Monday, March 9, 2026
Epaper
Home විශේෂාංගශ්‍රී ලාංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය බබළවන ප්‍රවීණ පරපුරේ මඟ සලකුණු

ශ්‍රී ලාංකේය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය බබළවන ප්‍රවීණ පරපුරේ මඟ සලකුණු

by Shanaka Lakehouse

ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය යනු කලාව, විද්‍යාව සහ ව්‍යවසායකත්වය මනාව මුසු වූවකි. දශක කිහිපයක් පුරා මෙම ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට කැපවුණු ප්‍රවීණ ශිල්පිනියන් තිදෙනකුගේ ගමන් මඟ මෙරට රූපලාවණ්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබේ.

සුවිනීතා කොතලාවල දශක හතරක නොමැකෙන රූපලාවණ්‍ය සන්නාමය

දශක හතරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය කලාව පෝෂණය කළ සුවිනීතා කොතලාවල මහත්මිය, වෘත්තීය ගරුත්වය සහ සරලත්වය අගයන සැබෑ ගුරුවරියකි. 1989 දී එංගලන්තයේ London Academy of Beauty Culture ආයතනයෙන් ලැබූ මූලික ශික්ෂණය ඇයගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂය විය. 1993 දී බොරැල්ලේ “සැලුන් සුවිනීතා” ආරම්භ කරමින් පාරම්පරික ක්‍රම සහ නවීන තාක්ෂණය එක් කිරීමට ඇය කටයුතු කළාය.

ඇයගේ සේවාවේ විශේෂත්වය වූයේ මූල්‍ය ලාභයට වඩා ප්‍රමිතියට මුල් තැන දීමයි. විශේෂයෙන්ම ස්වාභාවික ඩයි වර්ග මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියකු ලෙස ඇය ගෞරවයට පාත්‍ර වේ. යුද්ධ සමයේ රණවිරු පවුල් සඳහා නොමිලේ පාඨමාලා පැවැත්වීම සහ මාධ්‍ය හරහා පොදු ජනයාට දැනුම බෙදා දීම මඟින් ඇය ඉහළ සමාජ සේවයක් ඉටු කළාය.

පවුල් ජීවිතය තුළ ද සාර්ථක වූ ඇය, වොලී ද සිල්වා මහතාගේ ආදරණීය බිරිය ලෙස තම පවුලේ සහයෝගය ඇතිව මෙම ගමන පැමිණියාය. අදටත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ඇයගේ නාමය සුන්දරත්වය අගයන සැම දෙනා අතර ගෞරවයෙන් කියැවේ.

මානෙල් කොටුවේගොඩ රූපලාවණ්‍ය කලාව ගමට රැගෙන ගිය පුරෝගාමිනිය

රූපලාවණ්‍ය කලාව අගනුවරට පමණක් සීමා නොවී ගම් මට්ටමට රැගෙන යාමේ ගෞරවය හිමිවන්නේ මානෙල් කොටුවේගොඩ මහත්මියටය. 1976 වසරේදී ප්‍රවීණ ගුරුතුමියක වූ ඉන්දිරා සම්මුගම්ගෙන් ශිල්ප හැදෑරූ ඇය, පසුව ඉන්දියාව, චීනය සහ තායිලන්තය වැනි රටවලින් අත්දැකීම් ලබා ගත්තාය. දුෂ්කර ප්‍රදේශවල වැඩමුළු පවත්වමින් තරුණ තරුණියන් දහස් ගණනකට වෘත්තීය අභිමානය ලබා දීම වෙනුවෙන් ඇය ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

ඇය සැබවින්ම ව්‍යවසායිකාවකි. Anti Agent Cream වැනි රූපලාවණ්‍ය නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙන්ම හෝටල් ක්ෂේත්‍රය තුළ ද නමක් දිනා ගනිමින් ඇය තම ව්‍යාපාරික ජාලය පුළුල් කළාය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඒක පුද්ගල මල් ප්‍රදර්ශනයක් (flower exhibition) පවත්වමින් රූපලාවණ්‍ය කලාවට නව සංකල්ප එක් කළේ ද ඇයයි.

සැමියාගේ නිරන්තර සහයෝගය මැද ඇය තම පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය කරා යොමු කරමින් පවුල් ජීවිතය ද සාර්ථක කර ගත්තාය. මෑත කාලීනව බොහෝ තරුණ ශිල්පීන් බිහි කිරීමට ඇය දැක්වූ දායකත්වය මිල කළ නොහැකිය.

ආයුර්වේද වෛද්‍ය (චර්ම රෝග)

චාමලී කල්දේරා

වෘත්තීය නිපුණතාව සහ ශාස්ත්‍රීය

දැනුමේ සුසංයෝගය

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ කලාත්මක හැකියාව පමණක් නොව, ගැඹුරු වෘත්තීය දැනුම ද සාර්ථකත්වයට මඟ පාදන බව වෛද්‍ය චාමලී කල්දේරා මහත්මිය ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. 1996 වසරේදී ප්‍රවීණ ශිල්පිනියන් වන සුවිනීතා කොතලාවල සහ අජන්තා රත්නායක යන මහත්මියන්ගෙන් මූලික දැනුම ලබාගත් ඇය, විශ්වවිද්‍යාල වරම් පවා පසෙකලා තම කැමැත්ත මත මෙම ක්ෂේත්‍රය තෝරා ගත්තාය.

ඇයගේ ගමන හුදු ශිල්පියකුට පමණක් සීමා නොවූ අතර, කොස්මෙටොලොජි (Cosmetology) පිළිබඳ BSc උපාධියක් සහ ඉන්දියාවේ ILAMED ආයතනයෙන් පශ්චාත් උපාධියක් ලබා ගනිමින් තම දැනුම පුළුල් කර ගත්තාය. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරයකුගේ පූර්ණ දැනුමෙන් සන්නද්ධ වීම ඇයගේ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හේතු විය. අද වන විට ඇය “Chamali Caldera Hair Design & Beauty Academy” සහ “Colombo Institute of Higher Education” යන ප්‍රමුඛ පෙළේ ආයතනවල නිර්මාතෘවරියයි.

වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩනඟා ගන්නා අතරතුර දරුවන් තිදෙනකුගේ ආදරණීය මවක් ලෙස තම පවුලේ වගකීම් ද ඇය මනාව ඉටු කරයි. නව පරපුරට නිවැරදි වෘත්තීය මඟ පෙන්වීමක් ලබා දෙමින් ඇය සිදු කරන මෙහෙවර ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෘත්තිය ඉහළ තලයකට ගෙන යාමට කළ වැදගත් දායකත්වයකි.

Pix By – Shan Rupassara

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?