී. අද වන විට වර්තමානයට සාපේක්ෂව අතීතයේදී, විශේෂයෙන්ම මැද පෙරදිග රටවල කාන්තාවන්ට හිමි වී තිබුණේ සමාජයේ ඉතාම පහළ මට්ටමකි.
1970 දශකයේ සිට විශාල වශයෙන් ස්ත්‍රීවාදයට හා කාන්තාව පිළිබඳ උනන්දුවක් දැක්වූ පිරිස්, සංවර්ධන එළඹුම් පිළිබඳ අවධානය යොමු කළහ. මේ පිළිබඳව එකල එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ද කරුණු ඉදිරිපත් වූ අතර, එහිදී සැලකිල්ලට ලක් වූ ප්‍රධාන කරුණක් වූයේ සංවර්ධන වැඩසටහන්වලදී කාන්තාව හුදෙකලා වී තිබීමයි. මේ හේතුවෙන් කාන්තාව සංවර්ධනයට දායක කරගැනීම සහ ඒ සඳහා පර්යේෂණ ව්‍යාපෘති ආරම්භ කිරීමේ උනන්දුවක් ඇති විය. විශේෂතම කාරණාව නම් පළමු ලෝකයේ රටවල කාන්තාවන් සමානාත්මතාව අපේක්ෂා කිරීමයි. එතෙකින් ඇරඹුණු ක්‍රියාවලිය අද දක්වාම අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකිය.
කාන්තාව සමාජය තුළ කොතරම් වටිනාකමක් හිමිකරගෙන ඇත්දැයි සලකා බැලීමේදී, ඇය අතීතයේ මෙන් විවාහ වීම සහ දරුවන් ලැබීම යන සීමිත රාමුවෙන් ඔබ්බට ගොස් ඇති බව පෙනේ. වර්තමාන කාන්තාව උසස් අධ්‍යාපනය හැදෑරීම, පිළිගත් රැකියාවක නිරත වීම මෙන්ම ආර්ථික වශයෙන් ස්ථාවරයකට පැමිණීම යන කාරණාවලට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරයි. ඒ සමඟම පෙරට වඩා වැඩි වටිනාකමක් සමාජය තුළ කාන්තාව වෙනුවෙන් නිර්මාණය වී ඇති බව කිව යුතුය.
නමුත් තවමත් සමාජයේ බහුතරයක් දෙනා කාන්තාව අතින් කුමන හෝ වැරැද්දක් වනතුරු ඇස ගසාගෙන සිටින තත්ත්වය වෙනස් වී නොමැති වීම කනගාටුවට කරුණකි. ඇතැම් සමාජවල කාන්තාවන් සහ කුඩා ගැහැනු ළමයින් ඔවුන්ගේ සංස්කෘතික චාරිත්‍රවලට අනුව විවිධාකාරයෙන් හිංසනයන්ට හා පීඩාවන්ට පත්වන බවට සාක්ෂි ඇත. ඇතැම් රටවල ගැහැනු ළමයින්ට අධ්‍යාපනය ලැබීමට පවා රජයෙන් අවසර ලැබී නැත. විවිධ රටවල විවිධ කෝණවලින් කාන්තාව දෙස බලනු ලබන්නේ කෙසේද යන්න සැබැවින්ම ප්‍රහේලිකාවකි. පිරිමියා සහ ගැහැනිය අතර ඇත්තේ ඉතාම සුළු වෙනස්කම් කිහිපයක් වුවද, ඇතැම් සමාජවල කාන්තාව දුර්වල මනෝභාවයක් ඇති, ශක්තියෙන් අඩු අයෙකු ලෙස හංවඩු ගසනු ලැබේ. වර්තමානය වන විට එම තත්ත්වය යම් මට්ටමකට වෙනස් වී තිබුණද, ඇතැමුන්ගේ යල්පැන ගිය අදහස් කිසිදාක වෙනස් නොවේ.
කාන්තාව වනාහි හුදෙක් ගෘහිණියක්ම පමණක් නොවී, රැකියාවක් කරන බුද්ධිමත්, ස්වාධීන තැනැත්තියක වීමත් සමඟ සමාජය තුළ යම් විවේචන ද පවතින බව දැකගත හැකිය. කාන්තාව රැකියාවක් කළද, ඇය නිෙවසට ගිය පසු ඇයට නිදහසේ කාලය ගත කළ නොහැකිය. රැකියාව නිමකර නිෙවසට ගොස් නිෙවසේ සියලු වැඩකටයුතු ද ඇය විසින් සිදුකළ යුතුය. සැබැවින්ම කාන්තාව විහිළුවට ලක් කිරීමට බොහෝ දෙනා බලා සිටියද, ඇය සිදුකරන මහා මෙහෙවරෙන් අල්පයක්වත් ඉටු කිරීමට ඔවුහු අසමත් වෙති.
ඇතැමුන්ගේ මතය වන්නේ කාන්තාවන් පමණට වඩා අධ්‍යාපනය ලැබීම තුළින් ඔවුන් පිරිමියාට යටත් නොවන බවයි. එය සත්‍යයකි. මන්ද, කාන්තාවන් උගත් වන තරමට ඇය කිසිවෙකුට අනවශ්‍ය ලෙස යටත් වීම පසෙකලා, තමන්ට ස්වාධීනව කටයුතු කළ හැකි බව අවබෝධ කරගනියි. ගෞරවය හා යටත් වීම යනු සමාන ක්‍රියාවන් නොවන බව අප වටහාගත යුතුය.
කාන්තාව සමාජය තුළ කොතරම් දුරට සුරක්ෂිතද යන්න මෙහිදී සාකච්ඡාවට බඳුන් කළ යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ කාන්තාවට පවතින ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම වැදගත්ය. රාත්‍රී කාලයේදී තවමත් කාන්තාවන් තනිවම ගමන් කිරීමට හෝ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමට බියක් දක්වන්නේ ඇතැම් පිරිමින්ගේ අශිෂ්ට ක්‍රියාවන් නිසාය. පොදු ප්‍රවාහනය තුළදී කාන්තාවන් කොතරම් අනාරක්ෂිත තත්ත්වයක පසුවනවාද යන්න රහසක් නොවේ. නමුත් සතුටට කරුණ නම්, අතීතයේ මෙන් නොව වර්තමාන තරුණියන් එවැනි කරදර ඉවසාගෙන නොසිට ඒ වෙනුවෙන් ක්ෂණිකව සිය විරුද්ධත්වය පළ කිරීමයි.
යම් රටක් දියුණු යැයි පැවසීමට නම් රට තුළ කාන්තාවට උපරිම සුරක්ෂිතභාවයක් තිබිය යුතුය. රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළ දිව ග්‍රන්ථයේ දැක්වෙන පරිදි, එකල ශ්‍රී ලංකාව තුළ රූමත් කාන්තාවකට රන් ආභරණයෙන් සැරසී කිසිදු කරදරයකින් තොරව රට පුරා ගමන් කළ හැකිව තිබුණි. එතරම් ආරක්ෂාවක් තිබූ රටක අද පවතින තත්ත්වය ශෝචනීයය.
එපමණක් නොව, ජනමාධ්‍ය තුළ පවා කාන්තාව ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්කොට ඇත. බොහෝ වෙළෙඳ දැන්වීම්වල මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද කාන්තාව නිරූපණය කරන ආකාරය සමාජ මතයන් කෙරෙහි ප්‍රබලව බලපායි. කාන්තාව යනු මනුෂ්‍ය සමාජයේ අත්‍යවශ්‍යම භූමිකාවකි. බිලිඳියක සිට මැහැල්ලක දක්වා ඇය විඳින වේදනාව අතිමහත්ය. ඒ අගනා සම්පත රැකගැනීමටත්, ඔවුන්ට හිමි නිසි ගෞරවය හා ආදරය ලබාදීමටත් අප උත්සුක විය යුතුය. එය හුදෙක් එක් දිනකට පමණක් සීමා නොවිය යුත්තකි.
TEXT – ෂෙරොනි උපේක්ෂා සුභසිංහ
