පවුල් ජීවිතයේදී විවාහක යුවළකගේ පසුබිම තුළදී ඕනෑම අවස්ථාවක විවිධාකාරයේ ප්‍රශ්න, ගැටලු මතුවිය හැකිය. විටෙක ඒවා සුහදශීලිව
සාකච්ඡා කොට සමතයකට පත් කර ගත හැකි නමුත් තවත් සමහර බැරෑරුම් කාරණා මත විසඳාගත නොහැකි ප්‍රශ්න ද තිබිය හැකිය.
මෙම පවුල් පරිසරය තුළ විසඳාගත නොහැකි ප්‍රශ්න මතු වූ කළ විවාහක යුවළක් නීතියෙන් වෙන්වීම හෝ දික්කසාදය යන තෝරා ගැනීම්වලට පෙලඹීම සිදුවේ. බොහෝ දෙනෙකු මෙම දික්කසාදය සහ නීතියෙන් වෙන්වීම යන කාරණා ද්විත්වය පිළිබඳ හරියාකාර අවබෝධයක් නැත. ඇතමෙකු සිතන්නේ නීතියෙන් වෙන්වීම දික්කසාදයටම කියන තවත් එක් සමාන වචනයක් ලෙසය. නමුත් ඒවා සත්‍යයෙන්ම කාරණා දෙකකි.
නීතියෙන් වෙන්වීම ලෙස හඳුන්වනු ලබන්නේ දික්කසාද නොවී ජීවත් විය නොහැකි අවස්ථාවක උසාවිය මඟින් වෙන් වී ජීවත් වීමට අවසර දීමයි. එහිදී මවුපියන් විසින් දරුවන්ගේ අභිවෘද්ධිය, ගෞරවය පිළිබඳව සිතා දික්කසාද නොවී නීත්‍යනුකූලව ඈත්වීම සිදුවේ. මෙහිදී දික්කසාදය මෙන් නොව ඕනෑම අවස්ථාවක වෙන් වූ පාර්ශ්ව දෙක වෙත නැවත එක්වීමේ හැකියාවක් පවතී. මෙම නීත්‍යනුකූල වෙන්වීම ඉංග්‍රීසි භාෂාවෙන් Judicial Separation ලෙස හඳුන්වනු ලබයි.
දික්කසාදය යනුවෙන් හඳුන්වන්නේ උසාවිය තුළ නඩුවක් පවරා විවාහ දෙපාර්ශ්වය සිදුකොට ඇති වරද ඔප්පු කිරීම මත වෙන්වීමයි.
නීත්‍යානුකූල වෙන්වීම වේවා, දික්කසාදය මත වෙන්වීම වේවා මේ අවස්ථා දෙකේදීම සිදුවන්නේ දරුවන්ගෙන් මවුපියන් එක්තරා ආකාරයකින් වෙන්වීමයි. මෙලෙස ළමුන් මවුපියන්ගෙන් වෙන්වීම තුළ ඔවුනට සිදුවන අගතිගාමී තත්ත්වය නිසාවෙන් ඔවුන් වෙනුවෙන් නඩත්තු ගෙවීම් පිළිබඳව ඇති නීත්‍යනුකූල තත්ත්වයන් පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේ.
සිවිල් විධිවිධාන සංග්‍රහය අනුව වගන්ති අංක 619, 620, 621 වගන්ති තුළ දරුවාගේ භාරකාරිත්වය, නඩත්තුව, අධ්‍යාපනය සම්බන්ධ ඒ පිළිබඳව කටයුතු මවුපියන් විසින් ඉටු කිරීම සිදුකළ යුතු බව දක්වා තිබේ.
එපමණක් නොව, විශේෂයෙන් නීතියෙන් වෙන්වීම හා දික්කසාදය මත සිදුකරන වෙන්වීම්වලින් පසු දරුවන් වෙත නඩත්තු මුදල් ගෙවීමේදී මූලික වශයෙන් බලපානු ලබන නීතිමය කාරණාවක් වන්නේ 1999 අංක 37 නඩත්තු පනතයි. මෙම නීතිය මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ පවුල් සාමාජිකයන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පැනවෙනු ලැබූ නීතිමය රාමුවක් වේ. 1889 පැවති නඩත්තු ආඥා පනත අහෝසි කරමින් හඳුන්වා දුන් මෙම 1999 අංක 37 දරන නඩත්තු පනත හරහා ලංකාවේ නීතියේ නව පැතිකඩ ගණනාවක්ම විවර විය.
මෙම පනත තුළින් මූලික වශයෙන් ප්‍රධාන පාර්ශ්ව තුනක් වෙත නඩත්තු ඉල්ලා සිටීමේ නෛතික අයිතිය පවතී. පනතෙහි දෙවැනි වගන්තිය මඟින් එම අයිතීන් පැහැදිලි කර ඇති අතර එම පාර්ශ්වයන් වන්නේ:

කලත්‍රයා නඩත්තු කිරීම
දරුවන් නඩත්තු කිරීම
මවුපියන් නඩත්තු කිරීම
මෙහිදී දරුවන් නඩත්තු කිරීමේදී පනතේ දෙවන වගන්තිය අනුව මවුපියන් තම දරුවන් නඩත්තු කිරීම වගකීමක් ලෙස දක්වා තිබේ. නීතියෙන් වෙන් වූ හෝ දික්කසාදය මත වෙන් වූ දෙමාපියන් විසින් අවුරුදු 18ක් වනතුරු දරුවාව නඩත්තු කිරීම සිදුකළ යුතුය. යම් හෙයකින් දරුවා අධ්‍යාපනය ලබන්නේ නම් හෝ දරුවා යම් ශාරීරික මානසික ආබාධයක් හේතුවෙන් තමන් නඩත්තු කර ගත නොහැකි නම් වයස අවුරුදු 25 දක්වා නඩත්තු කටයුතු ලබාදීම සිදුකළ යුතුය.
මෙහිදී පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන්ට විශේෂත්වයක් ලබාදෙයි. දරුවා ගැහැනු දරුවෙකු නම් ඇයට නිසි රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති විටදී ඇය විවාහ වන තුරුම නඩත්තු මුදල් ගෙවීම සිදුකළ යුතුය. යම් හෙයකින් දරුවා අවුරුදු 18න් පසුව රැකියාවක නිරත වන්නේ නම් ඔහුට ඒ වන විටත් ස්ථිර ආදායම් මාර්ගයක් පවතින හෙයින් භාරකරු වෙත නඩත්තු මුදල් ගෙවීමෙන් වැළකිය හැකියි.
මේ ආකාරයෙන් නීතියෙන් වෙන්වීම හා දික්කසාදයෙන් වෙන් වූ පවුල් සංස්ථාව තුළ අගතියට පත් දරුවන් හට නීතියෙන් සහන සැලසුණද, සත්‍ය වශයෙන්ම දියුණු සමාජයක් තුළ මේ ආකාරයෙන් පවුල් සංස්ථාව තුළ ආරවුල් ගැටුම් ඇති නොකර ගැනීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මන්ද දරුවකුට මවුපියන් අහිමිවීම, දෙමාපියන්ට දරුවන් අහිමි වීම දරාගත නොහැකි සංවේදී බැරෑරුම් කාරණාවක් බැවිනි. එම නිසා වගකීම් සහගත බුද්ධිමත් වැඩිහිටියන්, මවුපියන් ලෙස කටයුතු කරමින් පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට අප සියලු දෙනාම අදිටන් කර ගනිමු.
TEXT – ජිවන්ත ගුණවර්ධන
