Monday, March 16, 2026
Epaper
Home විශේෂාංගලීක් වන්නේ වීඩියෝවක් පමණක් ද? නැතිනම් ඔබේ මුළු ජීවිතයම ද?

ලීක් වන්නේ වීඩියෝවක් පමණක් ද? නැතිනම් ඔබේ මුළු ජීවිතයම ද?

by Shanaka Lakehouse

අද අප ජීවත් වන්නේ තාක්ෂණය විසින් අපගේ පෞද්ගලිකත්වය සහ පොදු ජීවිතය අතර ඇති සීමා මායිම් ඉතාමත් සූක්ෂ්ම ලෙස මකා දමා ඇති යුගයකය. ස්මාර්ට් දුරකතනයක් සහ අන්තර්ජාලය අපේ ජීවිතවලට සමීප වීමත් සමඟ අප නොසිතන මොහොතක අපගේ ගරුත්වය අගාධයකට ඇද දැමිය හැකි මාරක උගුල් ද නිර්මාණය වී තිබේ. මෑත කාලීනව සමාජ මාධ්‍ය ජාලා හරහා කාන්තාවන්ගේ පෞද්ගලික ජීවිතයට අයත් දෑ ප්‍රසිද්ධ වීමත් ඒ වටා ගොඩනැඟෙන අශික්ෂිත සමාජ කතිකාවන් දෙස බලන විට පෙනී යන්නේ අප හුස්ම ගන්නේ කොතරම් අනාරක්ෂිත සහ සංවේදීභාවයෙන් තොර සමාජයක ද යන්නයි.

සමාජ විද්‍යාත්මකව බලන කළ ඕනෑම සබඳතාවකදී ආකර්ෂණය හෝ ශෘංගාරාත්මක හැඟීම් ඇති වීම මානුෂීය ස්වභාවයකි. එය අරුමයක් නොවේ. එහෙත් ගැටලුව වන්නේ එම හැඟීම් ඩිජිටල් අවකාශය තුළ සටහන් කිරීමට යාමයි. දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සයිබර් අපරාධවලින් බහුතරයක් කාන්තාවන්ගේ පෞද්ගලික දත්ත සහ දර්ශන අවභාවිත කිරීම්වලට සම්බන්ධ ඒවාය. ඩිජිටල් ලෝකයේ පෞද්ගලිකත්වය යනු ඕනෑම වෙලාවක බිඳ වැටිය හැකි බුබුළකි. අද පවතින අතිශය විශ්වාසවන්ත බැඳීම හෙට දවසේ යම් හෙයකින් පලුදු වුවහොත් එදා ඔබ ලබා දුන් පෞද්ගලික ඡායාරූපය හෝ වීඩියෝව ඔබව දඩයම් කරන දරුණුම ආයුධය බවට පත් විය හැකිය. එම නිසා ඕනෑම සබඳතාවකදී තමාගේ පෞද්ගලිකත්වයේ සීමාවන් (Personal Boundaries) කොතැනදැයි හඳුනා ගැනීම කාන්තාවක සතු විය යුතු උසස්ම බුද්ධියයි.

වඩාත්ම ශෝචනීය තත්ත්වය වන්නේ යම් කාන්තාවකගේ පෞද්ගලිකත්වයට හානි වන දර්ශනයක් සමාජගත වූ විට එම වරද සිදු කළ පුද්ගලයාට වඩා ඇයට ඇඟිල්ල දිගු කිරීමට සමාජය සැදී පැහැදී සිටීමයි. එම සිදුවීමේ කුණු රසය තලු මරමින් අදාළ කාන්තාවගේ චරිතය විවරණය කරමින් ඇයව තව තවත් අගාධයට ඇද දැමීමට උත්සාහ කරන පිරිස තිරිසනුන්ටත් වඩා අන්තය. අනුන්ගේ පෞද්ගලික ජීවිත නිරුවත් කරමින් ඉන් විකෘති වින්දනයක් ලබන මෙවැනි ඩිජිටල් දඩයක්කරුවන් සිටින ලෝකයක අප අපේ ආත්මගරුත්වය රැක ගැනීමට පෙර සූදානමකින් සිටිය යුතුය. ඩිජිටල් හිංසනය (Digital Violence) හමුවේ කාන්තාවක් තනි කරන සමාජයක් ශිෂ්ටසම්පන්න සමාජයක් ලෙස හැඳින්විය නොහැකිය.

කාන්තාවක ලෙස ඔබ වටහා ගත යුත්තේ ඔබේ වටිනාකම තීරණය වන්නේ තවත් අයෙකුගේ පහත් ක්‍රියාවකින් හෝ තිරයක් මත දුවන රූප පෙළකින් නොවන බවයි. යම් හෙයකින් එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදු වුව හොත් ලැජ්ජාවෙන් සැඟවී මරණය තෝරා ගැනීම වෙනුවට නොසැලී සිටීමට තරම් මානසික ශක්තියක් ඔබ සතු කරගත යුතුය. ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID) වැනි ආයතන හරහා මෙවැනි අපරාධවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බව වටහාගෙන වින්දිතයෙකු වනු වෙනුවට සාධාරණය වෙනුවෙන් නැඟී සිටින පෞරුෂයක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යය.

තමන් සිටින වටපිටාව කුමක් වුවත් එහි ගෞරවය සහ තම ආත්මගරුත්වය පලුදු නොවන අයුරින් හැසිරීම කාන්තාවක සතු උතුම්ම ආභරණයයි. විශේෂයෙන්ම වෘත්තීය පරිසරයක් තුළ කටයුතු කිරීමේදී සීමා මායිම් හඳුනා ගැනීමත් තාක්ෂණික මෙවලම් භාවිතයේදී අතිශය ප්‍රවේශම් අසහගත වීමත් වැදගත්ය. ඔබ යමෙකුට යවන සෑම පණිවිඩයක්ම හෝ ඡායාරූපයක්ම ඔබේ අනාගතයට එරෙහිව භාවිත කළ හැකි බව නිරන්තරයෙන් සිහි තබා ගත යුතුය. ඩිජිටල් සාක්ෂරතාව (Digital Literacy) යනු හුදු තාක්ෂණික දැනුම පමණක් නොව එය තාක්ෂණය තුළ සදාචාරාත්මකව සහ ආරක්ෂිතව හැසිරීමේ කලාවයි.

අවසාන වශයෙන් සමාජය ඔබට ඇඟිල්ල දිගු කිරීමට මඟ බලා සිටින බව අමතක නොකරන්න. එම ඇඟිල්ල දිගු වීමට ඉඩ නොතබා ඔබේ ආත්මගරුත්වය සහ පෞරුෂය බුද්ධියෙන් යුතුව ආරක්ෂා කරගන්න. වැරදීමක් සිදු වූ පමණින් ජීවිතය අවසන් වන්නේ නැත. එහෙත් එම වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන වඩාත් ශක්තිමත්ව නැඟී සිටීම අත්‍යවශ්‍යය. ඩිජිටල් අගාධයන්ට වැටෙන්නට පෙර තම ගමන් මඟ ශික්ෂණයෙන් යුතුව සකසා ගැනීම හෙට දවසේ නිදහසේ හුස්ම ගැනීමට කැමැති සෑම කාන්තාවකගේම වගකීමකි. ඔබව ආරක්ෂා කර ගැනීමේ පළමු සහ අවසන් පවුර ඔබම බව අමතක නොකරන්න.

 

TEXT – නයනි මධුශානි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?