Monday, March 23, 2026
Epaper
Home විශේෂාංගහුස්ම නොමැති නමුත් යළි උපන් නැදුන්ගමුවේ හස්තිරාජයා

හුස්ම නොමැති නමුත් යළි උපන් නැදුන්ගමුවේ හස්තිරාජයා

by Shanaka Lakehouse

ආදරය, ගෞරවය සහ කෘතවේදීත්වය යන මානුෂීය ගු ණාංග සතෙකු කෙරෙහි කෙතරම් ප්‍රබලව එල්ල විය හැකිද යන්න පිළිබඳ අපූර්වත්වය විදහා පෑ සංවේදී අවස්ථාවක් ඉකුත් මාර්තු 10 වැනිදා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී දක්නට ලැබිණි.

ඒ, මීට සිවු වසරකට පෙර දැයෙන් සමුගත්, ආසියාවේ උසම හා හීලෑම හස්තිරාජයා ලෙස විරුදාවලිය ලත් නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ අභිමානවත් පුනරාගමනයයි. ජීවමාන හුස්ම පොද පමණක් අඩු වූ, එහෙත් විජය රාජාගේ පෙර තිබූ ඒ රාජකීය පෞරුෂය ඒ අයුරින්ම රැගත් අනුරුවක් දැකබලා ගැනීමට එදින රැස්ව සිටි පිරිසට අවස්ථාව උදා විය.

දශක දෙකක පමණ දීර්ඝ කාලයක් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ වංශකතාවට නොමැකෙන සලකුණු එක් කළ නැදුන්ගමුවේ විජය රාජා හස්තියා, අඛණ්ඩව 13 වරක් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ මහා කරඬුව වැඩම කරවීමේ අති උදාර භාග්‍යය හිමි කර ගත්තේය. වර්ෂ 2022 මාර්තු 7 වැනිදා විජය රාජා හස්තියා අවසන් හුස්ම හෙළුවද, ජීවත්ව සිටියදීම ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීමට තරම් මේ හස්තියා වාසනාවන්ත විය. ඒ හේතුවෙන්, මරණයෙන් මතු ද අනාගත පරපුරට සහ පොදු ජනතාවට දැකබලා ගැනීම සඳහා හස්තියාගේ ශරීරය සංරක්ෂණය කළ යුතු යැයි හස්තියාගේ භාරකරු වූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා විසින් කරන ලද යෝජනාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ පූර්ණ එකඟතාව හිමි විය. එම භාරදූර වගකීම යථාවත් කිරීමේ කාර්යය රජය විසින් පවරනු ලැබුවේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවටය.

මෙරට ඓතිහාසික හා ස්වාභාවික උරුමයන් සංරක්ෂණය කර අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ජාතික වගකීමට උරදී සිටින ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මියගේ සෘජු මෙහෙයවීම යටතේත්, ජාතික ස්වාභාවික විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම සංරක්ෂණ ක්‍රියාවලිය ඇරඹිණි. එම විෂය පිළිබඳ මනා නිපුණත්වයක් ඇති ප්‍රවීණයන් හා කාර්ය මණ්ඩලය සිවු වසරක් පුරා දහදිය හෙළමින්, නිදි වරා කරනු ලැබූ අප්‍රතිහත කැපවීමෙහි හා වෙහෙසෙහි අග්‍රඵලය ලෙස නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුව කොළඹ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ අස්ථි අංශයේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට හැකි විය.

සංරක්ෂිත අනුරුව මුල්වරට ඇස ගැටුණු මොහොතේදී, රාජා හස්තියාගේ භාරකරුව සිටි වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා ඇතුළු පවුලේ උදවියගේත්, වසර ගණනාවක් පුරා හස්තියාගේ සෙවණැල්ල මෙන් රැඳී සිටි විශ්වාසවන්ත රැකවලා වූ ‘කළු මාමා’ගේත් දෑස් තුටු කඳුළින් බොඳව ගියේ නිතැතිනි. එය එහි රැස්ව සිටි සියලු දෙනාගේ දෑස් තුටු කඳුළින් ද හදවත් සොම්නස් සුසුම් දහරාවක් ජනිත කළ අතිශය හැඟීම්බර අවස්ථාවක් විය. වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා විජය රාජා හස්තියා සමඟ ගත කළ අතීතය සිහිපත් කරමින් පැවසූ වදන් ඒ හැඟීම්බර බව තවත් තීව්‍ර කළේය.

“මෙය ඇත්තටම අපේ හිතට ලොකු වේදනාවකුත් ඒ වගේම ලොකු සතුටකුත් දැනෙන අවස්ථාවක්. හස්තියා අප අතරින් සමුගෙන යාම විශාල කනගාටුවක් වුවත්, මේ ආකාරයට ඔහු නැවත අප ඉදිරියේ ජීවමානව ප්‍රතිනිර්මාණය වීම ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා. හස්තියා මිය ගොස් වසර 4කට පසු යළි ඉපදුණා වගෙයි මට දැනෙන්නේ. මම හිතන්නේ මේ අනුරුවේ අඩු වෙලා තියෙන්නේ හුස්ම වැටෙන එක විතරයි. එච්චරයි තියෙන එකම වෙනස. කවදා හරි මේ කෞතුකාගාර ගොඩනැඟිල්ල පවතින තාක් කල් අපේ රාජාගේ මේ රුව පවතීවි. හුස්ම නැතිව ඉතිරි සියල්ල ඒ අයුරින්ම ලබා දෙන්නට වෙහෙසුණු ඒ නිලධාරී කණ්ඩායමට මම හදවතින්ම පින් දෙනවා.” ඔහු නිහතමානීව ඒ කෘතවේදීත්වය පළ කළේ සමස්ත කාර්ය මණ්ඩලයට හා මූල්‍ය දායකත්වය දැරූ ශ්‍රී ලංකා රජයටයි.

මෙම අසිරිමත් අවස්ථාව පිටුපස ඇති සැබෑ කතාව වන්නේ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා හස්තියා කෙරෙහි දැක්වූ පීතෘ ස්නේහයයි. “අලි ඇතුන්ට හාම්පුතෙක් වගේම ඔවුන්ව රැකබලා ගන්නා බාස්උන්නැහැ කෙනෙක් සිටිය යුතුයි. නමුත් ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. අප වැනි අලි හාම්පුතුන් දවල් කාලයේ රැකියාවල් සඳහා නිවසින් බැහැරව සිටින විට, නිවසේ සිටින භාර්යාවගෙන් ලැබෙන සහයෝගය අතිමහත්. ඇය “මට මේ තරම් උයන්න බැහැ, මේ අයට කන්න දෙන්න බැහැ” කියා මැසිවිලි නැඟුවොත් කවදාවත් මේ වගේ සතුන්ව රැකගන්න ලැබෙන්නේ නැහැ. මගේ බිරියත් අද මේ උත්සවයට ලස්සනට ඇඳ පැලඳ ආවාට, ඇය ගෙදරදී මේ සතුන් වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. ඒ වගේ තමයි රියැදුරු මහතා. ඔහු 1983 වසරේ සිට වසර තිස් ගණනක් පුරා දිනකට කිලෝ 350ක් පමණ බරැති පොල් අතු හා කිතුල් කොට තම ට්‍රැක්ටරයෙන් ඇදීම තමයි ප්‍රධාන රාජකාරිය කර ගත්තේ.”

ඇතා බලාගත් විල්සන් කොඩිතුවක්කු බාස්උන්නැහේ දැන් සුවසේ ගමේ පසුවන අතර, ඔහු මාලිගාවෙන් මෙන්ම ධර්මවිජය මහතා විසින් ද රැකබලා ගනු ලබයි. විජය රාජා හස්තියාගේ ආරක්ෂාව පිළිබඳව ද ඔහු අතීත මතකයක් සිහිපත් කළේය. “අපේ රාජා පාරේ යනකොට හරිම අභිමානයෙන් ගියේ. ඔහු කාටවත් කිසිම හිරිහැරයක් කළේ නැහැ. එයා හරිම වාසනාවන්ත සත්ත්වයෙක්. 2020 දී ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් වුණා. වසර 13ක් මාලිගාවේ කරඬුව වැඩම කළා. සමහර විට එයා ඒ සතෙකු වී උපදින අවසන් ආත්මය වෙන්නත් පුළුවන්. අපේ පවුලේ අය ඔහු වෙනුවෙන් අවුරුදු විසි ගාණක් කිසිවෙකුට කරදරයක් නැතිව යුතුකම් ඉටු කළා. ඒ ගැන අපට ලොකු සතුටක් තියෙනවා.”

හස්තියාගේ අභාවය ගැන පවසද්දී වෛද්‍යාචාර්යවරයාගේ හඬ මඳක් හැඟුම්බර විය. “ඇතා මිය ගියේ නියමිත ආයු කාලය ගෙවලා මිසක් අකාලයේ නෙවෙයි. අවසාන කාලයේ ඔහුට පොඩි හතියක් තිබුණා. එය හෘදය දුර්වල වීම නිසා සිදු වූ හෘදයාබාධයක්. අද ඔහු හුස්ම නැතුව යළි ඉපදිලා ඉන්නවා.”

විජය රාජා සමඟ යොදුන් සිය දහස් ගණනක් පා ගමනින් ගිය ඔහුගේ විශ්වාසවන්තම රැකවලා වූ ‘කළු මාමා’ ද අනුරුව ඉදිරියේ නිහඬව බලා සිටිනු අපට දැකගත හැකි විය. “කළු මාමේ, අද මොනවද හිතෙන්නේ?” කියා විමසූ විට ඔහුගේ දෑසින් කඳුළක් රිංගා ගියේ නිරායාසයෙනි. “සතුටුයි, මගේ ඇතා ජීවමාන විදිහටම ඉන්නවා. කිසිම අඩුවක් නැහැ, හරිම ලස්සනට හදලා තියෙනවා” යැයි ඔහු කීවද, ඒ හඬ තුළ විප්‍රයෝගයේ වේදනාව ගැබ්ව තිබිණි. වීදුරු කුටියක් තුළ සදාකාලිකව නතර වූ තම හිතමිතුරා දෙස කළු මාමා බලා සිටි ඒ දසුන අතිශය දුක්බර විය.

දළදා සමිඳුන්ගේ කරඬුව වැඩම කළ ඒ අසහාය හස්තිරාජයාගේ රුව දැක සැනසීමට කැමති සියලු දෙනාට දැන් කොළඹ ජාතික කෞතුකාගාරය වෙත පැමිණිය හැකිය. සඳුදා දින හැර සතියේ සෑම දිනකම උදෑසන 9 සිට පස්වරු 5 දක්වා මෙම අසිරිමත් උරුමය නැරඹීමට අවස්ථාව විවෘතව පවතී.

 

TEXT – සුරේකා නිල්මිණි ඉලංකෝන්

PIX BY – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?