ජීවිතය කියන්නේ මහ පුදුමාකාර එකක්. අනාගතය කොයියම් ආකාරයෙන් විය යුතුදැයි අපි දහසකුත් එකක් සැලසුම් ඇන්දත්, ඒවා ක්ෂණයකින් අකාමකා දමන්නට ඕනෑම සිද්ධියකට පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපේ සැලසුම් විනාශ වන්නේ පුද්ගල මැදිහත්වීම් නිසා බවයි. ඒත් ඇතැම් සිදුවීම් නිසා ඇති වන විශාල බිඳවැටීම් අපේ ජීවිතවලට දැඩි ලෙස බලපෑම් කරන්නට පුළුවන්. ඒ සිදුවීම් අපේ රටේම විය යුතු නැහැ. ලෝකෙ කොහේ වුණත් ඒවා අපේ පෞද්ගලික ජීවිතයටත්, ආර්ථිකයටත් බලපාන බව අද වන විට රහසක් නෙවෙයි.
එවැනි බරපතළ සිදුවීමකට තමයි අද ලෝකවාසී අප සැවොම මුහුණ දී සිටින්නේ. ඒ ඇෙමරිකානු – ඉරාන යුද ගැටුමයි. දියුණු, නොදියුණු, දුප්පත්, පොහොසත්, සියලුම රටවල් පවා මේ යුද්ධයෙන් බැට කන බවක් දක්නට ලැබීම සැබැවින්ම පුදුම සහගතයි. යුද්ධය පවතින්නේ ඈත දේශයක වුවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල ඉහළ යෑම, භාණ්ඩ හිඟය සහ ආර්ථික අවපාතය අපේ කුස්සියට පවා එබිකම් කරයි.
මෙවැනි අර්බුදකාරී කාල වකවානුවකදී, ගෘහයේ කළමනාකාරිනිය වන ගෘහිණිය වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනය, ආහාරපාන සහ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන අතරම, පවතින සීමිත ආදායමට අනුව වියදම් පාලනය කර ගනිමින් නිවෙස සැලසුම් කිරීම ඇගේ ප්‍රධාන වගකීමක්.
වියදම් පාලනය සහ පූර්ව සැලසුම්
මෙවැනි අවස්ථාවක අනවශ්‍ය වියදම් කපා හැරීම අත්‍යවශ්‍යයි. “අතේ ඇති මුදලට වඩා එක රුපියලක් හෝ අඩුවෙන් වියදම් කිරීම” ගෘහණියකගේ දක්ෂතාවයයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් මිලදී ගැනීමටත්, නාස්තිය අවම කිරීමටත් ඇය වගබලා ගත යුතුයි. විශේෂයෙන් ගෙවතු වගාව වැනි දේ කෙරෙහි යොමු වීමෙන් ආහාර වියදම සෑහෙන දුරකට අඩු කර ගත හැකියි.
දරුවන්ගේ අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය
ලෝකයේ කුමන අර්බුද පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඩාළ වීමට ඉඩ නොදිය යුතුය. පාසල් උපකරණ සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීමේදී වඩාත් අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට දරුවන් ද හුරු කළ යුතුය. එමෙන්ම, ලෝක තත්ත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරමින්, අනවශ්‍ය බියක් ඇති නොවන පරිදි ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීමට මවක් ලෙස ඇයට විශාල කාර්යභාරයක් පැවරේ.
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව
ඖෂධ මිල ඉහළ යන සහ හිඟ වන මෙවැනි කාලයක, පවුලේ සැමගේ සෞඛ්‍යය නීරෝගිව පවත්වා ගැනීම ඉතා වැදගත්. නිසි පෝෂණයෙන් යුත් ආහාර වේලක් ලබා දීමෙන් පවුලේ සාමාජිකයන් ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගත හැකියි. මෙය අනවශ්‍ය වෛද්‍ය වියදම් ඉතිරි කර ගැනීමටද මඟකි.
අවසාන වශයෙන්, ලෝකය කෙතරම් අස්ථාවර වුවත්, දක්ෂ ගෘහිණියකට තමන්ගේ නිවෙස සුරක්ෂිත තොටුපළක් බවට පත් කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි සැලසුම, ඉවසීම සහ කැපවීම පමණි.
