මලපහ පිට කිරීම අපේ දෛනික ජීවිතයේ එක්තරා කර්තව්‍යයක් වුණත්, හැමෝටම එහෙම වෙන්නෙ නෑ. ඒ කි
යන්නේ එම කර්තව්‍ය දෛනිකව සිදුවන්නේ නැහැ. තවත් සමහරුන්ට මලපහ පිට කිරීමේදී තැටමීම අනිවාර්යය අංගයක් වෙලා.
මලපහ පිට කිරීම සම්බන්ධයෙන් වන මේ එක් එක් අවස්ථාවන් සාමාන්‍ය තත්ත්වයක් විය හැකියි.එසේම එක් එක් රෝගයන් සඳහා මුල පිරීමක් ද විය හැකියි. දීර්ඝ කාලීන මලබද්ධය නැතිනම් මලපහ යෑමේ අපහසුතාව මේ අතරින් නිතර දෙවේලේ දක්නට ලැබෙන අවස්ථාවන්ය.
* මලපහ තදින් පිටවීම
* පිටවන ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබීම.
* මල පිට කිරීමේ අපහසුතාව
* සතියකට තුන් වතාවකට වඩා අඩුවෙන් යෑම
මේ කරුණු හතර මාස තුනකට වඩා වැඩි කාලයක් ඇත්නම් එය දීර්ඝ කාලීනව ඇති මලපහ පිට කිරීමේ අපහසුතාව(Coronic Constipation) ලෙසට වෛද්‍යවරුන් නිගමනය කරයි.
මේ සඳහා බලපෑ හැකි හේතු
*ආහාර මාර්ගයේ විවිධ රෝගාබාධ( ආහාර ජීර්ණයේ විවිධ අපහසුතා)- Motility Disorder
*ආහාර රටාවේ ඇති වෙනස්කම්
*ඖෂධවල අතුරු ආබාධ
*ආහාර මාර්ගයේ රෝගාබාධ – Irritible Bowel Syndrom
මෙය බඩවැල්වල ඇතිවන නිදන්ගත ආබාධයකි. මෙය උදරයේ වේදනාව, බඩ පිපුම, වායුව සහ පාචනය හෝ මලබද්ධය (නිතරම බඩ බුරුලට යාම හෝ මල පිටවීමේ අපහසුව) වැනි රෝග ලක්ෂණ ඇති කරයි.
උදරයේ වේදනාව සහ කැක්කුම විශේෂයෙන්ම මලපහ කිරීමෙන් පසු වේදනාව සමනය විය හැකියි.
* බඩ පිපුම සහ වායුව: බඩේ අජීර්ණ ගතිය.
* පාචනය (Diarrhea): දියර මල පිටවීම.
* මලබද්ධය (Constipation): මල පිටකිරීමේ අපහසුව.
* මලපහ සමඟ සෙම (Mucus) පිටවීම.
මේ සඳහා නිශ්චිත හේතුවක් නොදන්නා නමුත්, බඩවැල්වල මාංශ පේශිවල අසාමාන්‍ය හැකිළීම්, බඩවැල්-මොළයේ සම්බන්ධතාවයේ බාධා සහ ආතතිය මෙයට බලපායි.
* ආහාර පාලනය: ෆයිබර් බහුල ආහාර ගැනීම, ශරීරයට අහිතකර ආහාර (කුළුබඩු, කිරි නිෂ්පාදන, තිරිඟු) මඟ හැරීම.
* ආතතිය අවම කිරීම: යෝග සහ භාවනා වැනි සැහැල්ලු ව්‍යායාම.
* වෛද්‍ය උපදෙස්: රෝග ලක්ෂණ දරුණු නම් වෛද්‍යවරයෙකු හමුවී ඖෂධ ලබා ගැනීම
මෙම තත්ත්වය සුව කිරීමට නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැති වුවද, ජීවන රටාව වෙනස් කිරීමෙන් සහ වෛද්‍ය ප්‍රතිකාර මඟින් සාර්ථකව පාලනය කළ හැකියි.
*දියවැඩියාව නිසා
*ගුද මාර්ගය සිහින් වීම
*ගුද මාර්ගයේ පිළිකාවක් තිබීම
*සුෂුම්නාවේ ආබාධයන්
*පාකින්සන් තත්ත්වය
මේවා කල් පවතින මලබද්ධය සඳහා හේතු විය හැකියි.
අනතුරු ඇඟවීමේ ලක්ෂණ(Red Flag Sign)
*මලපහ සමඟ රුධිරය පිටවීම
*උණ ඒම
*සැලකිය යුතු ලෙස බර අඩුවීම
*මෑතකදී පටන් ඇඟපත දුර්වල වීමක් හැඟීම
*නීරක්තිය ඇතිවීම
*ගුද මාර්ගය ආශ්‍රිත කැක්කුම සමඟ නැවත වැසිකිලියට යෑමට අවශ්‍යතාව ඇතත් මල පිට නොවීම.
මෙය දැනෙන්නේ ගුද මාර්ගය අසල ගෙඩියක් සිරවී ඇත්තාක් මෙනි. ඇතැම් විට මෙවැනි ගෙඩියක් පිළිකාවක් විය හැකියි.මෙය පිටතට වන්න හසු නොවන අතර අභ්‍යන්තරයට වන්න පිහිටයි.
*පවුලේ අයට බඩවැල් ආශ්‍රිතව පිළිකා තිබීම.
ඉහත කී ලක්ෂණ ඇත්නම් ළඟම ඇති රෝහලක වෛද්‍යවරයකු හෝ ශල්‍ය වෛද්‍යවරයකු හමුවිය යුතුයි.
* සාමාන්‍යයෙන් මලපහ පිටවන කෙනකුට එහි යම් වෙනසක් වූයේ නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
* වැසිකිළි යෑමේ අවශ්‍යතාවක් නොදැනී බඩ පුරවා දමා ඇත්නම් එය පරීක්ෂාවට ලක් කළ යුතු තත්ත්වයකි.
* හොඳින්ම මල පහ පිටව ගිය කෙනෙකුට එම තත්ත්වය වෙනස් වූයේ නම් ඒ පිළිබඳ ද සැලකිලීමක් විය යුතු වේ.
* මලපහ පිට කිරීම සම්බන්ධයෙන් එදා සිටම තිබූ රටාව වෙනස් වන්නේ නම් එයද පරීක්ෂාවට ලක් කළ යුතු කරුණකි.
* මෙය අර්ශස් තත්ත්වයක් නොවන බව අවධාරණය කළ යුතුවේ.
* උණු වතුර ද ඇල්වතුර ද බොන්නේ යන්න මලපහ පිට කිරීම සම්බන්ධයෙන් සෘජු බලපෑමක් නොදක්වයි.
තමාටම කළ හැකි දෑ
*කෙඳි සහිත එළවළු, පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුයි.
*වතුර ලීටර් එකහමාරක් දෙකහමාරක් අතර ප්‍රමාණයක් දිනකට බීමට ගැනීම.
*වැසිකිලි යෑමේ අවශ්‍යතාව දැනුණු වහාම එය පිට කළ යුතුමයි. එය වැඩිවේලා දරාගෙන සිටීම සුදුසු නොවේ.
*අධික ලෙස තැටමීම කෙසේවත්ම සුදුසු නොවේ. සාමාන්‍ය ලෙස මලපහ පිට කිරීමට ඉඩ දෙන්න.
*මල පිට කිරීමේදී වාඩිවන හෝ සිටින ඉරියව්වද වෙනස්කර බැලිය හැකියි. එනම් කොමඩ් එක උඩ වාඩි වී සිටයදී කකුල් දෙක බංකුවක් උඩ තබා තරමක් ඉදිරියට නැමී මලපහ පිට කිරීම පහසු නම් දිගටම එම ක්‍රමය අනුගමනය කරන්න. මෙය විදෙස් රටවල බහුලව අනුගමනය කරයි.
*මලපහ පිට කිරීම සඳහාවන ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකිවේ.
*නිසි පරිදි ශාරීරික ව්‍යායාමවල නිරත වීම අත්‍යවශ්‍ය කරුණකි. ව්‍යායාමවල නිරතවද්දි ඇතැමුන්ට මලපහ පිටවීම සාමාන්‍ය අකට හැරේ.
*නිතරම බඩ බුරුලට යෑම(Loose motion) තත්ත්වය ද සාමාන්‍ය එකක් නොවේ. එය ද පරීක්ෂාවට ලක් කළ යුතු කාරණයකි.
රෝග නිරීක්ෂණය සඳහා සිදු කෙරෙන පරීක්ෂණ
*අවුරුදු 40 ට වැඩි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බඩවැල් ආශ්‍රිතව සිදු කෙරෙන කොලනොස්කොපි(Colonoscopy) කැමරා පරීක්ෂණය කළ යුතුයි.
*අවුරුදු 40 ට අඩු කෙනෙක් මල පහ පිට කිරීම ගුද මාර්ගය ආශ්‍රිත ගැටලු ඇත්නම් ගුද මාර්ගය ආශ්‍රිත කොලනොස්කොපි පරීක්ෂණය සඳහා යොමු වීම සුදුසුවේ.
Colonoscopy පරීක්ෂාව
colonoscopy මඟින් වෛද්‍යවරුන්ට ඔබේ ගුද මාර්ගය සහ මහා බඩවැල ඇතුළු විශාල අන්ත්‍රය ඇතුළත දැකීමට ඉඩ සලසයි. විවිධාකාරයේ ගෙඩි, තුවාල ආදිය ඇත්නම් ඒ බව මේ පරීක්ෂණයෙන් හඳුනගෙත හැකි අතර අවශ්‍ය වුවහොත් පටක සාම්පලයක් වැඩිදුර පරීක්ෂාව සඳහා යැවේ.
*වෙනත් පරීක්ෂණ අවශ්‍ය නම් වෛද්‍යවරයා ඒ බව තීරණය කරයි.
ප්‍රතිකාර ක්‍රම
වෛද්‍යවරයා නිරීක්ෂණය කළ කරුණු අනුව ප්‍රතිකාර ක්‍රම තීරණය වේ. බොන බෙහෙත්, දියරමය ඖෂධ, කුඩු පැකට්, ගුද මාර්ගයට ඇතුළු කරන දෑ ඖෂධ වශයෙන් නියම වේ.
දීර්ඝකාලීනව රෝගවලට බොන බෙහෙත් වර්ග වෙනස් කර බලමින් මලපහ පිටවන රටාවේ වෙනසක් වේ දැයි වෛද්‍යවරුන් නිරීක්ෂණය කරයි. ඇතැම් වේදනානාශක ඖෂධ නිසා ද මලපහ පිටවීමේ වෙනස්කම් ඇතිවේ. එවිට විකල්ප වේදනානාශක ඖෂධ ඒ සඳහා ලබා දේ.
Bio Feedback Therapy
ගුද මාර්ගය ආශ්‍රිතව මාංශපේශී ලිහිල් කරන Bio feedback therapy වල නිරතවිය හැකියි. මේ සඳහා පුහුණු හෙද නිලධාරිනියන් සිටියි. මෙය මලපහ කිරීම පහසු කරවන තෙරපි එකකි.
TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
