වර්තමාන සමාජයේ තරුණ පරපුරට මෙන්ම නිවෙසේ සිටින කාන්තාවන්ටද ස්ථාවර ආදායම් මාර්ගයක් සොයා ගැනීම අභියෝගයක් වී ඇත
. රැකියා අවස්ථා සීමිතව තිබීමත්, වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවස්ථා සීමා වීමත්, තරුණයන්ට සහ කාන්තාවන්ට ස්වයංරැකියා මාර්ග සොයා ගැනීම වැදගත් කර තිබේ. එම අවශ්‍යතාව හඳුනාගත් තරුණී පුවත්පත මෙවර විශේෂයෙන්ම තරුණ පරපුරේ රුචිකත්වය සැලකිල්ලට ගනිමින් රැකියා අවස්ථා, වෘත්තීය පුහුණු මාර්ග සහ නිෂ්පාදන ක්ෂේත්‍ර පිළිබඳ පාඨමාලා රැසක් ඉදිරිපත් කරයි.
එහි විශේෂ අංගයක් ලෙස “මහන මැෂිමෙන් දිවිය ජය ගන්න” නම් වැඩසටහන හඳුන්වා දී ඇත. “හැකියාවට රැකියාවක්” යන තේමා පාඨය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් මැහුම් කලාව ඉගෙන ගනිමින් නිවෙසේ සිටම ආදායම් මාර්ගයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරයි. විශේෂයෙන්ම නිවෙසේ සිටින කාන්තාවන්, රැකියා සොයන තරුණ තරුණියන් සහ වෘත්තීය කුසලතා ඉගෙනීමට කැමැති ඕනෑම අයකු සඳහා මෙය අගනා අවස්ථාවක් වේ.
මෙම පුහුණු වැඩසටහන හරහා චීත්ත, කොට්ට උර, සරම්, සුරතල් සතුන් සඳහා ඇඳුම්, සහ වෙනත් විවිධ නිෂ්පාදන නිර්මාණය කිරීම පිළිබඳ දැනුම ලබාදෙනු ඇත. ඒ අතරම නිෂ්පාදිත භාණ්ඩ නිමි නිෂ්පාදන ලෙස සකස් කිරීම, නිවැරදිව මැසීමේ, ආකාරය සහ ප්‍රමිතිය පවත්වාගෙන යැම, නිෂ්පාදන වෙෙළඳපොළට හඳුන්වාදීම සහ අලෙවි කිරීම පිළිබඳ මූලික ව්‍යාපාරික දැනුම ද මෙහිදී ලබාදෙනු ඇත.
මෙම පුහුණු පාඨමාලාව හඳුන්වා දෙන්නේ ඔමායා ෆැෂන් ආයතනය විසිනි. එහි අධ්‍යක්ෂක එරංග රණසිංහ මහතා මෙම වැඩසටහන මෙහෙයවමින් තම අත්දැකීම් සහ වෘත්තීය දැනුම පුහුණුව ලබන අය සමඟ බෙදා ගැනීමට සූදානමින් සිටී. ඇඟලුම් ක්ෂේත්රයේ සාර්ථක ව්‍යවසායකයකු ලෙස ඔහු මේ වන විට තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා සලසා දීමට සමත්ව සිටියි. විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමයේදී බොහෝ කාන්තාවන්ගේ ව්‍යාපාර සහ ආදායම් මාර්ග බිඳ වැටුණු අවස්ථාවක ඔවුන් නැවත නැඟී සිටීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීම සඳහා ඔහු කැපවී කටයුතු කළේය.
මැහුම් කලාවේ මූලික පියවර
මෙම පුහුණු වැඩසටහනේ දී මැහුම් කලාව ඉගෙන ගැනීමට අවශ්‍ය මූලික පියවර පියවරෙන් හඳුන්වා දෙනු ඇත. මහන මැෂිම නිවැරදිව භාවිත කිරීම, නූල් සකස් කිරීම, රෙදි කැපීම සහ නිවැරදිව මැසීම වැනි මූලික කුසලතා මෙහිදී ඉගැන්වෙනු ඇත.
ඒ සමඟම විවිධ නිෂ්පාදන නිර්මාණය කිරීමේ ක්‍රම, නිමි ඇඳුම් නිර්මාණය කිරීම, සහ නිෂ්පාදන ප්‍රමිතිය පවත්වාගෙන යෑම පිළිබඳ ප්‍රායෝගික මඟපෙන්වීම් ද ලබා දෙනු ඇත. මෙය පුහුණුව ලබන අයට ස්වාධීනව නිෂ්පාදන නිර්මාණය කිරීමට සහ කුඩා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් කරයි.
නිෂ්පාදන අලෙවිය සහ මාර්ගගත වෙළඳ ජාලය
මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීමයි. පුහුණුව ලබන අය විසින් නිර්මාණය කරන ඇඳුම් සහ නිමි නිෂ්පාදන නැවත මිලදී ගනිමින් ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය වෙෙළඳ ජාලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
විශේෂයෙන්ම අද කාලයේ වැඩි ප්‍රචලිතතාවක් ලබා ඇති මාර්ගගත වෙෙළඳ ජාලය (Online Platforms) භාවිත කරමින් නිෂ්පාදන අලෙවි කිරීමේ ක්‍රම, සමාජ මාධ්‍ය හරහා නිෂ්පාදන ප්‍රචාරණය කිරීම, පාරිභෝගිකයන් වෙත ළඟා වීම සහ අලෙවි කළමනාකරණය පිළිබඳ මඟපෙන්වීම්ද එරංග රණසිංහ මහතා විසින් හඳුන්වා දීමට සූදානමින් සිටී.
ඒ සමඟම, “ඔබගේ පරණ මහන මැෂිම ගෙයි මුල්ලේ ද?” යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස, පරණ මහන මැෂිම නැවත භාවිත කර ආදායම් මාර්ගයක් ගොඩනඟා ගැනීමේ ක්‍රමද මෙම වැඩසටහන තුළ ඉගැන්වෙනු ඇත. එමඟින් පුහුණුව ලබන අයට අඩු පිරිවැයෙන්ම වෘත්තීය ක්ෂේත්රයට ඇතුළත් වීමේ හැකියාව ලැබේ.
කුසලතාවයෙන් ව්‍යාපාරයක් වෙත
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මැහුම් කලාව ඉගැන්වීම පමණක් නොව, එය ආදායම් ලබාදෙන වෘත්තියක් බවට පත් කරගන්නා ආකාරය හඳුන්වා දීමයි. එමඟින් පුහුණුව ලබන අයට තමන්ගේම කුඩා පරිමාණ ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ කාලයත් සමඟ එය වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබේ.
“මහන මැෂිමෙන් දිවිය ජය ගන්න” වැඩසටහන තරුණ පරපුරට සහ කාන්තාවන්ට වෘත්තීය කුසලතා ලබාදී ඔවුන්ට ස්වයංරැකියා මාර්ගයක් ගොඩනඟා ගැනීමට නව දොරටුවක් විවර කරයි. තම හැකියාවන් වෘත්තියක් බවට පත් කරගෙන සාර්ථක ජීවිතයක් ගොඩනඟා ගැනීමට කැමති අයට මෙය අගනා අවස්ථාවක් බව නිසැකය.
TEXT – දුමින්ද කාරියවසම්
