Monday, March 9, 2026
Epaper
Home Recipeමෝජු

මෝජු

by Shanaka Lakehouse

 

කරවල මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය:

තලපත් කරවල 100g

රතු ලූනු 150g

අමුමිරිස් 75g

රම්පෙ, කරපිංචා

තළාගත් ඉඟුරු, සුදුලූනු මේස හැඳි 1

සූදුරු තේ හැඳි 1

අබ තේ හැඳි 1/2

විනාකිරි මේස හැඳි 3

මිරිස් කුඩු මේස හැඳි 4

කහ කුඩු තේ හැඳි 1/2

කෑලි මිරිස් මේස හැඳි 2

සීනි රස අනුව

ලුණු රස අනුව

බැදගැනීමට පොල්තෙල්

සාදන ක්‍රමය:

කරවල කුඩා කැබලිවලට කපාගන්න. රතු ලූනු, අමුමිරිස් හොඳින් සෝදා වතුර බේරෙන්නට තබාගන්න. අමුමිරිස් වෙන් නොවන ලෙස මැදින් කපාගන්න.

කපාගත් කරවල ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න. අමුමිරිස්, රතු ලූනු තෙලට දමා ඉක්මනින් ඉවත් කරගන්න (පාට වෙනස් නොවන ලෙස). ඊළඟට මැටි භාජනයක් ලිප තබා, රත්වන විට එයට පොල්තෙල් මේස හැඳි දෙකක් එකතු කර තෙල් රත්වන විට එයට සූදුරු, අබ එකතු කර බැදෙන විට විනාකිරි, සීනි එකතු කර හිඳෙන තෙක් කලවම් කරගන්න. ඉන්පසු රම්පෙ, කරපිංචා, බැදගත් කරවල, අමුමිරිස්, රතු ලූනු එකතු කර හොඳින් කලවම් කර එයට කහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස් හා රස අනුව ලුණු එකතු කර හොඳින් කලවම් කර විනාඩි තුනක් පමණ ලිප තබා ඉවත් කරගන්න.

 


කරවිල මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය:

කරවිල 500g

අමුමිරිස් කරල් 10

රතු ලූනු ගෙඩි 15

කුරුඳු පොත්තක්

අබ ක්‍රීම් මේස හැඳි 1

විනාකිරි මේස හැඳි 2

තළාගත් ඉඟුරු, සුදුලූනු තේ හැඳි 1

සීනි මේස හැඳි 1

කෑලි මිරිස් මේස හැඳි 1 1/2

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

රස අනුව ලුණු

කහ කුඩු ස්වල්පයක්

බැදීමට තෙල්

සෝයා සෝස් තේ හැඳි 1

තක්කාලි සෝස් තේ හැඳි 1

සාදන ක්‍රමය:

කරවිල පෙති කපා කහ, ලුණු අතගා, රන්වන් පාට වන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.

ලූනු සහ මැදින් පලාගත් මිරිස් තෙලේ යන්තමින් බැදගන්න. (පැහැය වෙනස් නොවන ලෙස).

විනාකිරිවලට ඉඟුරු, සුදුලූනු, කෑලි මිරිස්, කුරුඳු පොත්ත දමා රත්කරන්න. ලිපෙන් බා ගම්මිරිස්, සීනි, අබ ක්‍රීම්, සෝයා සෝස්, තක්කාලි සෝස්, රස අනුව ලුණු දමා, කරවිල, ලූනු, මිරිස් කරල් හා කරපිංචා දමා මිශ්‍ර කරගන්න. රස බලන්න.

කොහිල මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය:

කොහිල අල 500g

අමුමිරිස් 50g

රතු ලූනු 150g

විනාකිරි කෝප්ප 1/2

මිරිස් කුඩු මේස හැඳි 4

බැදීමට තෙල් අවශ්‍ය පමණ

ලුණු රස අනුව

කහ තේ හැඳි 1

එනසාල් කරල් 4

කුරුඳු පොතු කැබැල්ලක්

රස අනුව සීනි

කරපිංචා ස්වල්පයක්

සාදන ක්‍රමය:

කොහිල දික් අතට සිහින් තීරු කපාගන්න. ලුණු හා කහ අතගා ගැඹුරු තෙලේ බැදගන්න. ක්‍රිස්පි ගතියට එද්දී ලිපෙන් බාගෙන තෙල් බේරෙන්න තබන්න. කරපිංචා බැදගන්න. ලූනු හා අමුමිරිස් තෙලේ යන්තමින් බැදගන්න. පැහැය වෙනස් වෙන්න පෙර අමුමිරිස් බාගන්න.

දැන් විනාකිරි ලිප තබා රත්වෙද්දී එයට සීනි හා මිරිස් කුඩු දමා, බැදගත් කොහිල, කරපිංචා, එනසාල් සහ කුරුඳු දමා හොඳින් කලවම් කර රස බලා ලිපෙන් බාගන්න. නිවෙන්නට තබා බෝතලයකට දමාගන්න. මෙම කොහිල මෝජුව ඉතා රසවත්ය.

පොලොස් මෝජු

අවශ්‍ය දේවල්:

පොලොස් ගෙඩියක්

රතු ලූනු 150g

අමුමිරිස් 100g

ඉඟුරු අඟලක පමණ කෑල්ලක්

එනසාල් ඇට 6

කරාබු නැටි 2

අබ තේ හැඳි 2

විනාකිරි මේස හැඳි 5

බැදපු මිරිස් කුඩු මේස හැඳි 2

කහ තේ හැඳි 1

සාදන ක්‍රමය:

පොලොස් තීරු ලෙස කපාගෙන කහ සහ ලුණු මිශ්‍ර කර පදම් වෙන්න ටික වේලාවක් තබා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදගන්න.

අමුමිරිස් හා ලූනු තෙලෙන් බැදගන්න. ඉඟුරු හා එනසාල් එකට අඹරාගන්න. අබ හා විනාකිරි එකට අඹරා ඉඟුරු, එනසාල් මිශ්‍රණයට එකතු කරගන්න. එම මිශ්‍රණයටම බැදපු මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න.

පොලොස්, අබ විනාකිරි මිශ්‍රණය, ඉඟුරු මිශ්‍රණය, ලූනු සහ අමුමිරිස් එකට එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන අවසානයේදී රස අනුව ලුණු එක්කරගන්න. මැටි මුට්ටියක දමා වසා තබා අවශ්‍ය වේලාවට කෑමට ගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?