සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙළා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ
මවක සහ දියණියක අතර ඇති වන මේ ගීතමය සංවාදය නෑසූ කෙනෙක් අපේ රටේ සිටිය නොහැකි තරම්ය. අම්මා කෙනෙක් තරම් දියණියකට ජීවිතය කියා දෙන ගුරුවරියක් තවත් නැත. ඉඳින් මෙවර තරුණී ‘අම්මාවරුනේ’ විශේෂාංගය හරහා අප හා කතාබහට එක් වුණේ මේ ගීතයේ කියවෙන පුංචි මල් කුමාරියයි. ඇය අන් කවරෙක් හෝ නොව සිය මෑණියන් වන ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නිර්මලා රණතුංග සමඟ ‘සිනා මල් ගොඩක්’ ගීතය ගායනා කරන සෙව්වන්දි රණතුංගයි. ඇය සිය මෑණියන් ගැන දැක්වූ ආදරණීය අදහස්වලින් මෙවර අම්මාවරුනේ විශේෂාංගය රසවත් වෙයි.
“අපේ අම්මා කවුරුත් දන්නා හඳුනන රටේ ජනප්‍රිය ගායිකාවක්. ඒත් මං පුංචිම කාලේ ඇයව දැක්කේ සාමාන්‍ය කෙනෙක් විදිහටයි. ඒ වුණත් කෙමෙන් කෙමෙන් වයසින් වැඩෙද්දී මං ජීවත් වන්නේ සාමාන්‍ය පරිසරයට වඩා වෙනස් පරිසරයක බව වටහා ගත්තා. මං ජනප්‍රිය පවුලක ජීවත් වන බව මට වැටහුණා. අපේ අම්මා, තාත්තා කොතරම් රටේ ජනප්‍රිය චරිත වුණත් එය ඔළුවේ තබාගෙන කටයුතු කළේ නෑ. ඉතින් මමත් ඔවුන් අනුවම යමින් සාමාන්‍ය දැරියක් ලෙස හැදී වැඩුණා.
අපේ අම්මි හැම තිස්සෙම මුල් තැන දුන්නේ පවුලට. තාත්තා කාර්යබහුල වෙද්දී අම්මි, මමයි
අයියගෙයි වැඩ කටයුතුවලට මුල් තැනක් දුන්නා. ඉතින් අම්මියි තාත්තයි දෙන්නාම අපිට කිසිම අඩුපාඩුවක් කළේ නෑ. ඒත් අම්මි නිතරම අපව ළඟින් තියාගෙන ආදරයෙන් රැකබලා ගත්තා. ඇයට ක්ෂේත්‍රයේ ලැබුණු අවස්ථා පවා අප දෙදෙනා නිසා අත්හල අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඉතින් ඇය එවන් කැප කිරීම් කරමින් අපව උස් මහත් කළා”.
සිය මව හා බැඳුණු මතක පොතේ මතක කිහිපයක් සෙව්වන්දි රණතුංග අප හමුවේ තැබුවේ මේ ආකාරයෙනි.
“අම්මිගේ හොඳම යාළුවා වුණේ මං. මගෙ හොඳම යාළුවා වුණෙත් අම්මි. ඒ වගේ ප්‍රේමනීය බැඳීමක් අප අතර දැනටත් තියෙනවා. අම්මා කෙනෙක් සහ දුවක අතර තියෙන බැඳීමකට එහා ගිය බැඳීමක් අප අතර තිබෙන බව කිව යුතුයි. ඇත්තටම මගේ ඕනෑම දෙයක් ඇයට කියන්නට මට අවස්ථාව තිබෙනවා. ඇයට මං වෙනුවෙන් ලබා දෙන්නට ඕනෑ තරම් කාලය පවා තිබුණා.
මං මගේ ජීවිත කාලය පුරාම මගේ අම්මිවයි තාත්තවයි අඬවලා නෑ. ඒත් මං විවාහ වෙලා ගෙදරින් ගිය දවසේ අම්මි වගේම තාත්තත් ගොඩාක් ඇඬුවා. මං නිසා පළමුවරට ඔවුන්ගේ ඇස්වලින් කඳුළක් වැටුණේ එදා. මං විවාහ වෙලා ගෙදරින් පිට වුණු වෙලාවේ අම්මි මගේ කාමරයට ගිහින් කෑගසමින් හැඬූ බව මට දැනගන්නට ලැබුණා.
ඉතින් මං විවාහ වෙලා ගෙදරින් ගියාට පස්සේ හැම සති අන්තයකම අම්මිවයි තාත්තවයි බලන්නට ගෙදර යෑම පුරුද්දක් කරගත්තා. ඒත් එක සති අන්තයක මට ගෙදර යන්නට බැරි වුණා. ඒ කාලේ අපේ ගෙවල්වල දුරකතන තිබුණේ නෑ. ඉතින් ගෙදර නොඑන බව දැනුම් දෙන්නට මට නොහැකි වෙනවා. ඉතින් එදා අම්මි පුරුදු විදිහට මං එනතුරු බලා ඉඳ තිබුණේ ආහාරපාන ආදිය පවා සකස් කරගෙනයි. එදා අම්මිගේ හිතට දැනුණු හැඟීම කවි පන්තියකින් ප්‍රකාශ කර තිබුණා. ඒ කවි පෙළ නම් කර තිබුණේ ‘සති අන්තේ ගෙදර නාව මගේ පුංචි දුවට’ යනුවෙන්”.
හිරු අවරට ඇදී අඳුරට
ළං වෙනවා
එතැයි ඔබ එතැයි හදවත මුමුනනවා
දහසක් සිතුවිලි සිත තුළ
පොරකනවා
දෙපයට සවිය ගෙන
මඟ බැලුමට යනවා
හේතුව කිමද සිත පැන
පොඩි විමසනවා
සුන් වූ පැතුම් සුසුමක් වී
පිටවෙනවා
බලාපොරොත්තුව
මොහොතක රජයනවා
අද නාවත් හෙට එන බව පවසනවා
දහවල පිසූ රස මසවුළු වියැළෙනවා
කීමට ඇති තතුත් සිත තුළ ගුළිවෙනවා
සියුමැලි මුහුණ සැණින්
හද මතුවෙනවා
දෙනෙත් කෙවෙනි අග
කඳුළක් උපදිනවා
ලොකු ගැහැනියක වී
දීගෙක ගියත් දුවේ
අදත් මතුත් ඔබ සුරතල්
දෝණි මගේ
ළඟ නොසිටියත් ළඟ දැවටෙන බවම හැඟේ
මගෙ දිවි තිබෙන තුරු මට මැණිකකි මගේ දුවේ
නිර්මලා රණතුංග සිය දියණියට ලියූ පදවැල් අපට පසක් කරන්නේ දියණියක කෙරේ මවක සතු සැබෑ අව්‍යාජ සෙනෙහසේ තරම නොවේද?
අනතුරුව, ජනප්‍රිය ගායිකාවකගේ දියණිය වූ නිසාම සමාජයෙන් ලැබුණු ගෞරවය සහ පිළිගැනීම ගැන සෙව්වන්දි රණතුංග අදහස් පළ කළේ මේ ආකාරයෙනි.
“මං පාසල් යන සමයේ බොහෝම නිහඬ චරිතයක්. මං කාගේ කවුදැයි කියන වග පාසලේ කවුරුත් දන්නා නමුත් මං එය පෙන්වමින් කටයුතු කළේ නෑ. ඒත් පසුකලෙක මගේ මවුපියන්ගේ ජනප්‍රියත්වය නිසා සමාජයෙන් මට ලැබුණු වටිනාකම් කියා නිම කළ නොහැකියි. ඒ අනුව සමාජයෙන් නිබඳවම මට ලැබුණේ ආදරය මුසු වූ ගෞරවනීය පිළිගැනීමක්”.
සෙව්වන්දි, සිය මව සමඟ පළමු වරට රසිකයන් ඉදිරියේ එළිමහන් ප්‍රසංගයක ගීයක් ගැයූ දිනයේ මතකය අවදි කළේ මේ ආකාරයෙනි.
“මං ගීත ගායනයට පිවිසුණේ අවුරුදු හයේදී. ඒ අතරිනුත් මං අම්මා සමඟ එළිමහන් සංගීත ප්‍රසංගයක එක්ව ගී ගැයූ දවස අමතක වන්නේ නෑ. චරිත් වැලිවත්ත විසින් කිරිල්ලවල නගරයේ සංවිධාන කළ ‘Flashback Semi Acoustic Live in Concert’ නම් සංගීත ප්‍රසංගයේදී මට ඒ අවස්ථාව හිමි වුණා. එදා මං අම්මිත් එක්ක විශාල රසික පිරිසක් ඉදිරියේ ‘සිනා මල් ගොඩක්’ ගීතය ගායනා කළා. ඒත් මං ඊට පෙර සාදවලදී අම්මිත් එක්ක ගීත ගායනා කර තිබෙන බව කිව යුතුයි”.
ගායිකාවක ලෙස, මවක ලෙස ජීවිතයේ විවිධ කඩඉම් පසුකරද්දී සිය මවගෙන් ලැබුණු පන්නරය ගැන සෙව්වන්දි රණතුංග කියා සිටියේ මෙබන්දකි.
ඇත්තටම මං ඉදිරියට අරගෙන යන්නේ අම්මාගෙන් මට ලැබුණු යහපත් ගුණාංග. දියණියක ලෙස මං අම්මා දෙස බලාගෙන ජීවිතයේ හොඳ ගුණාංග ඉගෙන ගත්තා. මං වෙනුවෙන් මගේ අම්මි කළ කැප කිරීම මං දැක්කා. ඒ හා සමානවම මගේ ජීවිතයේත් මං මුල් තැන දෙන්නේ මගේ දරු දෙදෙනා ඇතුළු මගේ පවුලට.
ජීවිතයේ ඇති වන සුළු හෝ ප්‍රශ්නයකදී සිය මව ඇය සමඟ කටයුතු කළ ආකාරය අප සමඟ කියා සිටියේ මේ ආකාරයෙනි.
“මට ජීවිතයේ මොන ප්‍රශ්නය ආවත් මං මුලින්ම කියන්නේ මගෙ අම්මිට. ඇත්තටම ප්‍රශ්නයකදී අම්මිගෙන් ලැබෙන වචනය පවා සැනසීමක්. දැන් මගේ ජීවිතයට අම්මි වගේම මගේ ආදරණීය සැමියාත් ලොකු ශක්තියක් වන බව කිව යුතුයි. ඒත් එදා ඉඳන් අද වන තුරුත් මගේ ප්‍රශ්නවලට සැනසුම ගෙන දෙන ශක්තියක් ලෙස අම්මා මගෙ පිටුපසින්ම සිටියා. ඉතින් අදටත් ඒ ශක්තිය මගේ ජීවිතයට විසල් ආලෝකයක් ගෙන දෙන බව කිව යුතුයි.”
TEXT – ආර්.පී. මිහිරාන්
