Monday, March 23, 2026
Epaper
Home විශේෂාංගනොදැනුවත්වම වඳභාවයට පාර කපන ක්ලැමිඩියා

නොදැනුවත්වම වඳභාවයට පාර කපන ක්ලැමිඩියා

by Shanaka Lakehouse

වර්තමාන සමාජය තුළ ලිංගික සෞඛ්‍යය පිළිබඳ කතාබහ තවමත් යම් මට්ටමක රහස්‍ය ස්වභාවයක් ගත්තද, ඒ පිළිබඳව නිසි දැනුවත්භාවයක් නොමැතිකම නිසා බොහෝ දෙනා බරපතළ රෝගාබාධවලට ගොදුරු වෙති.

ලොව පුරා බහුලවම වාර්තා වන බැක්ටීරියා ලිංගාශ්‍රිත ආසාදනයක් ලෙස ක්ලැමිඩියා (Chlamydia Trachomatis) හඳුනාගත හැකිය. මෙය විශේෂ වන්නේ රෝගය වැලඳුණු බොහෝ දෙනෙකුට එහි රෝග ලක්ෂණ මුල් අවධියේදී මතු නොවන බැවිනි. ඒ සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සමඟ සිදු කළ කතාබහක් ඇසුරෙනි.

ආසාදනය සිදු වන්නේ කෙසේද?

ක්ලැමිඩියා ආසාදනය ඇතිවන්නේ Chlamydia trachomatis යන බැක්ටීරියාව නිසාවෙනි. මෙම ආසාදනය බොහෝ විට ලිංගිකව සම්ප්‍රේෂණය වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ යෝනි මාර්ගය හරහා සිදුවන ලිංගික සම්බන්ධතාවලට අමතරව, ගුද මාර්ගය හෝ මුඛ ලිංගික සම්බන්ධතා (Oral sex) හරහාද මෙම බැක්ටීරියාව ශරීරගත විය හැකි වීමයි. ලිංගික ප්‍රදේශවලට අමතරව ගුද මාර්ගය, උගුර ආශ්‍රිතව මෙන්ම ඇස්වලද මෙම ආසාදනය ඇතිවිය හැකිය.

හඳුනාගත හැකි රෝග ලක්ෂණ

ක්ලැමිඩියා ආසාදනය “නිහඬ ආසාදනයක්” ලෙස හඳුන්වන්නේ ආසාදිතයන්ගෙන් විශාල ප්‍රතිශතයකට කිසිදු ලක්ෂණයක් මුලදී පෙන්නුම් නොකරන බැවිනි. කෙසේ වෙතත්, රෝගය වර්ධනය වන විට පහත රෝග ලක්ෂණ මතු විය හැකිය:

කාන්තාවන් හට: යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ශ්‍රාවයන් පිටවීම, මුත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල, යටි බඩේ වේදනාව, ලිංගික සම්බන්ධතාවලදී දැනෙන අපහසුතාව හෝ වේදනාව මෙන්ම ඔසප් චක්‍රයේ අක්‍රමතාවන් (උදාහරණ ලෙස ඔසප් වාර දෙකක් අතරතුර ලේ වහනය වීම) ඇතිවිය හැකිය.

පිරිමි පුද්ගලයන් හට: මූත්‍රා මාර්ගයෙන් වතුර වැනි අසාමාන්‍ය ශ්‍රාවයන් පිටවීම, මුත්‍රා දැවිල්ල හෝ වෘෂණ කෝෂ ආශ්‍රිතව ඇතිවන වේදනාව සහ ඉදිමීම ප්‍රධාන වේ.

ප්‍රතිකාර ප්‍රමුඛ කරගත යුත්තේ ඇයි? (සංකූලතා)

ක්ලැමිඩියා ආසාදනය නිසි ලෙස හඳුනා නොගැනීම සහ ප්‍රතිකාර ලබා නොගැනීම නිසා දිගුකාලීන සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වේ.

කාන්තාවන්ට: බැක්ටීරියාව ඉහළට ගමන් කිරීම නිසා ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල ආසාදනය වේ (Pelvic Inflammatory Disease – PID). මෙහි ප්‍රතිඵලයක් ලෙස ගර්භාශයෙන් පිටත දරුගැබ් පිහිටීම (Ectopic Pregnancy) හෝ ස්ථිර වඳභාවයට පත්වීමට ඉඩ ඇත.

පිරිමින්ට: වෘෂණ කෝෂ හා අභිවෘෂණය (Epididymis) ආසාදනය වීම නිසා දරුපල අහිමි වීමට හේතු විය හැකිය.

පොදු: කලාතුරකින් මෙම ආසාදනය නිසා සන්ධි ආශ්‍රිතව ‘ප්‍රතික්‍රියාශීලි ආතරයිටීස්’ (Reactive Arthritis) වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය.

පරීක්ෂණ සහ රෝග විනිශ්චය

ඔබට කිසියම් සැකයක් ඇත්නම් වහාම වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම වැදගත්ය.

පිරිමින් සඳහා මූත්‍රා සාම්පලයක් මඟින් පරීක්ෂාව සිදු කරයි.

කාන්තාවන් සඳහා යෝනි මාර්ගයෙන් ලබා ගන්නා සාම්පලයක් (Swab) මඟින් ක්ලැමිඩියා PCR පරීක්ෂණයක් සිදු කිරීම මඟින් බැක්ටීරියාව නිවැරදි ලෙස හඳුනාගත හැකිය.

ප්‍රතිකාර ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

ක්ලැමිඩියා ආසාදිත බවට තහවුරු වුවහොත් හෝ සැක කරන්නේ නම්, වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක (Antibiotics) ඖෂධ නිසි මාත්‍රාවෙන්, නියමිත කාලසීමාවට ලබා දීම අත්‍යවශ්‍යය.

ගර්භිණි කාන්තාවක් නම් ඒ බව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට පැවසිය යුතුය. එවිට දරුවාට හානිකර නොවන සුදුසු ප්‍රතිජීවක ලබා දීමට වෛද්‍යවරයා පියවර ගනු ඇත.

ක්ලැමිඩියා ආසාදිත පුද්ගලයකු තම ලිංගික සහකරුවන්ටද ප්‍රතිකාර ලබාදීම අනිවාර්ය වේ. එසේ නොවුණහොත්, ඔබ සුව වූ පසු නැවතත් සහකරුගෙන් ඔබට රෝගය බෝ විය හැකිය. (Re-infection)

එක් ලිංගාශ්‍රිත රෝගයක් පවතින විට HIV සහ උපදංශය (Syphilis) වැනි අනෙකුත් රෝගද වැලඳීමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා ද පරීක්ෂා කිරීම වැදගත්ය.

ප්‍රතිකාර අවසන් වනතුරු රෝගියා මෙන්ම සහකරුද ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටිය යුතුය.

ගර්හිණී මවගෙන් දරුවාට බෝවීම

ආසාදිත ගර්හිණී මවක් සාමාන්‍ය දරු ප්‍රසූතියේදී, දරුවා යෝනි මාර්ගය හරහා ගමන් කරන විට ක්ලැමිඩියා විෂබීජය දරුවාගේ ඇස්වල තැවරීමෙන් ආසාදනය විය හැකිය. මෙය දරුවාගේ පෙනීමට පවා බලපෑම් කළ හැකි අතර සමහර විට පෙණහලු ආසාදන (Pneumonia) ඇති කිරීමටද ඉඩ ඇත. මේ නිසා ගර්හිණී සමයේදී රෝග ලක්ෂණ ඇත්නම් වහාම පරීක්ෂා කර ප්‍රතිකාර ගැනීමෙන් දරුවා ආරක්ෂා කර ගත හැකිය.

ආසාදනය වළක්වා ගන්නේ කෙසේද?

● සෞඛ්‍යසම්පන්න, නීරෝගි ලිංගික ජීවිතයක් සඳහා පහත පියවර අනුගමනය කිරීම වැදගත්ය.

● විශ්වාසවන්ත එක සහකරුවකුට හෝ සහකාරියකට පමණක් ලිංගික සම්බන්ධතා සීමා කිරීම.

● සෑම ලිංගික සම්බන්ධතාවකදීම කොන්ඩමයක් නිවැරදිව භාවිත කිරීම.

● අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූයේ නම්, රෝග ලක්ෂණ මතු වන තෙක් නොසිට ළඟම ඇති ලිංගාශ්‍රිත ආශ්‍රිත රෝග සායනයකින් (STD Clinic) පරීක්ෂා කර ගැනීම.

ක්ලැමිඩියා යනු නිසි ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි. වැදගත් වන්නේ නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ රෝගය පැතිරීම වැළැක්වීමට වගකීමෙන් කටයුතු කිරීමයි.

 

TEXT – චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?