Monday, March 23, 2026
Epaper
Home විශේෂාංගමම අභියෝග භාර ගන්න කැමැති කෙනෙක්

මම අභියෝග භාර ගන්න කැමැති කෙනෙක්

යොවුන් නිවේදිකා බුද්ධි නාකන්දල

by Shanaka Lakehouse

ජාතික රූපවාහිනියේ වැඩසටහන් කිහිපයක් සමඟ මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාශීලීව කටයුතු කරන තරුණ නිවේදිකාවක් ලෙස ඇය අද බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන සිටියි. මෙවර තරුණී කවරය සරසන්නේ ඇගේ රුවෙනි. ඇය නව යොවුන් නිවේදිකා බුද්ධි නාකන්දල ය.

පෞද්ගලික රූපවාහිනි නාළිකා රැසක නිවේදිකාවක ලෙස පුහුණුව ලබමින් ඉදිරියට පැමිණි බුද්ධි අද වන විට ජාතික රූපවාහිනී නුග සෙවණ නිවේදිකාව ලෙස ජනප්‍රියයි.

නිවේදනය පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් ලබාගෙන මෙම ක්ෂේත්‍රයට පිවිසීම ඇයගේ විශේෂත්වයකි. මුලින්ම ඇය නිවේදනය හැදෑරුවේ හරේන්ද්‍ර ජයලාල් ගුරුවරයා යටතේය. ඉන්පසු ජාතික රූපවාහිනිය මඟින් පැවත් වූ පාඨමාලාවක් ද ඇය හදාරා ඇත.

ඇයගේ පළමු වැඩසටහන වූයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ“අලුත් දිනක්” වැඩසටහනයි. ඇගේ විශේෂත්වය වූයේ ඉදිරිපත් කළ වැඩසටහන් බොහොමයක් සජීවී වැඩසටහන් වීමයි. අත්දැකීම් අඩුවෙන් තිබූ කාලයකදීම සජීවී වැඩසටහනක් හරහා නිවේදන ගමන ආරම්භ වීම ඇයගේ වෘත්තීය ගමනට විශාල අත්දැකීමක් එකතු කළේය.

ක්ෂේත්‍රයට පැමිණ අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයකින් රටක් හඳුනන නිවේදිකාවක් වීමට හැකි වීම ඇය ලද භාග්‍යයකි.

පාසල් අධ්‍යාපනය සඳහා ඇය මුලින්ම මාතලේ සංඟමිත්තා විද්‍යාලයටත් අනතුරුව මාතලේ ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයෙනුත් සිප්සතර හැදෑරීය. අවසානයේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළට භාෂා විෂය ධාරාව හදාරමින්

ඇය තම අධ්‍යාපනය සම්පූර්ණ කළාය. පාසල් කාලයේදී මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වීමක් සිදු නොවූ අතර, නිවේදිකාවක් වීමේ විශේෂ හීනයක්ද ඇයට තිබී නැති බව ඇය සිනහවෙන් පවසයි. පාසල් කාලයේදී ඇය ක්‍රීඩා කටයුතුවලද සක්‍රීයව සම්බන්ධ වූවාය. එම නිසා ජීවිතයේ ඉලක්ක වෙත යාමට අවශ්‍ය අධිෂ්ඨානය සහ කැපවීම පාසල් කාලයේදීම තමන්ට ලැබුණු බවද ඇය සඳහන් කරයි.

ළමා කාලයේ අයට හීන කිහිපයක්ම තිබුණි. නීතිඥවරියක් වීමේ සිහිනයක් තිබූ නිසා නීති අධ්‍යයනය ද කළාය. එමෙන්ම කැබින් කෲ වෘත්තිය පිළිබඳව ද උනන්දුවක් තිබූ බැවින් ඒ සම්බන්ධ පාඨමාලාවක්ද ඇය සම්පූර්ණ කළාය. මේ අතරතුර ඇය NSBM කැම්පස්හි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක්ද හදාරමින් සිටීයි. ඒ සියල්ල අතරතුර නිවේදනය පිළිබඳ පාඨමාලාද හදාරමින් ඇය අද නිවේදිකාවක් ලෙස තම ගමන ඉදිරියට ගෙන යයි.

“මම එක රාමුවකට කොටු වෙලා ඉන්න කැමැති නැහැ. වයස යන්න කලින් හැමදේම ඉගෙන ගන්නයි මට ඕනේ,” යැයි ඇය පවසුවාය. ඒ නිසාම තම හීන එකවර නොව, එකින් එක ඉටු කර ගැනීමට උත්සාහ කරන බවද ඇය කීවාය.

මහනුවර ඇයගේ ගම වුවද මේ වන විට කොළඹ ජීවත් වෙමින් අය සිය වෘත්තිය ගමන ගෙනයයි. කොළඹට පැමිණ අවුරුදු හයකට ආසන්න කාලයක් මේවන විට ගත වී ඇත. බුද්ධි පවුලේ එකම දරුවායි. ඇයගේ පියා අජිත් නාකන්දල සහ මව වසන්තා කුමාරි ඇයට විශාල සහයෝගයක් ලබා දෙති.

“එයාලා කවදාවත් මට බල කරලා නැහැ. මම කරන දේට එයාලා අද ගොඩක් සතුටු වෙනවා,” යැයි ඇය සතුටින් පවසූවාය.

ක්ෂේත්‍රයේ අභියෝග තිබුණත් ඒවාට තමන්ට හැකි අයුරින් මුහුණ දීමට ඇය පුරුදු වී සිටියි. විවිධ පුද්ගලයන් හමුවෙමින්, ඔවුන්ගෙන් ඉගෙන ගනිමින් සහ අත්දැකීම් එකතු කරමින් තම නිවේදන කුසලතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ඇය උත්සාහ කරයි.

“මගේ ළඟම යාළුවො පස්දෙනෙක් ඉන්නවා. යසස්, අමායා, ඉමායා, රුවීනා, ගයනි. මේ අය නිරන්තරයෙන් මාව දිරිමත් කරනවා. රුවීනා මගේ මුල්ම රැකියාවේදී හඳුන්වා ගත් මිතුරියයි.

මගේ අක්කා වගේ ළඟ ඉඳගෙන නිතර ඔවදන් දෙමින් මා දිරිමත් කිරීමත් මේ හැමෝම ළඟ හිඳීමත් මට මාර හයියක්.”

කෙටි කාලයකින් මාධ්‍ය ක්ෂේත්‍රයේ දීප්තිමත් ගමනක් පැමිණ බුද්ධි නාකන්දල නම් ස්වරූපී නව යොවුන් නිවේදිකාවට තම වෘත්තීය ජීවිතය තවත් දියුණු කර ගැනීමට තරුණී අපෙන් ද සුබපැතුම්.

 

PIX BY – ශාන් රූපස්සර

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?