Monday, March 16, 2026
Epaper
Home වෛද්‍යමවු පදවියට පෙරුම් පුරන ඔබට ආරක්ෂක පවුරක් වන ෆෝලික් ඇසිඩ්

මවු පදවියට පෙරුම් පුරන ඔබට ආරක්ෂක පවුරක් වන ෆෝලික් ඇසිඩ්

by Shanaka Lakehouse

උතුම් මවු පදවියේ අසිරිය විඳින්නට පෙරුම් පුරන මවක්, දරුවා පිළිසිඳ ගැනීමටත් පෙර සිටම ඒ වෙනුවෙන් ඔබේ සිරුර සූදානම් කළ යුතු බව දන්නවාද? නීරෝගි කිරිකැටියකු මෙලොවට බිහි කිරීම ඕනෑම විවාහක කාන්තාවකගේ සොඳුරුතම බලාපොරොත්තුවයි.

ඔබේ අනාගත දරුවාගේ නීරෝගි බව තීරණය කරන ඒ එක් සාධකයක් වන්නේ ‘ෆෝලික් ඇසිඩ්’ (Folic Acid)ය. බොහෝ දෙනෙක් මෙය සාමාන්‍ය විටමින් පෙත්තක් ලෙස සැලකුවද, ඇත්ත වශයෙන්ම එය ඔබේ දරුවාගේ ජීවිතයේ අඩිතාලම සවිමත් කරන “ආරක්ෂක පවුරකි”. අද අපි විමසා බලමු, ඇයි මේ ෆෝලික් ඇසිඩ් මවු පදවියට සැරසෙන ඔබට මෙතරම් වටින්නේ කියා.

ෆෝලික් අම්ලය කියන්නේ මොකක්ද?

ෆෝලික් ඇසිඩ් (Folic acid/Vitamin B9) කියල කියන්නෙ අපේ ආහාර මඟින් ලබා ගත යුතු විටමිනයක්. ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවක් සාමාන්‍යයෙන් දිනකට අඩුම වශයෙන් ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි, කඩල වැනි ඇට වර්ග සහ කුකුළු මස් වැනි ආහාරවල සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය අඩංගු වන නමුත් අප එදිනෙදා ආහාරයට ගන්නා ආහාර වේල් තුළ මෙතරම් විශාල ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයක් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින සෑම කාන්තාවකටම ෆෝලික් අම්ලය ආහාරවලට අමතරව ලබා ගැනීමට නිර්දේශ කරනවා.

ගැබ් ගැනීමට කලින් ෆෝලික් අම්ලය ගන්න ඕනෙද?

බබෙක් හදන්න හිතාගෙන ඉන්න කාන්තාවන්ට මාස තුනකට විතර කලින් ෆෝලික් අම්ලය බොන්න පටන් ගන්න කියලා වෛද්‍යවරයකුගේ උපදෙස් ලැබෙනවා. බබෙක් පිළිසිඳ ගත්ත පළවෙනි සති 4 – 6 ඇතුළත බබාගේ ඉතාම වැදගත් ඉන්ද්‍රියන් හැදෙනවා. ඒත් ගොඩක් අම්මලා ගර්භිණී භාවයට පත් වෙලා කියලා දැනගන්නේ කාලය ඉකුත් වුණාට පස්සේ. ඒ නිසා ගැබ් ගන්න කලින් ෆෝලික් අම්ලය ගන්නවා නම්, බබාගේ වර්ධනයට මුල්ම අවස්ථාවේ ඉඳලා ආරක්ෂාවක් ලැබෙනවා.

ගර්භිණී කාලේ ෆෝලික් අම්ලය ගන්න ඕනෙ ඇයි?

බබාගේ හදවත, මොළය හා අනිත් ඉන්ද්‍රියන් හැදෙන්නේ ගර්භිණී භාවයට පත් වෙලා මුල් සති 12 ඇතුළත. ෆෝලික් අම්ලය මේ වර්ධනයට උදවු කරනවා. ෆෝලික් අම්ලය අම්මාගේ අඩු වුණොත් රක්තහීනතාව (haemoglobin අඩු වෙන එක) ඇති වෙන්න පුළුවන්. ගැබිනි කාලේ රුධිරයේ පරිමාව වැඩි වෙනවා, ඒ නිසා රතු රුධිරාණු වැඩිපුර හදන්න ඕනේ. ෆෝලික් අම්ලය රතු රුධිරාණු හදන්න ඕන පෝෂණය ලබා දෙනවා.

ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදුවන කාලයේ සිරුරේ ෆෝලික් අම්ල ඌනතාව පැවතුණහොත්, එය දරුගැබට බලපානවා. ඒ නිසා දරුවාට ස්නායු පද්ධතිය ආශ්‍රිත දරුණු සංකූලතා ඇති වෙන්න පුළුවන්. Anencephaly සහ Neural tube defects කියන්නේ මෙවැනි දරුණු සංකූලතාවන් දෙකක්. Anencephaly ලෙස හඳුන්වන්නේ හිස්කබල සහ මොළය වර්ධනය නොවන දරුවන්. එවැනි දරුවකුට ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ස්නායු පද්ධතියේ කොටස් (සහ සුෂුම්නාව ආශ්‍රිත කොටස්) හිසේ පිටුපසින් සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත පෙදෙසෙන් පිටතට පැමිණිය හැකි තත්ත්වයන් (Neural tube defects) මේ නිසා ඇති වෙන තවත් සංකූලතාවක්. මෙම සංකූලතාවන් ඇති වීම නියමිත මාත්‍රාවෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම මඟින් වළක්වා ගන්න පුළුවන්.

ෆෝලික් අම්ලය ගන්න ප්‍රමාණයක් තියෙනවද?

වෛද්‍යවරු බොහෝ විට ගැබිනි වෙන්න කලින් හා ගැබිනි කාලේ ෆෝලික් අම්ල ටැබ්ලට් එකක් දවසකට ගන්න උපදෙස් දෙනවා. ටැබ්ලට් එක දවසකට එක පාරක් බොන්න. උදේට හරි රෑට හරි එකම වෙලාවක බොන එක හොඳයි. අමතක කරන්න එපා. ගැබිනි වෙන්න කලින් හා ගැබිනි කාලේ මුල් මාස තුනේ ෆෝලික් අම්ලය ගන්න එක බබාගේ හා අම්මාගේ සෞඛ්‍යයට ගොඩක් වැදගත්.

සමහර කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක් ප්‍රමාණවත් නැහැ. වෛද්‍යවරුන් මිලි ග්‍රෑම් 5ක ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීමට නිර්දේශ කරන විශේෂ අවස්ථා ලෙස අධික තරබාරු කාන්තාවන්, දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවන්, අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවන්, සංකූලතා ඇති දරුවකු බිහි කළ කාන්තාවන් හැඳින්විය හැකියි.

ෆෝලික් අම්ලය ආහාරවලින් ලැබෙනවද?

ඔව්, ෆෝලික් අම්ලය ආහාරවලින් ගන්න පුළුවන්. ඒත් ගැබිනි කාලේ ඕන ප්‍රමාණය ආහාරවලින් විතරක් ගන්න අමාරුයි.

මේ ආහාරවල ෆෝලික් අම්ලය තියෙනවා:

කොළ පැහැති එළවළු

බෝංචි, මුං ඇට

බිත්තර

දොඩම්, අන්නාසි වැනි පලතුරු

ඒත් ආහාරවලින් විතරක් අවශ්‍ය ෆෝලික් අම්ලය ලැබෙන්නේ නැති නිසා, ටැබ්ලට් එකක් ගන්න එක තමයි හොඳම නිවැරදි ක්‍රමය.

ෆෝලික් ඇසිඩ්වලින් අතුරු ආබාධ ඇති වේද?

ෆෝලික් ඇසිඩ් කියන්නේ අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයක්. ඒ නිසා කිසිම ගැටලුවක් නොමැතිව බොහෝ දෙනකුට මෙය ලබා ගත හැකියි. නමුත් කිසියම් හේතුවක් නිසා ඔබට ෆෝලික් ඇසිඩ් පෙති ගැනීමට අපහසු නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. එවිට ඔබට වෙනස් ෆෝලික් ඇසිඩ් වර්ගයක් වන L-Methylfolate පෙති ලබා ගත හැකියි. එය මිලෙන් වැඩි වුවත්, සාමාන්‍ය ෆෝලික් අම්ලයට වඩා වේගයෙන් සිරුරට උරා ගන්නා අතර අතුරු ආබාධ අඩුයි.

ඇතැම් මවුවරු ගර්භිණී සමයට පෙර ෆෝලික් ඇසිඩ් නොගැනීම පිළිබඳ සිත් පීඩාවට පත්වීම දැකිය හැකිය. නමුත් ඒ පිළිබඳව අනවශ්‍ය බියකට හෝ පීඩනයකට ලක් නොවී ගර්භණී බව දැනගත් පසු නියමිත මාත්‍රාවෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ඔබේ දරුවාගේ නීරෝගි බව වැඩි දියුණුවට බලපාන අතර ගර්භිණී කාන්තාවන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම පිළිබඳව දැනුවත් බවින් යුක්තව උනන්දුවෙන් කටයුතු කිරීම වැදගත් වේ.

 

TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?