Monday, March 16, 2026
Epaper
Home මනෝ උපදේශනවියැකී යන මතකයට ආදරයේ පාලමක්

වියැකී යන මතකයට ආදරයේ පාලමක්

ඩිමෙන්ෂියාව හඳුනා ගනිමු

by Shanaka Lakehouse

මිනිස් මොළය යනු අසමසම දත්ත ගබඩාවකි. උපතේ සිට මරණය දක්වා අප ලබන අත්දැකීම්, වර්ණ, ශබ්ද සහ හැඟීම් සියල්ල එහි තැන්පත් වේ. නමුත් ඩිමෙන්ෂියාව නමැති තත්ත්වය පැමිණි විට, මේ අතිමහත් දත්ත ගබඩාවේ රාක්ක එකින් එක කඩා වැටෙන්නාක් මෙන් දැනේ. මෙය හුදෙක් අමතක වීමක් නොව, පුද්ගලයෙකුගේ ආත්මය සහ ලෝකය අතර ඇති සම්බන්ධය සිඳී යාමකි. වර්තමානය වන විට ලොව පුරා මිලියන 55කට අධික පිරිසක් මෙයින් පීඩා විඳින අතර, වසර 2050 වන විට මෙය මිලියන 139ක් දක්වා ඉහළ යනු ඇතැයි සොයා ගෙන ඇත.

ඩිමෙන්ෂියාව යනු නිශ්චිත එකම රෝගයක් නොව, මොළයේ ක්‍රියාකාරිත්වය පිරිහීම නිසා ඇතිවන රෝග ලක්ෂණ සමූහයකි. මෙහිදී ප්‍රධාන වශයෙන් මතකය, භාෂාව හැසිරවීම, තර්කනය, දෘශ්‍ය අවබෝධය යන අංශ හතරම හෝ ඉන් කිහිපයක් පිරිහීමට ලක්වේ. මෙය වයසට යෑමේදී සිදුවන සාමාන්‍ය දෙයක් ලෙස වැරදි මතයක් සමාජයේ ඇතත්, එය මොළයේ සෛල විනාශ වීම නිසා සිදුවන රෝගී තත්ත්වයකි. සියලුම ඩිමෙන්ෂියා තත්ත්වයන් සමාන නොවේ. ඒවා ඇතිවන ආකාරය අනුව ප්‍රධාන කොටස් 4කට බෙදිය හැකිය. එනම්,

ඇල්සයිමර් රෝගය

මෙය සමස්ත ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 60-80%ක් අතර ප්‍රමාණයකට බලපායි. මෙහිදී මොළයේ ඇමයිලොයිඩ් සහ ටෝ නමැති ප්‍රෝටීන තැන්පත් වීම නිසා ස්නායු සෛල අතර සම්බන්ධතාවය බිඳවැටෙන්නේ ය. මුලින්ම මෙය බලපාන්නේ මෑතකදී සිදු වූ දේ අමතක වීමටයි. මෙහිදී නම හෝ දුරකතන අංක අමතක වීම, එකම ප්‍රශ්නය නැවත නැවත ඇසීම, කාලයත් සමඟ තමාගේ සමීපතමයන් පවා හඳුනා ගැනීමට අපහසු වීම හරහා මෙය හඳුනා ගත හැකිය. එසේම මෙය ඉතා සෙමින් වර්ධනය වන රෝගයක් වන අතර, රෝග ලක්ෂණ මතුවීමට වසර කිහිපයකට පෙර සිටම මොළයේ වෙනස්කම් ආරම්භ වේ.

සනාල ඩිමෙන්ෂියාව

මොළයට රුධිරය සපයන නහර අවහිර වීම හෝ පුපුරා යාම නිසා මෙය ඇතිවේ. මෙහිදී මතකය අඩුවීමට වඩා තීරණ ගැනීමේ අපහසුව සහ අවධානය යොමු කිරීමේ දුර්වලතා කැපී පෙනේ. මොළයේ කුඩා රුධිර නාළ අවහිර වීම හෝ ආඝාතය නිසා මොළයේ යම් කොටසකට ඔක්සිජන් සහ පෝෂණය නොලැබී යාමෙන් එම කොටස අකර්මන්‍ය වේ. මෙම රෝගයේ ලක්ෂණ වන්නේ සිතීමේ වේගය අඩුවීම සහ අවධානය යොමු කිරීමේ දැඩි අපහසුව, සැලසුම් කිරීම සහ සංවිධානය කිරීමේ හැකියාව ගිලිහී යාම, ඇවිදීමේ අපහසුතාව සහ ශරීරයේ සමබරතාව ගිලිහී යාම සිදු වේ. එසේම ඇල්සයිමර් මෙන් නොව, මෙහි රෝග ලක්ෂණ බොහෝ විට මතු වන්නේ හදිසියේය. රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනය කිරීමෙන් මෙය තවදුරටත් උත්සන්න වීම වැළැක්විය හැකිය.

ලුවී බොඩි ඩිමෙන්ෂියාව

මෙහිදී රෝගියාට නොපෙනෙන දේ පෙනීම සහ නින්දේදී දැඩි ලෙස කැලඹ වීම වැනි ලක්ෂණ ඇතිවේ. ශරීරය වෙව්ලීම වැනි රෝග ලක්ෂණ ද මෙහිදී දැකිය හැකිය. මෙම රෝගීන් නින්දේදී සිහිනෙන් කෑගැසීම හෝ අත් පා වේගයෙන් විසි කිරීම වැනි ලක්ෂණ රෝගය වැලඳීමට වසර ගණනාවකට පෙර සිටම පෙන්විය හැකිය.

ෆ්‍රොන්ටෝ-ටෙම්පරල් ඩිමෙන්ෂියාව

මෙය සාමාන්‍යයෙන් අවුරුදු 45-65 අතර වයසේ අයට වැලඳේ. මෙහිදී මතකයට වඩා පුද්ගලයාගේ සමාජීය හැසිරීම් සහ පෞරුෂය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. බොහෝ විට රෝගියාට තමාගේ වෙනස් වීම් ගැන අවබෝධයක් නැති නමුත් පවුලේ අයට එය දැඩි මානසික පීඩනයක් ගෙන දෙයි.

ඩිමෙන්ෂියාවේ අවධීන්

රෝගියෙකු පත්වන තත්ත්වය කාලයත් සමඟ වෙනස් වේ. එනම්,

පූර්ව අවධිය – සුළු අමතක වීම්. එනම් මෙය සාමාන්‍ය වයසට යාමක් ලෙස පෙනේ.

මධ්‍යම අවධිය – තමන්ගේ ලිපිනය, දුරකතන අංකය අමතක වීම හා නෑමට හෝ ඇඳුම් ඇඳීමට උදව් අවශ්‍ය වීම.

අවසාන අවධිය – පවුලේ අය හඳුනා ගැනීමට නොහැකි වීම. එසේම කතා කිරීමේ හැකියාව නැති වීම හා ශාරීරිකව ඇඳටම සීමා වීම.

රෝග ලක්ෂණ සහ අනතුරු ඇඟවීමේ සලකුණු ලෙස අප අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු 10ක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇත. එනම්,

එදිනෙදා වැඩකටයුතුවලට බාධා වන අමතක වීම.

හුරුපුරුදු ක්‍රියාවන් (උදා: උයන ආකාරය) අමතක වීම.

භාෂාව පාවිච්චි කිරීමේදී වචන පැටලීම.

කාලය සහ ස්ථානය පිළිබඳ ව්‍යාකූලත්වය.

තීරණ ගැනීමේ හැකියාව පිරිහීම.

වියුක්ත චින්තනය දුර්වල වීම.

භාණ්ඩ අස්ථානගත කිරීම (යතුරු කුණු කූඩයට දැමීම වැනි).

මනෝභාවයන් සහ හැසිරීම්වල ක්ෂණික වෙනස්කම්.

පෞරුෂයේ වෙනස්කම්.

උද්‍යෝගය සහ උනන්දුව නැති වීම.

මෙය වළක්වා ගැනීමට නම් අප මේවා ගැන දැන සිටිය යුතුය. එනම්,

වයස

වයස අවුරුදු 65න් පසු අවදානම දෙගුණ වේ.

ජානමය බලපෑම

පවුලේ කෙනෙකුට තිබේ නම් සුළු අවදානමක් ඇත.

හෘද රෝග

අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මොළයේ සෛලවලට හානි කරයි.

දියවැඩියාව

ඉන්සියුලින් පාලනය නොවීම මොළයට අහිතකරයි.

දුම්පානය සහ මධ්‍යසාර

මේවා ස්නායු සෛල වේගයෙන් විනාශ කරයි.

මේවා පිළිබඳව දැනගෙන ඒවා වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය. එමඟින් මෙය පාලනය කර ගත හැකිය.

වැළැක්වීම ප්‍රතිකර්මයට වඩා උතුම් යන්න මෙහිදී අතිශයින්ම සත්‍යයකි. එහිදී,

මානසික ව්‍යායාම – චෙස් ක්‍රීඩා කිරීම, ප්‍රහේලිකා විසඳීම, පොත් කියවීම සහ අලුත් භාෂා ඉගෙනීම.

සමාජීය සබඳතා – තනිව සිටීම රෝගය වේගවත් කරයි. එමනිසා නිතර මිතුරන් සමඟ ගැවසෙන්න.

ආහාර පාලනය – ‘මධ්‍යධරණී ආහාර රටාව’ (පලතුරු, එළවළු, ඇට වර්ග, ඔලිව් තෙල්) අනුගමනය කරන්න.

ශාරීරික ව්‍යායාම – දිනකට විනාඩි 30ක් ඇවිදීම මඟින් මොළයට රුධිර සැපයුම වැඩි වේ.

ප්‍රමාණවත් නින්ද – නින්දේදී මොළයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් වේ.

රෝගියාට වඩා පීඩනයක් දැනෙන්නේ ඔහුව රැකබලා ගන්නා පුද්ගලයාටය. එමනිසා මෙසේ කරන්න. එනම්,

ආරක්ෂාව – නි‍ෙවස තුළ අනතුරු විය හැකි දේ (ගිනි පෙට්ටි, පිහි) ඉවත් කරන්න.

සන්නිවේදනය – ඔවුන් සමඟ තර්ක නොකරන්න. සරලව සිනහවකින් පිළිතුරු දෙන්න.

ලේබල් කිරීම – දොරවල් සහ බඩු බාහිරාදිය මත ඒවායේ නම් ලේබල් කරන්න (උදා: වැසිකිළිය, අල්මාරිය).

තවමත් ඩිමෙන්ෂියාව සම්පූර්ණයෙන්ම සුව කිරීමට ඖෂධ සොයාගෙන නැත. නමුත් රෝග ලක්ෂණ පාලනය කිරීමට සහ රෝගය පැතිරීම ප්‍රමාද කිරීමට ඖෂධ භාවිත කරනු ලබයි. මීට අමතරව, සංගීත චිකිත්සාව සහ මතක චිකිත්සාව මඟින් රෝගියාගේ මානසික සහනය වර්ධනය කළ හැකිය.

ඩිමෙන්ෂියාව යනු පුද්ගලයෙකුගේ මතකය පමණක් නොව, ඔවුන්ගේ ලෝකයම උදුරා ගන්නා රෝගයකි. අප කළ යුත්තේ ඔවුන්ව හුදෙකලා කිරීම නොව, ඔවුන්ගේ ඒ වියැකී යන මතකය තුළ ආදරණීය සෙවණැල්ලක් වීමයි. දැනුවත් සමාජයක් ලෙස අප ඔවුන්ගේ අත පටලවා ගත යුතුය.

 

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?