සොබාදහමේ දක්නට ලැබෙන වඩාත් සංවේදී සහ අලංකාර දසුනක් ලෙස “තුන්පත් රෑන” හැඳින්විය හැකිය. ඇතින්නියක, ඇයගේ වැඩිමහල් පැටවා සහ අලුත උපන් කුඩා පැටවා යන තිදෙනාගෙන් සැදුම්ලත් මෙම පවුල් ඒකකය, සත්ත්ව ලෝකයේ පවතින දාරක ස්නේහය සහ ආරක්ෂාව පිළිබඳ මනරම් සාක්ෂියකි.
මෙම දසුන කලාවට සහ අත්කම් නිර්මාණවලට එක්කර ගැනීමෙන් අපූර්ව නිමාවක් ලබාගත හැකිය:
මෙය නිවෙසක අාලින්දයේ බිත්තියේ තබන්න කදිම දසුනක් වන අතර, එය නිවසට ගෙන එන්නේ සශ්‍රීකත්වය සහ වාසනාවන්ත පෙනුමකි. විශේෂයෙන්ම කතිර රටාවෙන් නිම කළ එවැනි නිර්මාණයක් බිත්තියක රඳවා තැබීමෙන් මුළු විසිත්ත කාමරයේම පෙනුම නැඟේ.
බිත්ති සැරසිල්ලකට පමණක් නොව, නිදන කාමරයේ අලංකාරය සඳහා කොට්ට උරයකට වූවද මසාගත හැකිය. සියුම් නූල් රටාවන්ගෙන් නිර්මාණශීලීව නිමවන තුන් පත් රෑනක රූපය, ඕනෑම රෙදි නිර්මාණයකට ගාම්භීරත්වයක් සහ සන්සුන් බවක් එක් කරයි.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි
නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉදිකටු
කතුර
නිර්මාණය කිරීම:-
මෙම නිර්මාණය අඟල් 6.0 x 3.4 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසාගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමු කර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇදගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

