නීරෝගි බව තරම් උතුම් සම්පතක් මෙලොව තවත් ඇත්ද? බෝ නොවන රෝගවලින් නොපෙළෙන පවුල් සොයා ගැනීම අද වන විට නොමළ ගෙයකින් අබ ඇට සෙවී
මක් හා සමානය. එක් පවුලක එක් අයෙක් හෝ බෝ නොවන එක් රෝගයකින් හෝ පෙළෙයි.
මෙවන් වකවානුවක මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් වෙතින් ඉටුවනුයේ නොනිමි මෙහෙවරකි. ගැබිනි මවක්, අලුත උපන් දරුවකු සිටින නිවෙසක් වෙත පියනඟන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් කොතෙකුත් අපේ නෙත ගැටී ඇතත්, නිවෙසටම පැමිණ වැඩිහිටියන් ඇතුළු පවුලේ සෙසු පිරිසගේ සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳ සොයා බලන හෙද නිලධාරීන් අපට තවමත් ආගන්තුක වූවකි.
ඇත්තටම මොකක්ද මේ මහජන සෞඛ්‍ය හෙද සේවාව කියන්නේ?
මෙය සාමාන්‍ය හෙද සේවාවේම තවත් එක් දිගුවකි. මේ සේවාවේ නියැළෙන්නේ රෝහල්වල සේවය කරන සාමාන්‍ය හෙද නිලධාරීන්මයි. තුන් අවුරුදු හෙද පුහුණුවෙන් පසු අවම වසර දෙකක් හෝ රෝහල් සේවාවේ නිරතව සිටින හෙද නිලධාරීන්ට වසරක කාලයක් මහජන සෞඛ්‍ය හෙද නිලධාරි ඩිප්ලෝමාව හැදෑරීමෙන් පසු මහජන සෞඛ්‍ය හෙද නිලධාරි තනතුර සඳහා ඉල්ලුම් කළ හැකියි.
මේ සඳහා මුලින්ම මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් බඳවාගෙන ඇත්තේ 2018 වසරේදීය. මීට පෙර මහජන සෞඛ්‍ය හෙද සේවාව 1920 ගණන්වල ක්‍රියාත්මක වී ඇත.
මහජන සෞඛ්‍ය හෙද සේවාවක් අවශ්‍ය වන්නේ ඇයි?
දියවැඩියාව, හෘදය සහ රුධිරවාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග වන හෘදයාබාධ, අංශභාගය, පිළිකා, එසේම පෙණහලු රෝග, වකුගඩු රෝග ඇතුළු බෝ නොවන රෝග නිසා මිය යන සංඛ්‍යාව එන්න එන්නම වැඩි වී තිබේ. නමුත් මෙය අවදානම් සාධක හඳුනා ගැනීමෙන් පසු වළක්වා ගත හැකි මෙන්ම පාලනය කළ හැකි තත්ත්වයකි. ඒ සඳහා දැනුවත් කිරීම සහ මුලින්ම හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා උපකාර කිරීම සහ උපදෙස් ලබාදීම මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ගේ ප්‍රධානම කාර්යභාරයයි. ඊට අමතරව සහන සත්කාර සේවාවේ හෙවත් ජීවිත අනතුරක් සිදුවූ විට, තවදුරටත් සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන එහෙත් එක්තැන්ව නිවෙසේ ප්‍රතිකාර ලබන රෝගීන් සිටියි. ඒ අයට අවශ්‍ය වන:
Wound care
තුවාලවලට බෙහෙත් දැමීම
Body checkup
මූලික පරීක්ෂණ
Urine catheterization
මුත්‍රා බට දැමීම
NG insertion
නහයෙන් බට දැමීම
Colostomy care කොලොස්ටොමි සාත්තුව (ගුද මාර්ගයෙන් මල පිට කළ නොහැකි අවස්ථාවලදී බඩවැල් කොටසක් කපා ඉවත් කර මල පිටතට ගන්නේ උදරයෙනි. මෙහිදී බෑග් එකකට මලපහ නොනවත්වා පිට වෙයි. විෂබීජ නොයන ලෙස එය පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපදෙස් සහ සහය නිවෙසේ අයට ලබා දේ.)
Blood sample collection
රුධිර සාම්පල පරීක්ෂාව වැනි සේවාවන් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් විසින් සපයයි.
එක්තැන්ව සිටින රෝගියා බලා ගන්නා තැනැත්තා ඇතුළු පවුලේ අයගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය, මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සොයා බලා ඊට අවැසි පිළියම් යොදයි.
රෝගියකුට කැතීටර් එකක් දැම්මා යැයි අපි සිතමු. ඉන්පසු ඊළඟට කැතීටර් එක මාරු කරන දිනයට පැමිණ එම කර්තව්‍යය ඉටු කරයි. ඒ අතරතුර රෝගියාට ඒ සම්බන්ධ ගැටලු පැමිණියහොත් හෙද නිලධාරියා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගෙන අවශ්‍ය උපදෙස් ලබා ගත හැකියි. දුරකතනය ඔස්සේ විසඳා ගත නොහැකි වූයේ නම් මහජන සෞඛ්‍ය හෙද නිලධාරියා නිවෙසට නැවත පැමිණෙනු ඇත. ඒ අනුව බෝ නොවන රෝග වළක්වා ගැනීමේ ඉලක්කය පෙරදැරි කරගෙන මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ගේ සහය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වූවක් බවට පත්ව තිබේ. මේ සඳහා ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයේම හෙද නිලධාරීන් බඳවා ගැනේ.
කොහොමද අපි මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සම්බන්ධ කරගන්නේ?
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සිටිනුයේ දිස්ත්‍රික් රෝහල්, ප්‍රජා සෞඛ්‍ය සේවා සපයන ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකවල ඇති සුවදිවි මධ්‍යස්ථානවලයි. මහ රෝහල්වල මේ අය නැත. අද වන විට මේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන ආරෝග්‍යා මධ්‍යස්ථාන ලෙස නවීකරණය වේ. ඒ සියල්ලකම මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සිටියි.
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සිටිනුයේ ආයතන භාර වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේයි. ඒ අනුව කෙෙනකුට මොවුන්ගේ සහය අවශ්‍ය වන්නේ නම් වෛද්‍ය නිලධාරියාගේ යොමු කිරීමක් (Referral) අවශ්‍ය වේ. මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ඍජුවම සම්බන්ධ කරගෙන අදාළ සේවාවන් ඉටු කරගත නොහැකියි.
ත්‍රිකුණාමලය, මුලතිව්, වවුනියා යන දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක සියල්ලකම පාහේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 200ක පමණ පිරිසක් ගිලනුන්ට තම සේවය නොමසුරුවම සපයයි.
වයස අවුරුදු 35ට වැඩි, දැනට තමා බෝ නොවන රෝගයකින් පෙළෙන බව නොදන්නේ නම් එවැනි අයට සුවදිවි මධ්‍යස්ථානයකට ගොස් ලියාපදිංචි වී රෝග නිර්ණයන් සඳහා අවශ්‍ය වන පරීක්ෂණවලට සහභාගි විය හැකියි. මේවා සිදු කරන්නේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් විසිනි.
මෙහිදී රුධිර පීඩන මට්ටම, රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම, උස, බර මැන නිවැරදි BMI අගයක සිටී ද යන්න, දුම්කොළ හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගන්නා අය මුඛ පිළිකා තත්ත්වයේ සිටී ද යන්න, පියයුරු පිළිකා හඳුනා ගැනීම, ගැබ්ගෙල පිළිකා සඳහා සුවනාරි සායන වෙත යොමු කිරීම, රසායනාගාර පරීක්ෂණ කිරීමේ පහසුකම් ඇත්නම් වකුගඩු සඳහා වන ක්‍රියටිනින් (Creatinine) පරීක්ෂාව ද සිදු කරයි.
මෙහිදී අවුරුදු 10ක් ඇතුළත හෘදයාබාධයක් ඒමට ඇති අවදානම කොතරම් දැයි තක්සේරු කරයි. බෝ නොවන රෝග අවදානමේ සිටින අයට උපදෙස්, ආහාර පාලන රටා පිළිබඳ උපදෙස් ආදිය ලබා දේ. මේ සඳහා බලපා ඇත්තේ මානසික ආතතිය නම් ඊට අවශ්‍ය මානසික සෞඛ්‍යමය උපදෙස් ද ලබාදේ.
මත්ද්‍රව්‍ය, දුම්වැටි සඳහා ඇබ්බැහි වූවන් එම ඇබ්බැහියන්ගෙන් මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳ ද උපදෙස් ලබා දේ. විටෙකදී වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් කරා යොමු කෙරේ.
Personal Health Record එකක් පවත්වාගෙන යන්නේද?
Personal Health Record ලෙස වෙනමම එක් එක් රෝගියා වෙනුවෙන් පොතක් පවත්වා ගෙන යනු ලැබේ. රෝග අවදානමක් නැති අයට වසරකට වරක් පැමිණ අදාළ මූලික පරීක්ෂණ කරගෙන නීරෝගි බව සාක්ෂාත් කරගත හැකියි. ඒ සඳහා සහභාගි වීමට නොහැකි අයට බෝ නොවන රෝග සඳහා වන ජංගම සායන පවත්වයි.
වයස අවුරුදු 35 ට වැඩි අය කෙරෙහි මූලික අවධානය යොමු කළත්, අවුරුදු 35ට අඩු කෙනෙක් බෝ නොවන රෝග සම්බන්ධයෙන් යම් අවදානමක සිටී නම් ඒ ගැන ද සොයා බලයි.
වැඩිහිටියන් සඳහා වන සහන සත්කාර වැඩසටහන ගැනත් සඳහනක් කරමු.
නිවෙසේ සිටින වැඩිහිටියන් ඩිමෙන්ෂියා තත්ත්වයෙන් සිටී නම් ඔවුන්ව වැටෙන්නේ නැතිව රැක බලා ගන්නා අන්දම, ආහාර රටාවන් ආදිය ගැන ද උපදෙස් ලබාදේ. ඇඳටම සීමා වී සිටින රෝගියා මිය යනතුරුම රැකබලා ගන්නා සහන සත්කාරක වැඩසටහන ද ක්‍රියාත්මක කරන්නේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් විසිනි. රෝගියා බලා ගන්නා තැනැත්තාට සහය වීම මෙහිදී සිදුවේ.
ඉදිරියේදී ආරෝග්‍යා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වීමෙන් අඩු ජනගහනයක් එක් මහජන සෞඛ්‍ය හෙද නිලධාරියකු වෙනුවෙන් වෙන් කෙරෙනු ඇත. එවිට ග්‍රාම සේවා වසම්වල සිටින පවුල් සඳහා මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්ව තවතවත් සමීප වීමට හැකිවනු ඇත. නව බඳවා ගැනීම් බොහෝ ප්‍රමාණයක් ද සිදුවෙමින් පවතී. එවිට මෙම සේවාව තවතවත් මහජනයා අතර ව්‍යාප්ත වනු ඇත.
මහජන සෞඛ්‍ය හෙද නිලධාරියා යනු ඔබේ පවුලේ හෙද නිලධාරිනියයි. ඔබට නීරෝගි දිවියකට අවැසි මඟ සදන්නියයි.
TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
