ලක්ෂපාන දිය ඇල්ල
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සැඟවුණු සොඳුරුතම ඉසව් සොයා යන සංචාරකයකුට හමුවන අතිශය මනරම් දිය ඇල්ලක් වන්නේ ලක්ෂපාන දියඇල්ලයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළයට අයත් මස්කෙළිය ඔයේ අතු ගංගාවකින් නිර්මාණය වන මෙම දියඇල්ල, උසින් මීටර 126ක් (අඩි 413ක්) පමණ වන අතර එය ලංකාවේ උසම දිය ඇලි අතරින් 8 වැනි ස්ථානය දිනා ගනී.
සොඳුරු ඉසව්වක අසිරිය
ලක්ෂපාන දියඇල්ල පිහිටා ඇත්තේ මනරම් සප්ත කන්‍යා කඳුවැටියට මායිම්වය. ඈතින් පෙනෙන මීදුමෙන් වැසුණු කඳු මුදුන් සහ අවට ඇති හරිත වර්ණ තේ වතු යායන් දියඇල්ලේ සුන්දරත්වයට එක් කරන්නේ අපූර්ව අලංකාරයකි. දියඇල්ලේ ඉහළ සිට පහළට ඇදහැලෙන ජලකඳ ප්‍රපාතයේ ගල්කුළුවල වැදී විසිරී යන ආකාරය හරියට රිදී සළුවක් කන්ද පාමුල දිග හැරියාක් මෙනි.
දිය ඇල්ලට පිවිසෙන මඟ
කොළඹ සිට ලක්ෂපාන වෙත ගමන් කරන සංචාරකයකුට ප්‍රධාන මාර්ග දෙකක් භාවිත කළ හැකිය:
හැටන් හරහා: කොළඹ සිට හැටන් කරා පැමිණ, පසුව මස්කෙළිය මාර්ගයේ ගමන් කර නෝර්ටන් බ්‍රිජ් හරහා ලක්ෂපානට ළඟා විය හැකිය.
ගිනිගත්හේන හරහා අවිස්සාවේල්ල – ගිනිගත්හේන මාර්ගයේ පැමිණ, කළුගල හන්දියෙන් හැරී ලක්ෂපාන මාර්ගය ඔස්සේ ද මෙහි පැමිණිය හැකිය.
දිය ඇල්ලේ පාමුලටම ගමන් කිරීම සඳහා පඩිපෙළක් සහිත මාර්ගයක් සකසා ඇති අතර, එම ගමන මඳක් වෙහෙසකර වුවද අවසානයේ දකින්නට ලැබෙන දර්ශනය එම වෙහෙස නිමේෂයකින් නිවා දමයි.
ඉතිහාසය සහ නාමයේ අරුත
“ලක්ෂපාන” යන නාමය සෑදී ඇත්තේ “ලක්ෂයක් පහන්” යන්නෙන් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. තවත් මතයකට අනුව මෙහි ඇති ගල්කුළු මතින් ජලය කඩා හැලෙන විට ඇතිවන ශබ්දය සහ දර්ශනය පදනම් කරගෙන මෙම නම ලැබී ඇත. 1950 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරෙන්ද්‍ර බලාගාරය සඳහා ජලය ලබා ගන්නේ ද මෙම දියඇල්ල නිර්මාණය කරන මස්කෙළිය ඔයෙනි.
සංචාරකයන් සඳහා විශේෂ උපදෙස් සුපරීක්ෂාකාරී වන්න: වැසි කාලයට දියඇල්ලේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් දිය නෑමේදී අතිශයින්ම සැලකිලිමත් විය යුතුය.
පරිසරය සුරකින්න: මෙම සංවේදී පරිසර පද්ධතියට හානි වන අයුරින් ප්ලාස්ටික් හෝ පොලිතීන් බැහැර කිරීමෙන් වැළකී සිටීම අප සැමගේ වගකීමකි.
ඡායාරූපකරණය
දියඇල්ලේ සම්පූර්ණ දර්ශනයක් ලබා ගැනීමට නම් දියඇල්ලට යන මාර්ගයේ පිහිටි නිරීක්ෂණ කුටි (Observation points) වඩාත් සුදුසු වේ.
වර්තමානයේ ලක්ෂපාන දියඇල්ල සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය වීමට මේ Rope Jumping (රෝප් ජම්පින්) ක්‍රීඩාව විශාල හේතුවක් වී තිඛේ. විශේෂයෙන්ම Marvel Travel කණ්ඩායම විසින් හඳුන්වා දුන් මෙම අත්දැකීම නිසා දැන් ලක්ෂපාන කියන්නේ හුදෙක් සුන්දරත්වය නරඹන තැනක් පමණක් නොවෙයි, එය ත්‍රාසජනක ක්‍රීඩාවලට (Adventure Sports) ලැදි පිරිස් අතර ගමනාන්තයක් බවට පත්වී තිබෙනවා. දියඇල්ලේ ඉහළ ප්‍රපාතයක සිට පහළට පැනීමට මෙහිදී අවස්ථාව ලැබෙන අතර, මෙය ලංකාවේ මෙවැනි අත්දැකීමක් විඳගත හැකි සුවිශේෂීම ස්ථානයකි. ආරක්ෂිත උපාංග සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන මෙම ක්‍රීඩාව නිසා දේශීය මෙන්ම විදේශීය තරුණ පිරිස් ලක්ෂපාන වෙත ඇදීඒමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. දියඇල්ලේ ගිගුම් දෙන හඬත්, සීතල මීදුමත් මැදින් ගුවනේ පාවී යන මෙම අත්දැකීම සංචාරකයෙකුගේ ජීවිතයට කිසිදා අමතක නොවන මතකයක් එක් කරයි.
ලක්ෂපාන යනු හුදෙක් දියඇල්ලක්ම පමණක් නොවේ. එය ස්වභාවධර්මය විසින් අපට දායාද කළ අමිල වස්තුවකි. ඔබ තවමත් මෙම සොඳුරු ඉසව්වට නොගියේ නම්, මීළඟ සංචාරයේදී ලක්ෂපාන අසිරිය විඳගන්නට අමතක නොකරන්න.
TEXT – පූර්ණිමා ඉන්දීවරී
