Monday, March 9, 2026
Epaper
Home ස්වයං රැකියාඅපතේ යන ටයිල් කැටවලට පණ දෙන මොසැයික් කලාව

අපතේ යන ටයිල් කැටවලට පණ දෙන මොසැයික් කලාව

by Shanaka Lakehouse

අප නි‍ෙවසක් ඉදිකිරීමේදී හෝ අලුත්වැඩියා කිරීමේදී ඉතිරිවන, එසේත් නැතිනම් කැඩී බිඳී යන ටයිල් කැට බොහෝ විට සැලකෙන්නේ ඉවතලන කුණු කසළ ලෙසය. නමුත්, මඳක් නිර්මාණශීලිව සිතන්නේ නම්, මෙම වර්ණවත් ටයිල් කැබලි භාවිතයෙන් ඕනෑම පරිසරයකට අමුතුම ආකර්ෂණයක් සහ ප්‍රාණවත් ගතියක් එක් කළ හැකිය. මෙය ලෝකයේ ‘මොසැයික් කලාව’ (Mosaic Art) ලෙස ඉතා ජනප්‍රිය ශිල්ප ක්‍රමයකි.

මල් පෝච්චි සඳහා නව පෙනුමක්

සාමාන්‍ය මැටි හෝ සිමෙන්ති මල් පෝච්චියකට වර්ණවත් ටයිල් කැට එකතු කළ විට එහි වටිනාකම කිහිප ගුණයකින් වැඩි වේ. විවිධ හැඩතලවලට කඩාගත් ටයිල් කැබලි මල් පොච්චිය වටා අලවා, ඒ අතර ඇති හිඩැස් සුදු සිමෙන්ති (White Cement) මඟින් පිරවීමෙන් ඉතා ලස්සන රටා මතු කරගත හැකිය. මෙය නි‍ෙවසේ අලංකාරය වැඩිකරනවා මෙන්ම, මල් පෝච්චිවල කල්පැවැත්මද තහවුරු කරයි.

බිත්ති සහ පොන්ඩ් (Pond) අලංකරණය

නි‍ෙවසේ අභ්‍යන්තර හෝ බාහිර බිත්තිවල එක් කොටසක් පමණක් තෝරාගෙන කැඩුණු ටයිල් කැටවලින් චිත්‍රයක් හෝ ජ්‍යාමිතික රටාවක් ගොඩනඟා ගත හැකිය. විශේෂයෙන්ම ගෙවත්තේ ඇති මත්ස්‍ය පොකුණු (Pond) අසල හෝ ඇතුළත ටයිල් කැට ඇල්ලීමෙන් එම ස්ථානයට ස්වාභාවික මෙන්ම විචිත්‍රවත් පෙනුමක් ලැබේ. ජලය සමඟ ගැටීමේදී මෙම ටයිල්වල වර්ණයන් වඩාත් දිදුලන බැවින් පොකුණට එය මහත් ආලෝකයකි.

විවිධ රූප සහ කලාකෘති

සතුන්ගේ රූප, මල් වර්ග හෝ වියුක්ත (Abstract) රූප නිර්මාණය කිරීම සඳහා කැඩුණු ටයිල් කැබලි කදිම මාධ්‍යයකි. විවිධ වර්ණවලින් යුත් ටයිල් තෝරා ගැනීමෙන් රූපවලට සැබෑ පෙනුමක් ලබා දිය හැකිය. මෙහිදී ග්ලූගන් (Glue gun) හෝ උචිත මැලියම් වර්ගයක් භාවිත කරමින් කුඩා කැබලි ඉතා සියුම් ලෙස ඇල්ලීමෙන් නිර්මාණයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකිය.

නිවැරදි නිමාව සහ ප්‍රයෝජන

මෙවැනි නිර්මාණයක් අවසානයේදී නිවැරදි ලෙස ‘ග්‍රවුට්’ (Grout) කිරීම වැදගත් වේ. එවිට ටයිල් කැටවල තියුණු දාර වැසී ගොස් ආරක්ෂිත මෙන්ම මට්ටම් වූ මතුපිටක් ලැබේ.

මෙවැනි නිර්මාණ ක්ෂේත්‍රයක නියැළීමෙන්

ඉවතලන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වේ.

මානසික ඒකාග්‍රතාව සහ සතුට වර්ධනය වේ.

අමතර ආදායම් මාර්ගයක් ලෙස නිර්මාණ අලෙවි කළ හැකිය.

සැබවින්ම, කැඩුණු ටයිල් යනු කසළ නොව, දෑතේ හුරුව ඇති යමකුට අපූර්ව නිර්මාණ කළ හැකි වටිනා අමුද්‍රව්‍යයකි.

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?