Monday, March 16, 2026
Epaper
Home විශේෂාංගමවුපියන් දැනගත යුතු බරපතළ ඇත්ත

මවුපියන් දැනගත යුතු බරපතළ ඇත්ත

දරුවන් අඬන විට මවුපියන් දුරකතනය ලබා දීම විසඳුමක් ද?

by Shanaka Lakehouse

වර්තමානයේ ඕනෑම පොදු ස්ථානයක හෝ නිවෙසක සුපුරුදු දසුනක් තිබේ. එනම්, අවුරුදු දෙක තුනක කුඩා දරුවකු පවා ස්මාර්ට් දුරකතනයක තිරයට දෑස් අලවාගෙන, අවට ලෝකය අමතක කර සිටින අයුරුයි. “අපේ පුතාට ෆෝන් ඕනෑම විදියකට එක ඔපරේට් කරන්න දංන්ම පුළුවන්” යැයි පවසමින් ඇතැම් මවුපියන් ආඩම්බර වන අයුරුද අප අසා ඇත. එහෙත් මනෝ විද්‍යාඥයන් සහ ළමා රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඔබ ආඩම්බරයෙන් පවසන ඒ “හැකියාව” දරුවාගේ අනාගතය අඳුරු කරන බරපතළ ඇබ්බැහියක මුල් අඩිතාලම විය හැකි බවයි. ඔබේ දරුවා එම ඇබ්බැහියෙන් මුදා ගන්නට අදම කටයුතු කරන්න.

මවුපියන් වන ඔබ දැනගත යුතු දෙය නම් දුරකතනය “තාවකාලික සැනසුමක්” මිස විසඳුමක් නොවන බවය. දරුවකු හඬන විට, කෑම නොකන විට හෝ අකීකරු වන විට බොහෝ මවුපියන් කරන ලෙහෙසිම කාර්යය වන්නේ දුරකතනය දරුවා අතට දීමයි. එවිට දරුවා එක තැනක නිහඬව වාඩි වී සිටින නිසා මවුපියන්ට තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට පහසු වේ. මෙය “විසඳුමක්” ලෙස පෙනුණද, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ දරුවාගේ හැඟීම් පාලනය කිරීමට ඔහුට ඇති හැකියාව මොට කිරීමයි.

දරුවකු ඉගෙන ගත යුත්තේ තමන්ට පාළුවක් දැනෙන විට, කේන්තියක් දැනෙන විට හෝ කුසගින්නක් දැනෙන විට එයට මුහුණ දෙන ආකාරයයි. නමුත් දුරකතනය මඟින් එම ස්වාභාවික හැඟීම් “යටපත්” කරන අතර, ඒ හරහා දරුවා තමාගේම හැඟීම් පාලනය කරගත නොහැකි, හුදෙක් බාහිර උත්තේජනයක් මතම යැපෙන පුද්ගලයකු බවට පත් වේ. තවද ඩිජිටල් යුගයේ දරුවන්ගේ හැසිරීම් රටාව කෙරෙහි දුරකතනය සෘජු බලපෑමක් එල්ල කරනු ලබයි. මෙම බලපෑම් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්,

මොළයේ වර්ධනය සහ අවධානය යොමු කිරීමේ හැකියාව

දරුවන්ගේ මොළය ඉතා වේගයෙන් වර්ධනය වන අවධිය වන්නේ කුඩා අවධියයි. දුරකතන තිරයක පෙනෙන වේගවත් දර්ශන සහ ශබ්ද මඟින් මොළයේ “ඩොපමයින්” නමැති රසායනය අධික ලෙස ශ්‍රාවය වේ. මෙයට පුරුදු වන දරුවකුට පොතක් කියවීම හෝ ගුරුවරයකුට සවන් දීම වැනි සෙමින් සිදුවන ක්‍රියාවලදී කිසිදු උනන්දුවක් ඇති නොවේ. මෙනිසා පාසල් වියේදී දරුවන්ගේ ඉගෙනීමේ සාධනය පහළ වැටේ.

සමාජීය හුදෙකලාව සහ සබඳතා බිඳ වැටීම

දරුවකු සමාජශීලී වන්නේ ඇසට ඇස බලා කතා කිරීමෙන්, සිනාසීමෙන් සහ අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමෙනි. තිරයට ඇබ්බැහි වූ දරුවා සැබෑ ලෝකයේ මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමට බියක් හෝ අකැමැත්තක් දක්වයි. මෙය පසුව “සමාජ භීතිකාව” දක්වා වර්ධනය විය හැකිය.

ප්‍රචණ්ඩත්වය සහ නොඉවසිලිමත් බව

වීඩියෝ ක්‍රීඩා සහ ඇතැම් කාටූන් දර්ශන හරහා දරුවාගේ මනසට ප්‍රචණ්ඩත්වය කාන්දු වේ. තවද, අන්තර්ජාලයේ ඕනෑම දෙයක් “සැණින්” ලැබෙන බැවින්, සැබෑ ලෝකයේදී යමක් ලැබෙන තුරු බලා සිටීමට හෝ ඉවසීමට ඔවුන්ට නොහැකිය. මෙය දරුවාගේ හැසිරීම් තුළ දැඩි කලහකාරී බවක් ඇති කිරීමට හේතු වේ.

හැසිරීම් පාලනය සඳහා “නිවැරදි” මඟ ඩිජිටල් මවුපියකරණයයි. එනම් අද අප ජීවත් වන්නේ තාක්ෂණයෙන් තොරව විසිය හැකි ලෝකයක නොවේ. එබැවින්, විසඳුම වන්නේ දරුවා තාක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කිරීම නොව, එය නිසි ලෙස කළමනාකරණය කිරීමයි. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, අවුරුදු 2ට අඩු දරුවන්ට කිසිදු ආකාරයක තිර නිරාවරණයක් නොතිබිය යුතුය.

අවුරුදු 2-5 අතර දරුවන්ට දිනකට පැයකට වඩා අඩු කාලයක් ද, වැඩිමහල් දරුවන්ට පවා පැය 2කට වඩා අඩු කාලයක් ද ලබා දීමට වගබලා ගත යුතුය. තවද දරුවාට දුරකතනය එපා යැයි පවසන මව හෝ පියා දවස පුරා ෆේස්බුක් හෝ ටික්ටොක් නරඹමින් සිටින්නේ නම්, දරුවා කිසිසේත් ඔබ පවසන දේ අසන්නේ නැත. දරුවා ඉදිරිපිට දුරකතනය භාවිතය අවම කරන්න.

එසේම කෑම මේසය සහ නිදන කාමරය තුළ දුරකතන භාවිතය තහනම් කරන්න. විශේෂයෙන්ම රාත්‍රී නින්දට පැයකට පෙර දුරකතනය ක්‍රියාවිරහිත කිරීම දරුවාගේ මානසික සෞඛ්‍යයට ඉතා වැදගත්ය. තවද දරුවාට දුරකතනය ලබා දෙන්නේ ඔවුන්ට “පාළුවක්” දැනෙන විට නම්, ඒ වෙනුවට ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට, කතන්දර කීමට හෝ චිත්‍ර ඇඳීමට කාලය වෙන් කරන්න. දරුවාට සොබාදහම සමඟ ගැවසීමට අවස්ථාව ලබා දෙන්න. ඔවුන් සමඟ කාලය ගත කරන්න. එවිට දුරකතනයෙන් ඔවුන් සොයන පාළුව නැති වී දරුවන් දුරකතනය ඉවත දමයි. මේ හරහා නිර්මාණශීලී යහපත් දරුවකු බිහි කරගත හැකිය.

දරුවන් අඬන විට සනසන්න දුරකතනය දීම කිසිසේත්ම විසඳුමක් නොවේ. එය හුදෙක් මවුපියන්ගේ පහසුව තකා දරුවාගේ අනාගතය පූජා කිරීමකි. ඩිජිටල් යුගයේ දරුවන්ගේ හැසිරීම් පාලනය කිරීමට නම්, මවුපියන් තාක්ෂණය පිළිබඳව දැනුවත් විය යුතු අතරම, දරුවා කෙරෙහි වැඩි අවධානයක් සහ ආදරයක් පෙන්විය යුතුය. එසේම මතක තබා ගන්න, ස්මාර්ට් දුරකතනයකට දිය නොහැකි ඉවසීම, ආදරය සහ සදාචාරය දරුවාට ලබා දිය හැක්කේ ඔබට පමණි. එබැවින් ඔබ දරුවන්ට සමීප වන්න; ඒ තුළින් නිර්මාණශීලී මෙන්ම යහපත් පුරවැසියකු බිහි කරගත හැකිය.

 

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?