Monday, March 23, 2026
Epaper
Home විශේෂාංගආකර්ෂණ නීතියෙන් ජීවිතය පහසුවෙන් ජය ගනිමු

ආකර්ෂණ නීතියෙන් ජීවිතය පහසුවෙන් ජය ගනිමු

by Shanaka Lakehouse

ඔබ ජීවත් වන්නේ ජීවිතය පිළිබඳ කලකිරීමකින් නම්, ජීවිතයට චෝදනා කරමින් නම්, අනෙක් අයට වෛර කරමින්, ඊර්ෂ්‍යා කරමින් නම්, ජීවිතය පිළිබඳ දුකකින් පසුතැවීමකින් නම්, ජීවත් වන්නේ ඕනෑවට එපාවට නම්, ඔබේ ජීවිතයට අනාදරයෙන් ක්‍රියා කරන්නේ නම් ඔබේ ජීවිතයට කිසිදා යහපත් දෙයක් සිදු නොවනු ඇත.

විශ්ව ආකර්ෂණ නීතිය භාවිත කොට ලෝකයේ මිලියන ගණනාවක මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල්, තමන්ගේ සිහින, තමන් කැමැති දේවල් තමන්ගේ ජීවිතයට ලබාගෙන ඇත. ආකර්ෂණ නීතිය යනු තමන්ගේ සිහින සැබෑ කරන නීතියක් ලෙස දැක්වීමට හැකිය. මෙම නීතිය හසුරුවන ආකාරයක් ඇත. ඇතැම් අය විශ්ව ආකර්ෂණ නීතිය භාවිත කර ඇති නමුත් තමන්ගේ හීන, බලාපොරොත්තුවලට ළඟා වීමට හැකියාවක් නොලැබී තිබිය හැකිය. එනිසා ඇතැමුන් මෙය මුළාවක්, බොරුවක්, වංචාවක් ලෙස හැඳින්වීමට ඉඩ පවතී. ඒ ඔවුන් නිසියාකාරව විශ්ව ආකර්ෂණ නීතිය තේරුම් නොගැනීමත්, හරියාකාරව හසුරුවා ගැනීමට නොදන්නා නිසාවෙන් විය හැකිය.

විශ්ව ආකර්ෂණ නීතිය ඇත්තක්ද?

විශ්ව ආකර්ෂණ නීතිය යන්න 100%ක්ම සත්‍යයකි. එය නිසියාකාරව යොදවා ගැනීමට දන්නේ නම් එහි ප්‍රතිඵල ළඟා කරගත හැකිය. අද වන විට බොහෝ පිරිස් මෙම නීතිය භාවිත කරන ආකාරය පිළිබඳ බොහෝසෙයින් කරුණු ඉදිරිපත් කරනු ලබයි. ඒ සියල්ලම සිදු කළත් තමන් සිටින ආකාරය වෙනස් නොකරන්නේ නම් එය සාර්ථක නොවිය හැකිය. අපේ මනස ඉතාම විශ්මයජනකය. අපි සිතන පතන ඕනෑම දෙයක් මේ භෞතික ලෝකයට ගෙන්වා ගැනීමට අපට හැකියාව පවතී. අද වන තුරු ඔබේ ජීවිතයට ලැබී ඇති ඍණාත්මක හෝ ධනාත්මක දේවල් සියල්ලම ලැබී ඇත්තේ විශ්ව ආකර්ෂණ නීතිය නිසාවෙනි. එයට බලපානු ලබන්නේ තමාගේම මනසයි. තමාගේ මනස, සිතුවිලි, හැඟීම් යන දේවල් එක්ක සිතන පතන දේවල් ජීවිතයට ළඟා වීම සිදු වේ. මේ ලෝකයේ තිබෙන ඕනෑම දෙයක් පළමුව මිනිසාගේ මනසට පැමිණෙන්නේ කිසියම් වූ අදහසක් ලෙසිනි; කිසියම් වූ රූපයක් ලෙසටය. ඉන්පසුව විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ ඒ දේවල් ක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි. මිනිසාගේ මනසෙහි ඇඳෙන කිසියම් ආකාරයක සිහිනයක් එහි විශාලත්වය මත හකුළුවා නොගෙන තම ජීවිතයට ළඟා කර ගැනීමට හැකියාව සැබවින්ම පවතී.

අපේ හීන සැබෑ නොවන්නේ ඇයි?

ඔබ කොතරම් උත්සාහ කළත් ඔබගේ ජීවිතයට අවශ්‍ය දේවල් නොලැබී තිබෙන්නට පුළුවන්. එයින් විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ විශ්වාසය නොමැති වීම ද සිදු විය හැකිය. මේ තාක් ඔබගේ ජීවිතයට ලැබී ඇති සියල්ල ලැබී ඇත්තේ විශ්ව ආකර්ෂණ නීතිය නිසාවෙනි. ඒ අනුව එය නිතරම තමන්ගේ ජීවිතය හා බැඳී සිටියි. එය සිතාමතා සිදු කළ ද, නොකළ ද එය තමාගේ ජීවිතය තුළ නිතරම ක්‍රියා කරන දෙයකි. එය ක්‍රියා කරන්නේ තමන් සිටින ආකාරය, තමාගේ සිතුවිලි මත, තමාගේ හැඟීම් සමඟ මෙන්ම එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය මතය. ඒ අනුව තමාගේ මනස යහපත්ව කටයුතු කිරීම මෙහිදී වැදගත් වන්නේය.

ආකර්ෂණ නීතිය ධනාත්මක සහ ඍණාත්මක දේවල වෙනස හඳුනන්නේ නැත.

කොතරම් විශ්ව ආකර්ෂණ නීතිය භාවිත කළත් ඇතැම් පුද්ගලයන්ට සුබවාදී දේවල් සිදු නොවනු ඇත. එසේ වන්නේ එම පුද්ගලයන් සිටින ආකාරය අනුවය. උදෑසන අවදි වූ මොහොතේ පටන් ඔබ ජීවත් වන්නේ ජීවිතය පිළිබඳ කලකිරීමකින් නම්, ජීවිතයට චෝදනා කරමින් නම්, අනෙක් අයට වෛර කරමින්, ඊර්ෂ්‍යා කරමින් නම්, ජීවිතය පිළිබඳ දුකකින් පසුතැවීමකින් නම්, ජීවත් වන්නේ ඕනෑවට එපාවට නම්, ඔබේ ජීවිතයට අනාදරයෙන් ක්‍රියා කරන්නේ නම් ඔබේ ජීවිතයට කිසිදා යහපත් දෙයක් සිදු නොවනු ඇත. ඔබ සිටින ආකාරය අනුව විශ්වය විසින් ඔබ සිටිය යුතු ආකාරය පිළිබඳ තීරණය කරනු ලබයි. ඒ සඳහා අපේ මනස, ක්‍රියාකාරකම් බෙහෙවින් බලපානු ලබයි. ඍණාත්මක දේවල් ආකර්ෂණය කරගනු ලබන්නේ ඍණාත්මක දේවල්මය. ඒ අනුව අප විසින් ගොඩනඟා ගන්නා දේවල් අනුව විශ්වයෙන් දේවල් අපට ලැබෙනු ඇත. “ඇයි මට මෙහෙම වෙන්නේ?” යනුවෙන් ඇතැම් අය තමාටම චෝදනා නැඟුව ද තමන් සිටින ආකාරය දෙස හැරී නොබලනු ඇත. තමාගේ ජීවිතය දෙස කලකිරීමෙන් බලන තාක් කල් තමාගේ ජීවිතයට එකතු වන්නේ දුක සහ කලකිරීම් පමණය. ධනාත්මක පැතිකඩ ද එලෙසමය. නිතරම ජීවිතය පිළිබඳ සතුටින් ගත කරන්නේ නම්, නිතරම ජීවිතය විඳින්නේ නම්, ජීවිතය පිළිබඳ අවබෝධයකින් සිටින්නේ නම්, ජීවිතයේ මෙතෙක් ලැබී ඇති දේවල්වලට ස්තුතිවන්ත වන්නේ නම් විශාල මහන්සියක් නොවී ඔබේ ජීවිතයට යහපත් දේවල් විශ්වය විසින් ළඟා කර දෙනු ලබයි. ඉතින් සතියක් පසුපසට ගොස් තමන් මෙතෙක් කල් ගත කළ ආකාරය සිතා බලන්න. තමන්ගේ ජීවිතයට ධනාත්මක, ලස්සන දේවල් ළඟා කර ගැනීමට අවශ්‍ය නම්, ඔබේ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ මනස, ක්‍රියාවන්, යහපත් ලෙස වෙනස් කර ගැනීම සුදුසු වේ. අපි සිටින ආකාරය අනුව පැය විසිහතර පුරාම විශ්ව ආකර්ෂණ නීතිය අප වටා බැඳී පවතී. අපි ජීවත් වන ආකාරය අනුව අපේ අනාගතය තීරණය වනු ඇත. පෙර සිදුවීම් නිසා ජීවිතයේ මිහිරි තැන් මඟහැර ගැනීමට ඉඩ නොදී තමා විසින්ම ජීවිතය යහපත් කර ගැනීමට හැකියාව පවතී.

 

TEXT – ප්‍රබෝධනි ගුණසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?