Monday, March 9, 2026
Epaper
Home වෛද්‍යවර්ණවලට රැවටෙන පුංචි ඇස්

වර්ණවලට රැවටෙන පුංචි ඇස්

by Shanaka Lakehouse

නිවෙස යනු දරුවකුට ලෝකය හඳුනාගන්නා පළමු විද්‍යාගාරයයි. බඩගාන වියේ සිට ඇවිදින විය දක්වා දරුවා දකින සෑම වස්තුවක්ම ඔවුන්ට අලුත් අත්දැකීමකි. නමුත් අපේක්ෂා නොකරන මොහොතක, නිවෙස තුළම සැඟවී සිටින මාරයා දරුවාගේ ජීවිතය බිලිගැනීමට මාන බලමින් සිටින බව බොහෝ මවුවරුන්ට වැටහෙන්නේ දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මරණය සමඟ සටන් කරන විටය. මෙය හුදෙක් අනතුරක්ම නොවේ. මෙය අපේ සමාජය තුළ මුල් බැසගත් නොසැලකිලිමත් පුරුදු සහ මවුවරුන් ලෙස අප අතින් සිදුවන මාරාන්තික වැරදිවල ප්‍රතිඵලයකි.

වර්ණවලට රැවටෙන පුංචි ඇස්

කුඩා දරුවන්ගේ ලෝකය වර්ණවත්ය. ඔවුන් රතු, නිල්, කොළ වැනි දීප්තිමත් වර්ණවලට නිතැතින්ම ආකර්ෂණය වේ. වෙළෙඳපොළේ ඇති නිවෙස පිරිසුදු කරන දියර, රෙදි සෝදන දියර සහ විෂබීජ නාශක නිෂ්පාදනය කර ඇත්තේ ද මෙම ආකර්ෂණීය වර්ණ සහ සුවඳ මුසු කරමිනි. දරුවාට මෙම බෝතලයක් පෙනෙන්නේ තමන් ආසා කරන පලතුරු යුෂ බෝතලයක් ලෙසිනි.

“ස්ට්‍රෝබෙරි ජූස්” යැයි සිතා ෆ්ලෝ ක්ලීනර් පානය කරන දරුවකුගේ අත්දැකීම අතිශය වේදනාකාරී වේ. එම දියරය මුඛයට ගිය සැණින් එහි ඇති ප්‍රබල රසායනිකයන් මඟින් මුඛයේ පටක, දිව සහ උගුර පිලිස්සීමට ලක් කරයි. දරුවා වේදනාවෙන් කෑගසන විට මව දිව එන නමුත්, ඒ වන විටත් එම විස දියරය දරුවාගේ අන්නස්‍රෝතය දිගේ පහළට ගොස් අවසානය.

අප අතින් සිදුවන බරපතළ වැරදි

අපේ රටේ බොහෝ මවුවරුන් කරන බරපතළ වරද වන්නේ හිස් වූ වතුර බෝතල් හෝ මෘදු පාන වර්ග තිබූ බෝතල්වලට භූමිතෙල්, තිනර්, ඇසිඩ් හෝ පිරිසුදු කරන දියර පුරවා තැබීමයි. කුඩා දරුවන් අකුරු කියවීමට දන්නේ නැත. ඔවුන් හඳුනන්නේ බෝතලයේ හැඩය සහ ලේබලයේ රූපය පමණි. තමා සැමදා දකින වතුර බෝතලයක භූමිතෙල් තිබිය හැකි බව දරුවාට සිතාගත නොහැකිය. ඔවුන් එය එක හුස්මට පානය කරන්නේ විශ්වාසයෙනි.

ඔබ එම බෝතලය “වෙනම තැනක” තැබූ පමණින් දරුවාගෙන් එය ආරක්ෂා නොවේ. ඔවුන් සිතන්නේ “අම්මා මම ඒක බොන නිසා හංගලා තියෙන්නේ” යන හැඟීමයි. එබැවින් එය සොයා ගැනීම දරුවා ජයග්‍රහණයක් ලෙස සිතමින් මවටද හොර රහසේ සැඟවී එය පානය කරනු ලබයි. දරුවකුගේ මොළයේ වර්ධනය අනුව වයස අවුරුදු 5ක් පමණ වන තෙක් ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව පවතින්නේ ඉතා පහළ මට්ටමකය. කුතුහලය විසින් ඔවුන්ගේ තර්කනය යටපත් කරනු ලබයි. එබැවින් අවවාද දීමෙන් පමණක් දරුවා ආරක්ෂා කළ නොහැකිය.

අනතුර සැඟවී ඇති තැන්

නිවෙස පිරිසුදු කරන ද්‍රව්‍ය සාමාන්‍යයෙන් තබන්නේ මුළුතැන්ගෙයි සින්ක් එක යට හෝ නාන කාමරයේ පහළ කබඩ්වලය. දරුවා බඩගාගෙන යන විට හෝ සෙල්ලම් කරන විට ඔවුන්ගේ උසට ගැළපෙන මේ ස්ථාන ඉතා අවදානම් සහගතය. මව කුස්සියේ වැඩක නියැළීමෙන් සිටින විට හෝ දුරකතනය භාවිත කරන විට, දරුවා ඉතා නිහඬව මේ කබඩ් විවෘත කර විස දියර අතට ගැනීමට ගත කරන්නේ තත්පර කිහිපයක් පමණි.

එසේම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පසු එහි පියන අඩක් වැසීම හෝ නොසැලකිලිමත් ලෙස තැබීම නිසා දරුවාට එය පහසුවෙන් විවෘත කිරීමට අවස්ථාව සැලසේ. බෝතලයක “Child Safety Locks” තිබුණද, ඒවා නිවැරදි ලෙස වසා නොතැබීමෙන් අනතුරට මඟ පෑදේ.


ප්‍රථමාධාරයේදී ඔබ නොකළ යුතු දෑ

දරුවා විසක් පානය කළ විට ඔබ කරන වැරදි ප්‍රථමාධාරය දරුවාගේ මරණය ඉක්මන් කිරීමට හෝ ජීවිත කාලයටම බලපාන පලුදු ඇති කිරීමට හේතු විය හැක.

වමනය කරවීමට උත්සාහ කිරීම රසායනික දියරයක් ඇතුළට යන විට ආහාර මාර්ගය පිලිස්සී අවසානය. ඔබ වමනය කරවීමට උත්සාහ කරන විට එම සැර දියරය නැවතත් උගුර දිගේ ඉහළට පැමිණ දරුවාගේ පටක දෙවැනි වරටත් පිලිස්සේ. වඩාත්ම භයානක දේ වන්නේ එම දියර සුෂුම්නාව දෙසට නොව පෙණහලු තුළට යෑමයි.

පොල්කිරි හෝ සබන් වතුර පෙවීම:

මෙය දරුවා වමනය කිරීමට පෙලඹෙන හෝ පොලඹවන ක්‍රියාවකි. සබන් වතුර පෙවීමෙන් තත්ත්වය තවත් අඩාල වේ. වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු පානයක් ලබා නොදෙන්න.

කටට ඇඟිලි දැමීම:

මෙහිදී දරුවාගේ උගුර තුවාල වීමටත්, දියර පෙණහලුවලට යෑමටත් වැඩි ඉඩක් පවතී.

බුද්ධිමත් මවක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග

අනතුරක් වූ පසු දෛවයට දොස් කීමෙන් පලක් නැත. නිවෙස තුළ “විස පාලන වැඩපිළිවෙළක්” අදම සකස් කරගන්න.

උසින් ගබඩා කරන්න

සියලුම රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ දරුවාට අත පෙවිය නොහැකි උසකින් (අවම වශයෙන් අඩි 5ක් උසින්) තබන්න.

මුල් ඇසුරුම්

කිසිම වි‍ෙටක බීම බෝතල්වලට විස ද්‍රව්‍ය පුරවන්න එපා. සැමවිටම මුල් ඇසුරුමේම තබාගන්න.

ආරක්ෂිත අගු

දරුවන්ට විවෘත කළ නොහැකි වර්ගයේ අගු කබඩ්වලට අමුණන්න.

යම් හෙයකින් අනතුරක් සිදුවුවහොත්, වහාම දරුවාගේ කට සෝදා, අදාළ බෝතලය ද රැගෙන වෛද්‍යවරයකුගේ සහාය පතන්න. දරුවා සිහිසුන්ව සිටී නම්, දරුවා වම් ඇලයට හරවාගෙන රෝහලට රැගෙන යන්න.

“ස්ට්‍රෝබෙරි ජූස්” යැයි සිතා විස පානය කළ ඒ පුංචි දියණිය අදටත් ආහාර ගන්නේ උදරයට දැමූ බටයක් මඟිනි. එවැනි තාවකාලික නොවන වේදනාකාරී පසුතැවීමක් ඔබට උරුම කර නොගන්න. ඔබ සැමවිටම තම දරුවන්ගේ නීරෝගි බව වෙනුවෙන් කැපවන්න.

 

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?