සෑම කාන්තාවකගේම ඇඳුම් අල්මාරිය තුළ අඳින්නේ නැති, නමුත් ඉවත දැමීමට සිත නොදෙන ඇඳුම් රැසක් තිබේ. ඇතැම් විට ඒවා මතකයන් රැඳුණු ඇඳුම්ය. තවත් සමහරක් මඳක් පරණ වූ නිසා හෝ විලාසිතාවෙන් බැහැර වූ නිසා පසෙකට දමා ඇති ඇඳුම්ය. මේවා කාලයත් සමඟ දූවිලි වැදී විනාශ වී යනවා වෙනුවට, ඒවාට අති නවීන පෙනුමක් ලබා දී නැවතත් භාවිත කළ හැකි අපූරු කලාවක් අද ලෝකය පුරා රැල්ලක් ලෙස පැතිර යයි. එය ‘Upcycling’ (අප්සයික්ලින්) ලෙස හැඳින්වේ.
අද අපි මේ කතා කරන්නේ හුදෙක් පරණ ඇඳුම් අලුත්වැඩියා කිරීම ගැන පමණක් නොවේ; ඉවතලන රෙදි කැබැල්ලකට ඉහළ වෙෙළඳපොළ වටිනාකමක් සහිත අලුත්ම විලාසිතාවක් බවට පත් කිරීමේ “විස්මිත පරිවර්තනය” ගැනයි.
මොකක්ද මේ ‘Upcycling’ කියන්නේ?
ප්‍රතිචක්‍රීකරණය (Recycle) යනු යම් දෙයක් කුඩු කර හෝ දිය කර නැවත මුල සිට නිපදවීමයි. නමුත් ‘Upcycling’ යනු පවතින අමුද්‍රව්‍ය විනාශ නොකර, නිර්මාණශීලීත්වය සහ දෑතේ හුරුව භාවිත කරමින් ඊට වඩා වැඩි ගුණාත්මක සහ ආකර්ෂණීය පෙනුමක් ලබා දීමයි. සරලවම කිවහොත්, ඔබ එපා කියා පසෙක දැමූ පරණ ඩෙනිම් කලිසම, තරුණියන් ඉහළ මිලක් දී මිලදී ගන්නා “Designer Handbag” එකක් බවට පත් කිරීම මෙම කලාවයි.
ඔබේ නිර්මාණශීලීත්වයට තෝතැන්නක්
ඔබටත් නිවෙස සිටම අත්හදා බැලිය හැකි ‘Upcycling’ ක්‍රම කිහිපයක් මෙන්න:
පරණ ජීන්ස් කලිසමෙන් ‘Smart’ බෑග් එකක්:
ඩෙනිම් රෙද්ද යනු කිසිදා විලාසිතාවෙන් බැහැර නොවන, ඉතා ශක්තිමත් අමුද්‍රව්‍යයකි. ඔබේ පරණ කලිසමේ ඉණ ප්‍රමාණය මදි නම් හෝ පාද දිරා ගොස් ඇත්නම්, එහි ඉහළ කොටස භාවිත කර අපූරු ‘Tote bag’ එකක් හෝ උරහිසේ දමන බෑගයක් සකස් කළ හැකියි. එහි සාක්කු එලෙසම තැබීමෙන් පෑන්, දුරකතනය වැනි දෑ දැමීමට අමතර පහසුවක් ද ලැබේ. මීට අමතරව, ඩෙනිම් රෙදි කැබලි එකතු කර ‘Patch work’ ක්‍රමයට කුෂන් කවර සෑදීම ද අද ඉතා ජනප්‍රියයි.
සාරි පොටෙන් මැවෙන රාජකීය නිමවුම්:
අපේ මව්වරුන් සතු ඉතා වටිනා වැඩ දැමූ සාරි, පරණ වූ විට ඒවා පෙට්ටිවල දමා තැබීම අපරාධයකි. එම සාරි පොටවල ඇති අලංකාර මෝස්තර කපා නිවෙස විසිත්ත කාමරයට අවශ්‍ය මේස රෙදි (Table runners), ජෙන්ල් තිරවලට අල්ලන ලේස් මෝස්තර හෝ අලංකාර කුෂන් කවර සකස් කළ හැකියි. මෙය නිවෙසට එක් කරන්නේ ඉතා ඉහළ අභිමානවත් පෙනුමකි.
ටී-ෂර්ට්වලට අලුත් පණක්:
ඇඟට තද වූ හෝ මඳක් විවර්ණ වූ ටී-ෂර්ට් එකක් ගෙන එහි අත් කපා, පහළ කොටස ‘Fringe’ විලාසිතාවට (නූල් පටි මෙන් කපා) ගැට ගැසීමෙන් ඉතාම නවීන පෙනුමක් ලබාගත හැකියි. එමෙන්ම, ටී-ෂර්ට් කිහිපයක රෙදි කැබලි එකතු කර කුඩා දරුවන්ට ඇඳිය හැකි වර්ණවත් ඇඳුම් සකස් කිරීම ද ඉතාම ආකර්ෂණීයයි.
අඩුපාඩු සැඟවීමට මල් මෝස්තර:
ඔබේ ප්‍රියතම ඇඳුමක තැනෙක තීන්ත පැල්ලමක් වැදී හෝ රෙද්ද කැඩී ඇත්නම් එය පසෙක දමන්න එපා. එම ස්ථානය වැසෙන සේ වෙනත් රෙදි කැබැල්ලකින් කළ මල් මෝස්තරයක් (Appliqué), පබළු හෝ එම්බ්‍රොයිඩර් නිර්මාණයක් එක් කරන්න. එවිට එය වෙළඳපොළේ ඇති මිල අධික ‘Designer wear’ එකකටත් වඩා අගනේය.
පරිසරයට සහ සාක්කුවට සහනයක්
වර්තමානයේ ඇඳුම් මිල අහස උසට ගොස් ඇත. එවැනි වටපිටාවක ‘Upcycling’ හරහා ඔබට අලුත්ම විලාසිතාවන් රුපියලක්වත් වියදම් නොකර සකසා ගත හැකියි. අනෙක් අතට, ලොව පරිසර දූෂණයට වැඩිම දායකත්වයක් සපයන්නේ රෙදිපිළි කර්මාන්තයයි. රෙදි ඉවත නොදමා නැවත භාවිත කිරීමෙන් ඔබ සොබාදහම සුරැකීමට දායක වන සැබෑ පරිසර හිතකාමියෙකු වේ.
අමතර ආදායමකට මඟක්
මෙය හුදෙක් විනෝදාංශයක් පමණක් නොවේ. ඔබ නිර්මාණය කරන මේ ‘Upcycled’ නිපැයුම්වල ඡායාරූප ගෙන Facebook, Instagram වැනි සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න. අද ලෝකය සොයන්නේ අනුන් අඳින විලාසිතාම නොව, තමන්ටම ආවේණික වූ “Unique” නිර්මාණයන්ය. ඔබේ නිර්මාණය සතු එම සුවිශේෂී බව නිසාම ඉහළ මිලක් ලබා ගැනීමට ද ඔබට හැකි වනු ඇත.
නිර්මාණශීලීත්වය යනු මුදල් වියදම් කර ලබාගත යුතු දෙයක් නොවේ. එය ඔබ සතු දෑතේ හුරුව සහ මනසේ පරිකල්පනය තුළ සැඟවී පවතින්නකි. අදම ඔබේ අල්මාරිය පරීක්ෂා කර බලන්න; එහි සැඟවී ඇති “අලුත් ඇඳුම” නිර්මාණය කරන්නට දැන්ම පටන් ගන්න. ඉවතලන රෙදි කැබැල්ලකට පවා කලාව මුසු කළහොත්, එය ඔබේ ජීවිතය හැඩ කරන වටිනා සම්පතක් වනු නිසැකය.
TEXT – පූර්ණිමා ඉන්දීවරී
