ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජීය, ආර්ථික හා දේශපාලනික වටපිටාව තුළ ගු රුවරයා යනු හුදෙක් දැනුම ලබා දීමට එහා ගිය පුළුල් සමාජීය
කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයෙකි. අද වන විට ගු රුවරයා යනු දැනුම බෙදාහරින්නෙකුට වඩා මඟපෙන්වන්නෙකු බවට පරිවර්තනය වී තිබේ. ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ගුරුවරයාට හිමිවන්නේ සුවිශේෂී ගෞරවයකි. සමාජ වටිනාකම් පිරිහෙමින් පවතින යුගයක ගු රුවරයා සතු වගකීම අතිමහත්ය.
වර්තමාන ගුරුවරයා ඉවසීම, සහෝදරත්වය සහ මානුෂීය ගුණාංග දරුවා තුළ ඇති කිරීමටත්, විවිධ ජාතීන් සහ ආගම් අතර සහජීවනය ඇති කිරීම සඳහා දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමටත් කැපවී සිටියි. ශ්‍රී ලාංකේය සමාජයේ සදාචාරාත්මක පිරිහීමක් දක්නට ලැබෙන බැවින්, ගුරුවරයාගේ සමාජ වගකීම පෙරට වඩා බරපතළ වී ඇත. මත්ද්‍රව්‍ය උවදුර, සමාජ මාධ්‍ය වැරදි ලෙස භාවිත කිරීම සහ මානුෂීය ගුණධර්ම හීන වීම වැනි තත්ත්වයන් මධ්‍යයේ, දරුවා ආරක්ෂා කරගැනීමේ “මුරකරුවා” වන්නේ ගුරුවරයාය. විෂය දැනුමට පමණක් සීමා නොවී, දරුවා තුළ හික්මීම, ඉවසීම සහ සහජීවනය වැනි ගුණාංග රෝපණය කිරීම හරහා යහපත් පුරවැසියෙකු බිහි කිරීමේ ප්‍රමුඛ වගකීම ඔහු සතු වේ.
පාසල් පද්ධතියක් තුළ ගුරුවරයා යනු එම පද්ධතියේ සමස්ත ක්‍රියාකාරිත්වය තීරණය කරන කේන්ද්‍රීය සාධකයයි. පන්ති කාමරය තුළ ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා සියලු වගකීම් දරන්නේ ගුරුවරයාය. ළමා සංවර්ධනයේ මුල් අවධියේ සිට නව යොවුන් විය දක්වා කාලසීමාව තුළ ළමයා පවුලෙන් පරිබාහිරව පාසල තුළ ලබන අධ්‍යාපනය ළමයාගේ පෞරුෂ සංවර්ධනයට ඉතා වැදගත් වේ. පාසල යනු දරුවා සමාජානුයෝජනය වන ප්‍රධානතම ස්ථානයයි. එහිදී ගුරුවරයා දරුවාගේ චරිත සංවර්ධනයට සෘජුවම දායක වේ. සංස්කෘත භාෂාවට අනුව ගුරුවරයා යනු ශිෂ්‍යාගේ සිතේ ඇතිවන අවිද්‍යාව දුරු කර, ප්‍රඥාව නැමැති ආලෝකය ලබා දෙන තැනැත්තාය.
කෙසේ වෙතත්, වර්තමාන ශ්‍රී ලංකාවේ ගුරුවරයා තමන්ගේ භූමිකාව තුළ අපේක්ෂිත අරමුණ පූර්ණ ලෙසම ඉටු කරනවාද යන ප්‍රශ්නය පැනනඟී. බොහෝ ගුරුවරුන් උපරිම කැපවීමෙන් කටයුතු කළත්, පද්ධතියේ පවතින ගැටලු නිසා එම අරමුණු සියයට සියයක් සාර්ථක වී නොමැති බවක් පෙනෙන්නට තිබේ. අද වන විට ගුරුවරයා හෑල්ලුවට ලක්වීම ඉතා කනගාටුදායක මෙන්ම බරපතළ සමාජයීය ගැටලුවකි. අතීතයේ “දෙවැනි මවුපියන්” ලෙස සැලකූ ගුරු පරපුරට අද ලැබෙන ගෞරවය පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. අද ඕනෑම කෙනෙකුට ගුරුවරයෙකු කරන සුළු වැරැද්දක් වුවත් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරිය හැකිය. ගුරුවරයකු ශිෂ්‍යයෙකුට දඬුවම් කරන විට හෝ දැඩිව අවවාද කරන විට, එය “මානව හිමිකම්” උල්ලංඝනය කිරීමක් ලෙස හංවඩු ගසමින් ගුරුවරයාව සමච්චලයට ලක් කිරීමේ ප්‍රවණතාවක් ඇත. මින් සිදු වන්නේ ගුරුවරයා දරුවන් කෙරෙහි දක්වන පෞද්ගලික උනන්දුව අත්හැර දැමීමකි.
වර්තමාන තාක්ෂණික ලෝකයේ තොරතුරු ඕනෑම තැනකින් සොයාගත හැකි වුවත්, සදාචාරය යනු Google සෙවුමකින් දරුවෙකුට ලබාගත හැකි දෙයක් නොවේ. එබැවින් වර්තමාන ගුරුවරයා නිවෙස තුළින් ලබන පදනමට අමතරව පාසලේදී සදාචාරය සම්ප්‍රේෂණය කරන්නකු දක්වා පරිවර්තනය වීම අත්‍යවශ්‍ය වේ. පන්ති කාමරය තුළ ගුරුවරයා ප්‍රදර්ශනය කරන සාධාරණත්වය සහ අවංකභාවය දරුවාගේ සදාචාරාත්මක පදනම ශක්තිමත් කරනු ලබයි. සදාචාරය යනු දේශන පවත්වා ඉගැන්විය හැකි දෙයක් නොව, ගුරුවරයාගේ හැසිරීම තුළින් දරුවාට කාන්දු විය යුතු දෙයකි. ගුරුවරයාගේ ඇඳුම, පිරිසුදු වාචික සංවරය සහ අන් අයට දක්වන ගෞරවය දරුවා සැණින් නිරීක්ෂණය කරනු ලබයි.
සදාචාරය යනු සමාජයක යහපත් පැවැත්ම උදෙසා ගොඩනැගුණු ගුණධර්ම, වටිනාකම් සහ ආචාරධර්ම පද්ධතියයි. සදාචාරාත්මකව දියුණු මිනිසා තමාගේ අයිතිවාසිකම් මෙන්ම අනෙකාගේ නිදහසට ද ගරු කරයි. රටක් දියුණු යැයි කිව හැක්කේ එම රටේ මිනිසුන්ගේ සිතිවිලි සහ හැසිරීම් කෙතරම් ශිෂ්ටසම්පන්න ද යන්න මතය. එබැවින් අනාගත පරපුර දැනුමෙන් පමණක් නොව, සදාචාරයෙන් ද පිරිපුන් පිරිසක් ලෙස නිර්මාණය කිරීම අධ්‍යාපන පද්ධතියක මූලිකම වගකීම විය යුතුය.
දරුවකුගේ ජීවිතය සාර්ථක වීමට නම් “ගුරු ප්‍රවේශය” ඉතා තීරණාත්මක වේ. ශිෂ්‍යයෙකු කරා ප්‍රවිෂ්ට වීමේ පළමු පියවර වන්නේ ඔහුට සවන්දීමයි. ගුරුවරයා ශිෂ්‍යයා කරා ප්‍රවිෂ්ට විය යුත්තේ අධිකාරී බලයකින් නොව, දයාව සහ අවබෝධයෙනි. දඬුවමට වඩා ගැළපෙන අවබෝධය තුළින් ශිෂ්‍යයා හික්මවිය යුතු අතර, ධනාත්මක විනය (Positive Discipline) පවත්වා ගත යුතුය. වර්තමාන ගුරුවරයකුගේ පරිණතභාවය මනින්නේ ඔහු සතු දැනුමෙන් පමණක් නොව, අසීරු අවස්ථාවලදී ඔහු හැසිරෙන ආකාරයෙනි.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව වැනි රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ගුරු-ශිෂ්‍ය සබඳතාව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. ප්‍රතිසංස්කරණ යනු හුදෙක් පෙළ පොත වෙනස් කිරීම නොව, නව නිපුණතා හා සදාචාරාත්මක ගුණධර්ම දරුවාට සමීප කිරීමයි. උගත් බුද්ධිමතකු බිහි කිරීම ගුරුවරයාගේ වෘත්තිය වුවත්, මනුෂ්‍යත්වය උගන්වා සදාචාරාත්මක මිනිසකු බිහි කිරීම ගුරුවරයාගේ මෙහෙවරයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළදී එකී වෘත්තිකභාවය ආරක්ෂා කිරීමත්, මෙහෙවර ඇගයීමත් සිදු විය යුතුව ඇත. ගුරුවරයා ශක්තිමත් වුවහොත්, අපේ දරුවන් ප්‍රචණ්ඩත්වයෙන් තොර සදාචාර සම්පන්න පිරිසක් බවට පත් කරගත හැකිය.
TEXT – රුවන් පුෂ්ප කුමාර
