පුවත්පත් කලාව, ගී පද රචනය, ග්‍රන්ථකරණය ඇතුළු ලේඛන කලාවේ ඉසව් කිහිපයක්ම මනාව අතික්‍රමණය කළ අපේ රටේ ප්‍රවීණ ලේඛකයෙක් මෙවර ‘අම්මාවරුනේ’ විශේෂාංගය හරහා ‘තරුණි’ පාඨක ඔබ හමුවට එක් වෙයි.
“වෙස්සන්තර බිසෝ නුඹව දෙන්න බෑ”, “නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ”, “අප හමුවීම වෙන් වීම දෝ ආදරේ” ඇතුළු ගීත රැසක පද නිමැවුම් ඔහුගේය. ‘කුමරි’, ‘යුවති’ ඇතුළු පුවත්පත් රැසක ප්‍රධාන සංස්කාරකවරයා ලෙස 90 දශකයේ අතිශය ජනාදරයට පත් වූ ධර්මරත්න පෙරේරා මහතා, සිය මව ගැනත් සිය බිරිය මවක ලෙස දුටු අයුරුත් මෙසේ පෙළගැස්වීය.
“මගේ අම්මා ලීලාවති පෙරේරා. ඇය මේ වන විට සියවැනි වියෙහි පසු වෙනවා. ඇත්තටම අපේ පවුලේ එකම පිරිමි දරුවා වුණේ මම. අපේ බාප්පලාට, මහප්පලාටවත් දියණිවරු මිස පුතුන් සිටියේ නෑ. ඉතින් ඒ හැමෝගෙම විශේෂ ආදරය මට හිමි වුණා. ඒ හැමෝම මාව හොඳින් ආරක්ෂා කළා. පුංචි කාලයේ මගේ ජීවිතේ ගෙවුණේ අම්මත් එක්කමයි. තාත්තා වැඩට ගියාම මගෙ තනි නොතනියට හිටියේ මගෙ අම්මා. ජීවිතයේ ගමන් කළ යුතු හරි මඟ සහ ගුණ දහම් ආදිය මට කියා දුන්නේ ඈ විසින්. ඉස්සර හැම හවසකම අම්මයි මායි බුදුන් වඳිනවා. ඉතින් බුදුන් වඳින්නට මල් නෙළන්න වත්ත පහළට ගිය දවසක හරි අපූරු සිදුවීමක් වුණා.
මං පුංචි කාලයේ ඉඳන්ම හැදුණේ වැඩුණේ සොබාදහම එක්ක. මං ජීවත් වුණු නිවෙස වටපිටාවේ තිබුණේ ගහකොළ පිරුණු මනෝරම්‍ය පරිසරයක්. ඉතින් අපි දෙන්නා හැම හැන්දෑවකම නිල්ල පිරුණු වටපිටාව මැදින් වත්ත පහළට පියමං කරන්නේ බුදුන් වඳින්නට රුක්මල් නෙළාගන්නයි.
ඒ අතර වත්ත පහළ වෙල් ඕවිටේ ගොවිතැන් කරන මහප්පාව අපට මුණගැහෙනවා. ඔහු ඕවිටේ බුලත් සහ එළවළු වගා කළා. ඕවිට අයිනේ පුංචි ළිඳෙන් බුලත් කොරටුවට වතුර ඉහින මහප්පා හැමදාම අපට එළවළු පාර්සලයක් සකස් කරලා තියනවා. කොළපොතකට එළවළු ටික අඩුක් කරලා ලස්සනට වැල්පොටකින් බැඳලා අපට ගෙදර අරගෙන යන්න පුළුවන් විදිහට ඔහු ඒක ලස්සනට සකස් කරන්නේ පුරුද්දට වගේ.
ඒ එළවළු කොළපොතත් අරගෙන වට්ටියකට රුක්මල් නෙළාගෙන අපි දෙන්නා හැන්දෑ කළුවර මැදින් ආයෙත් ගෙදර එනවා. ඔය එන අතරේ දවසක් මාව පය පැටලිලා ඇදගෙන වැටුණා. ඉතින් එදා මගේ අතේ තිබුණු රුක්මල් වට්ටියම බිම. “අද ඉතින් මල් පූජා කරලා ඉවරයි. බිම වැටුණු මල් බුදු හාමුදුරුවන්ට පූජා කරන එක පවක්” යනුවෙන් කිය කියා බැණ වදිමින් අම්මා එදා ගෙදර ගිය හැටි මට අද වගේ මතකයි. අපි හැමදාම මල් නෙළන්න යන රුක්මල් වැටිය කිට්ටුවම කොහිල වළක් තිබුණා. අපේ අම්මා ගැමි කාන්තාවක් නිසාම ඇය පොල් අතු වියන්න හරිම දක්ෂයි. ඉතින් එහෙම වියන පොල් අතු පෙඟෙන්න දියට දැම්මේ රුක්මල් වැටිය ළඟ තිබුණු ඔය දිය කඩිත්තටයි. මං දවසක් මේ දිය කඩිත්තට නැමුණු පොල් ගහකට නැඟලා වතුරට පැන්නා. එදා ඒ සද්දෙට මහප්පා ඇවිත් මාව ගොඩට ගත් හැටි මට තාමත් මතකයි.
රුක්මල් කඩාගෙන ඇවිත් ඒවා බුදුන්ට පූජා කරලා බුදුන් වඳින අතරතුර අපේ අම්මා මට ගොඩාක් ගුණ දහම් කියා දුන්නා. ඉතින් ඒ අවවාද බොහෝමයක් මගේ මතකයේ රැඳුණා. අප යටතේ ගෙදර වැඩ කරන මිනිසුන්ට පවා ‘මාමා’, ‘නැන්දා’ කියා කතා කරන්නට ඇය මට ඉගැන්වූවා. ගහ කොළ පිරුණු අපේ මිදුල සහ ගෙවත්ත කුරුල්ලන්, සමනලුන් ඇතුළු සතා සිවුපාවුන්ගේ රජදහනක්. ඉතින් අපේ වත්ත උඩින් සමනලුන් ඉගිළෙනවා කියන්නේ අසාමාන්‍ය දසුනක් නොවෙයි. ඇත්තටම අපේ වත්ත උඩින් උන් කොහේ ඉගිලෙනවාද කියා ප්‍රශ්නයක් මගේ හිතට නැඟුණා. ඉතින් ඒ ප්‍රශ්නය අහන්නට මට හිටියේ මගේ අම්මා විතරයි. ඒකට අම්මා දුන්නේ මෙහෙම උත්තරයක්. “උන් සිරීපාදේ වඳින්න යනවා.”
සමනල පියාපතක පාට, මල් පෙත්තක හැඩය, ඒවායේ පාට හැදුණු විදිහ ගැන ඔය එක්කම මං හිතන්න ගත්තා. ඔය අතරේ රේඩියෝ එකේ නිතරම ඇහුණු “මොනවද අම්මේ අකුරු ජාතියක්” ගීතය ඒ ප්‍රශ්නයට මට පිළිතුරු දුන්නා. ඉස්සර වත්තේ පිටියේ දුවමින් මං ඒ ගීතය ගායනා කරනවා. මං ඒ ගීතය කොයි තරම් ගායනා කළාද කිව්වොත් ඒක අහගෙන උන්නු අම්මාටත් ඒ සින්දුව ඉබේම පාඩම් වෙලා තිබුණා.
පාසල් යන කාලයේ පමණක් නොව මා විවාහ වන තුරුම මට වැඩට යන විට උදෑසන බත් එක බැඳලා දුන්නෙත් මගේ අම්මා. අම්මා උයන වෑංජනවල රස අදටත් මගේ දිවට දැනෙනවා. ඒ අතර ඇගේ ගොටුකොළ වෑංජනය මට දිව්‍ය භෝජනයක් වූ බව කිව යුතුයි. අපේ තාත්තා කවදාවත්ම ගෙදරට අඩුම කුඩුම ගෙන එන්නට අම්මාව කඩේ ඇරියේ නෑ. හැමදාම හවසට තාත්තා ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම අරගෙන එනවා. අපේ තාත්තා නැති වෙන්නේ 1977 ජූලි 7 වැනිදා. ඉතින් එදා පටන් හැමදාම හවසට ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම අරන් එන්නේ මා විසින්.”
ධර්මරත්න පෙරේරා මහතා සිය මව සතු ගුණාංග තවදුරටත් මෙසේ විස්තර කළේය. “ආගන්තුක සත්කාරය ඈ ළඟ තිබුණු හොඳ ගුණාංගයක්. අපේ අම්මා ගමක හැදුණු වැඩුණු කාන්තාවක් නිසා ඒ ගුණය අම්මාට ගමෙන් ලැබෙන්න ඇති. අපේ තාත්තා අම්මා සමඟ විවාහ වූ දවසේ තැබූ සටහනක මෙහෙම දැක්වෙනවා. ‘මගෙ පිටිසර කෙල්ල ගෙදරට කැඳවාගෙන ආ දා.’ තාත්තා මේ වගන්තිය ලියලා ඊට යටින් ඔහුගේ නම ලියලා අත්සනකුත් දාලා තිබුණා. ඒ වගේම අපේ අම්මා බොහොම ධෛර්යවන්ත කාන්තාවක්. අපි අපේ ජීවන ගමනේ ආර්ථික අවහිරකම් පිරුණු කාලවකවානු කිහිපයක්ම පසු කළා. ඒ අවස්ථාවන්හිදීත් අපේ අම්මා ඉතා පිරිමැස්මෙන් අපවත් පෝෂණය කරමින් ගත කළේ ආදර්ශමත් ජීවිතයක්. අදටත් මගේ අම්මා ඉතා නීරෝගිව ජීවත් වෙනවා. ඇය තවමත් අකුරු ලියනවා. තමන්ගේ වැඩ කටයුතු ටික තමන් විසින් කරගන්නවා. ඉතින් ඒ ගැන මටත් තියෙන්නේ විශාල සතුටක්.”
අනතුරුව සිය බිරිය මවක ලෙස දුටු ආකාරයත් සිය සාර්ථකත්වයට ඇය දායක වූ ආකාරයත් ඔහු විස්තර කළේ මෙසේය. “මගේ බිරිය පුෂ්පා මාලිනි. ඇය හා මා විවාහ වුණේ 1982දී. ඇයත් මට දෙවැනි අම්මා කෙනෙක් වගේ. සහෝදරයෙක් හෝ නොසිටි මා ඇතුළු පවුලේ වගකීම් රැසක් කරපින්නා ගෙන කටයුතු කරන්නට ඇයට සිදු වුණා. අපේ විවාහ මංගල්‍යය දවසේම මගේ මංගල මුදුව මිතුරකු විසින් සොරා ගැනීම නිසා විශාල අකරතැබ්බයක් වුණා. අම්මා සති ගණනාවක්ම මිදුල අතුපතු ගෑවේ එය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් වුවත් එය ඉටු වුණේ නෑ.
මා පුෂ්පා සමඟ විවාහ වන්නට පෙර ඈ වෙනුවෙන් ‘සීත කඳුකරේ දෑ සමන් මලක් වගේ’ ගීතය ලිව්වා. එදා බොරැල්ලට වැටුණු මහා වරුසාව නිසා මට ඇගේ උපන්දින සාදයට යන්නට ලැබුණේ නැතත්, ශබ්දාගාරයක සිටියදී ලියූ එම ගීතය ග්‍රේෂන් ආනන්දයන්ගේ හඬින් අතිශය ජනාදරයට පත් වුණා. මං පහුගිය කාලේ අසනීප වුණු වෙලාවේ මගේ ජීවිතය බේරාගත්තේ මගේ බිරියයි. පත්තර රස්සාවේ කාර්යබහුලත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ මගේ මවගේ සියලු ඇප උපස්ථාන ඉටු කරමින් ඇය මගේ වෘත්තීය සාර්ථකත්වයට ශක්තිමත් පදනමක් ලබා දුන්නා.”
TEXT – ආර්. පී. මිහිරාන්
