Monday, March 16, 2026
Epaper
Home විශේෂාංගසොබාදහමේ අපූරු දායාදය දෙල්

සොබාදහමේ අපූරු දායාදය දෙල්

by Shanaka Lakehouse

ඉතා ඉහළ පෝෂණ මට්ටමක් ඇති ආහාරයක් ලෙස දෙල් අපට හඳුනාගත හැකිය. තන්තු, විටමින්, පොටෑසියම්, මැග්නීසියම් ආදී බොහෝ පෝෂක කොටස්වලින් පරිපූර්ණ මෙය ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයට ශක්තිය සපයන, හෘද සෞඛ්‍ය නංවාලන, කොලෙස්ටරෝල් පාලනය කරන, ජීර්ණය පහසු කරවන, පිළිකා මර්දන ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන, අස්ථි සෞඛ්‍යයට වැදගත් වන, රුධිරය වර්ධනය කරන සහ ප්‍රතිශක්තිය ඉහළ නංවාලන බහුල ගුණ ඇති සොබාදහමෙන් අපට ලබා දී ඇති වටිනා දායාදයකි. බොහෝ දෙනෙක් දෙල් පිසූ ව්‍යංජනයක් තම්බා පොල් සමඟ ආහාරයට ගත්තද මේ අකාරයටත් පිළියෙල කළ හැකියි.

දෙල් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය:

තම්බා ගත් දෙල් ග්‍රෑම් 500ක්

බී ලූනු ගෙඩියක්

ලොකු අමු මිරිස්

කරපිංචා

තළා ගත් ඉඟුරු, සුදු ලූනු

තෙල් ස්වල්පයක්

අබ ස්වල්පයක්

සැමන් හෝ මස් හෝ මාළු ග්‍රෑම් 250ක්

කහ කුඩු තේ හැඳි භාගයක්

ගම්මිරිස් කුඩු තේ හැන්දක් හෝ දෙකක්

අවශ්‍ය ප්‍රමාණයට ලුණු

සාදන ක්‍රමය:

තම්බා ගත් දෙල් කැබලි ග්‍රෑම් 500ක් කුඩා කැබලි සිටින පරිදි පොඩි කරගන්න.

බී ලූනු, ලොකු අමු මිරිස් කරල්, කරපිංචා ඉතා සිහින්ව කපාගන්න.

භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් වූ පසු අබ ටිකක් දමාගන්න.

ඊළඟට ලූනු දමා ඒවා රන්වන් පාට වනතුරු හොඳින් බැදගන්න. පසුව අමු මිරිස් එකතු කරගන්න.

මිනිත්තුවකට පමණ පසු සැමන් හෝ මස් හෝ මාළු ග්‍රෑම් 250ක් ප්‍රමාණය එකතු කරගන්න. (මස් හෝ මාළු නම් තම්බා අනතුරුව බ්ලෙන්ඩ් කර එකතු කරගන්න.)

එයට පොඩි කරගත් දෙල්, කහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කර හොඳින් කලවම් කර මිනිත්තු කිහිපයකින් ළිපෙන් බාගෙන නිවෙන්නට තබන්න.

නිවුණු පසු මිශ්‍රණයෙන් කොටස කොටස ගෙන අවශ්‍ය පරිදි කුඩා බෝල සාදාගන්න.

පසුව බිත්තර දෙකක් බඳුනකට ගෙන හැන්දෙන් ගසාගන්න. නැතිනම් පාන් පිටි ස්වල්පයකට වතුර එකතු කර සාදාගන්න.

ඉන්පසුව බිස්කට් කුඩු පැතලි භාජනයකට දමාගන්න.

සාදාගත් කට්ලට් බෝල බිත්තර සාරුවල පාන් පිටි මිශ්‍රණයෙහි දමා බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

දෙල් වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය:

දෙල් ග්‍රෑම් 250ක්

පාන් පිටි ග්‍රෑම් 150ක්

සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 50ක්

ලොකු ලූනු ගෙඩියක්

වියළි මිරිස් කරල් 3ක්

කරපිංචා

කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක්

අවශ්‍ය පමණට ලුණු

බේකිං පවුඩර් ස්වල්පයක් (අවශ්‍ය නම් පමණක්)

සාදන ආකාරය:

දෙල් සහ පාන් පිටි භාජනයකට එකතු කර මිශ්‍ර කරගන්න.

එයට ලීක්ස්, ලූනු, වියළි මිරිස්, කරපිංචා, කෑලි මිරිස්, ගම්මිරිස් සහ ලුණු එකතු කර වතුර ස්වල්පය බැගින් දමමින් මෝලියක් සාදාගන්න.

ඉක්මනින් සාදාගැනීමට අවශ්‍ය නම් බේකිං පවුඩර් ස්වල්පයක් එක් කරන්න. නැතිනම් පැය කිහිපයක් පිපෙන්නට හරින්න.

තෙල් රත් වීමට ළිප තබන්න.

වතුරෙන් අත තෙමාගෙන මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා මැද සිදුරක් කර රත් වූ තෙලට දමන්න.

අඩු ගින්දරේ රන්වන් පාට වනතුරු බැදගන්න.

 

දෙල් සොසේජස්

අවශ්‍ය ද්‍රව්‍ය:

දෙල් ග්‍රෑම් 250ක්

කඩල පිටි ග්‍රෑම් 125ක්

මිරිස් කුඩු මේස හැඳි 1ක්

කහ කුඩු

අමු මිරිස් (කුඩාවට කපාගත්)

තළාගත් සුදුලූනු සහ ඉඟුරු

බී ලූනු ගෙඩියක්

ගම්මිරිස් කුඩු මේස හැඳි 1ක්

දෙහි යුෂ තේ හැඳි 1ක්

සුප් කැටයක්

සැමන් හෝ තම්බාගත් මාළු ග්‍රෑම් 100ක් (අවශ්‍ය නම් පමණක්)

රස අනුව ලුණු

බිත්තර 1ක්

සාදන ක්‍රමය:

දෙල් සිහින් කැබලිවලට කපාගෙන කහ සහ ලුණු ස්වල්පයක් දමා තම්බාගන්න.

තම්බා ගත් දෙල් කැබලි කුඩාවට පොඩි කරගෙන, එයට කඩල පිටි, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, අමු මිරිස්, බී ලූනු, සුදුලූනු, ඉඟුරු, දෙහි යුෂ, සුප් කැටය සහ මාළු එකතු කරගන්න.

බිත්තරය හොඳින් ගසාගෙන, එයින් ස්වල්පය බැගින් එකතු කරමින් දියාරු නැති මෝලියක් සාදාගන්න.

දැන් කුඩා කොටස් කඩා සොසේජස් හැඩයට රෝල් කර සාදාගන්න.

ඉන්පසු මේවා කෙසෙල් කොළයක හෝ ක්ලින් ෆිල්ම් (Cling film) එකක ඔතා ටොෆියක් ආකාරයට දෙකොනින් තද කරගන්න.

විනාඩි 10ක් පමණ හුමාලයෙන් තම්බා (Steam), අයිස් වතුර භාජනයකට දමා නිවුණු පසු අධිශීතකරණයේ තබා හෝ එවෙලේම අවශ්‍ය පරිදි පිස ආහාරයට ගත හැකිය.

 

TEXT – කෝකිලා සමුදුනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?