Monday, March 16, 2026
Epaper
Home වෛද්‍යසෙම්ප්‍රතිශ්‍යාවට විටමින් C මැජික් එකක්ද?

සෙම්ප්‍රතිශ්‍යාවට විටමින් C මැජික් එකක්ද?

මෙන්න සැබෑ ඇත්ත

by Shanaka Lakehouse

අද කාලයේ බොහෝ දෙනා තමන්ගේ නිවෙස තුළ අනිවාර්යයෙන්ම තබා ගන්නා ඖෂධයක් බවට විටමින් C පෙත්ත පත්ව තිබේ. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ප්‍රතිශක්තිය වැඩිකිරීමට පමණක් නොව, සමේ පැහැපත් බව රැකගැනීමට ද මෙය උපකාරී වන බවට ඇති විශ්වාසය නිසාය. නහයේ බර ගතියක්, හෙම්බිරිස්සාවක් හෝ උගුරේ අපහසුවක් දැනුණු සැණින් වෛද්‍ය උපදෙස් පවා නොමැතිව විටමින් C පෙත්තක් ගැනීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. නමුත් මේ ජනප්‍රිය විටමින් වර්ගයේ සැබෑ ක්‍රියාකාරිත්වය සහ එහි අතුරු ආබාධ පිළිබඳව නිසි අවබෝධයක් අප සමාජය සතු ද යන්න ගැටලු සහගතය.

මොකක්ද මේ විටමින් C කියන්නේ?

විද්‍යාත්මකව ‘ඇස්කෝර්බික් අම්ලය’ (Ascorbic Acid) ලෙස හැඳින්වෙන විටමින් C යනු ජලයේ දියවන විටමින් වර්ගයකි. අපේ සිරුරේ සිදුවන බොහෝ වැදගත් ජීවවිද්‍යාත්මක ක්‍රියාවලින් සඳහා මෙය අත්‍යවශ්‍ය සාධකයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය ජලයේ දියවන බැවින් සිරුර තුළ විශාල වශයෙන් ගබඩා කර තබාගත නොහැකි වීමයි. සිරුරට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමෙන් පසු ඉතිරි වන අතිරික්ත විටමින් C ප්‍රමාණය මුත්‍රා මාර්ගයෙන් පිටතට බැහැර වෙයි. එම නිසාම නීරෝගි දිවියක් පවත්වා ගැනීමට නම් දිනපතාම ආහාර මඟින් හෝ අතිරේක මඟින් විටමින් C සිරුරට ලබා දිය යුතුය. මිනිස් සිරුරට ස්වයංව විටමින් C නිපදවිය නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුවයි.

සිරුරට විටමින් C අවශ්‍ය වන්නේ ඇයි?

විටමින් C හි ප්‍රධානතම කාර්යය වන්නේ සිරුරේ ‘කොලැජන්’ නිෂ්පාදනයට සහාය වීමයි. කොලැජන් යනු අපේ සම, රුධිර නාළ, කණ්ඩරා, කාටිලේජ සහ අස්ථිවල ව්‍යූහාත්මක රාමුව සකස් කරන ප්‍රධාන ප්‍රෝටීනයයි. විටමින් C හිඟ වූ විට කොලැජන් නිෂ්පාදනය අඩාළ වන අතර, එවිට පටකවල ශක්තිමත්භාවය ගිලිහී යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදුරුමස්වලින් රුධිරය වහනය වීම, සමේ තැළීම් ඇති වීම සහ තුවාල සුව වීමට අසාමාන්‍ය ලෙස කල් ගත වීම වැනි තත්ත්වයන් ඇති වේ. මෙය වෛද්‍ය විද්‍යාවේදී ‘ස්කර්වි’ (Scurvy) රෝගය ලෙස හඳුන්වයි.

මීට අමතරව විටමින් C ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) ලෙස ක්‍රියා කරයි. අපේ සිරුරේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියේදී නිපදවෙන අහිතකර ‘නිදහස් මුලික’ (Free Radicals) මඟින් සෛලවලට සිදුවන හානිය වැළැක්වීමට මෙය උපකාරී වේ. එමඟින් සමේ රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකගැනීමටත්, දිගුකාලීන හෘද රෝගවල අවදානම අවම කිරීමටත් යම් දායකත්වයක් ලබා දෙයි.

යකඩ අවශෝෂණය සහ ප්‍රතිශක්තිය

විටමින් C හි තවත් වැදගත් කාර්යයක් වන්නේ ආහාරවල ඇති යකඩ සිරුරට අවශෝෂණය කර ගැනීමට උදවු වීමයි. විශේෂයෙන්ම ශාකමය ආහාරවල ඇති යකඩ (Non-heme iron) සිරුරට උරා ගැනීමට අපහසුය. නමුත් ඔබ ආහාර වේලක් සමඟ විටමින් C අඩංගු පානයක් හෝ පලතුරක් ලබා ගන්නේ නම්, යකඩ අවශෝෂණය බෙහෙවින් වැඩි වේ. ඒ නිසාම රක්තහීනතාවයෙන් පෙළෙන අයට යකඩ පෙති සමඟ විටමින් C ලබා ගැනීමට වෛද්‍යවරයකුගේ නිර්දේශය නිතර හිමි වෙයි.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ විටමින් C යනු හෙම්බිරිස්සාවට ඇති එකම බෙහෙත ලෙසයි. නමුත් සත්‍යය නම් විටමින් C මඟින් සෙම්ප්‍රතිශ්‍යාව සම්පූර්ණයෙන් සුව නොකරන බවයි. එය කරන්නේ සුදු රුධිර සෛලවල ක්‍රියාකාරිත්වය වැඩිකර ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම පමණි. එමඟින් රෝගය පවතින කාලය සහ එහි බරපතළකම යම් ප්‍රමාණයකට අඩු කරගත හැකිය.

අධික මාත්‍රාව සහ අතුරු ආබාධ

විටමින් C සාමාන්‍ය මාත්‍රාවලින් භාවිත කිරීම ආරක්ෂිත වුවත්, “වැඩි වැඩියෙන් ගත්තොත් වැඩි ගුණයක් ලැබේ” යන වැරදි මතය නිසා බොහෝ දෙනා අනවශ්‍ය ලෙස ඉහළ මාත්‍රාවන් භාවිත කරති. වැඩිහිටියකු සඳහා දිනකට නිර්දේශිත සාමාන්‍ය මාත්‍රාව මිලිග්‍රෑම් 75-90ත් අතර වේ. නමුත් කිසිදු වෛද්‍ය උපදෙසකින් තොරව දිනකට මිලිග්‍රෑම් 1000-2000 වැනි අධික මාත්‍රාවන් දිගුකාලීනව ගැනීම නිසා බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.

ඉන් ප්‍රධානතම අවදානම වන්නේ වකුගඩු ගල් (Kidney Stones) ඇති වීමයි. විටමින් C සිරුර තුළදී ඔක්සලේට් (Oxalate) බවට පරිවර්තනය වන අතර, එම ඔක්සලේට් වකුගඩු තුළ තැන්පත් වීමෙන් ගල් සෑදීමේ ප්‍රවණතාව වැඩි වේ. විශේෂයෙන්ම වකුගඩු ආශ්‍රිත රෝග ඇති අයකු හෝ වකුගඩු අකර්මන්‍ය වීම් ඇති රෝගීන් වෛද්‍ය උපදෙස් නොමැතිව විටමින් C පෙති භාවිත කිරීමෙන් වැළකිය යුතුය. අධික මාත්‍රාව නිසා ඔක්කාරය, බඩේ කැක්කුම, අජීර්ණය සහ පාචනය වැනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත අපහසුතා ද ඇති විය හැකිය.

විටමින් C පෙත්තට වඩා ස්වාභාවික ආහාර හොඳ ඇයි?

විටමින් C ලබා ගැනීමට ඇති හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය වන්නේ ස්වාභාවික ආහාරයි. දොඩම්, ලෙමන්, පේර, නෙල්ලි, ගස්ලබු සහ මිරිස් වැනි ආහාරවල විටමින් C බහුලව අඩංගු වේ. ආහාර මඟින් විටමින් C ලබා ගන්නා විට සිරුරට අනවශ්‍ය අධික මාත්‍රාවන් ඇතුළු නොවන අතර, එම ආහාරවල ඇති අනෙකුත් තන්තු සහ පෝෂ්‍ය පදාර්ථ ද සිරුරට හිමි වේ.

නිවැරදි පෝෂණ රටාවක් අනුගමනය කරන පුද්ගලයකුට විටමින් C පෙති අතිරේක ලෙස ගැනීම අවශ්‍ය නොවේ. නමුත් දුම් පානය කරන පුද්ගලයන්ගේ සිරුරේ විටමින් C මට්ටම වේගයෙන් පහත වැටෙන නිසා ඔවුන්ට සාමාන්‍ය අයට වඩා වැඩි අවශ්‍යතාවක් තිබිය හැකිය. එමෙන්ම ශල්‍යකර්මයකින් පසු හෝ පිලිස්සුම් තුවාල සහිත රෝගීන්ට තුවාල ඉක්මනින් සුව වීමට වෛද්‍යවරුන් විසින් තාවකාලිකව විටමින් C අතිරේක නිර්දේශ කරනු ලැබේ.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?