අප නිතර දෙවේලේ භාවිත කරන ඖෂධ අතර කැල්සියම් පෙත්ත ප්‍රධාන වේ. කැල්සියම් යනු ශරීරයට අත්‍යවශ්‍යම සංඝටකයකි. ශරීරයේ
කැල්සියම් හිඟ වන විට පිටතින් කැල්සියම් ලබා ගැනීමේදී, ඒ පිළිබඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය. අද අපි කැල්සියම් පෙත්ත ගැන කතා කරමු.
කැල්සියම් යනු කුමක්ද?
කැල්සියම් යනු මිනිස් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ඉතා වැදගත් වන අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍යයකි. මිනිස් ශරීරයේ ඇති ඛනිජ අතරින් වැඩිම ප්‍රමාණයක් පවතින්නේ කැල්සියම්ය. ශරීරයේ තිබෙන මුළු කැල්සියම් ප්‍රමාණයෙන් සම්මත වශයෙන් 99%ක් අස්ථි සහ දත් තුළ ගබඩා වී ඇත. එමඟින් අස්ථි හා දත් ශක්තිමත් වීම, ඒවායේ ඝනත්වය පවත්වා ගැනීම සහ ඒවායේ සාමාන්‍ය ව්‍යූහය රැක ගැනීම සිදු වේ. ඉතිරි කුඩා ප්‍රමාණය රුධිරය, මාංශ පේශි සහ වෙනත් ශරීර පටක තුළ පවතින අතර, එය ශරීරයේ වැදගත් ජෛව ක්‍රියාකාරකම් රාශියකට දායක වේ.
කැල්සියම් ජීවිත කාලය පුරාම අස්ථි වර්ධනයට සහ ඒවා පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. ළමා කාලයේ සහ යොවුන් වියේදී අස්ථි වේගයෙන් වර්ධනය වන නිසා එම කාලයේදී කැල්සියම් අවශ්‍යතාව වැඩි වේ. ශරීරයට ප්‍රමාණවත් කැල්සියම් නොලැබේ නම් අස්ථි ක්‍රමයෙන් දුර්වල වී, ඝනත්වය අඩුවී බිඳී යාම පහසු විය හැකිය.
අස්ථි සෞඛ්‍යයට අමතරව කැල්සියම් ශරීර ක්‍රියාකාරකම් සඳහා ද අවශ්‍ය වේ. එය මාංශ පේශි හැකිළීම සඳහා වැදගත් වන අතර හෘද මාංශ පේශිය නිසි ලෙස ක්‍රියා කිරීමට ද උපකාරී වේ. එසේම මොළය සහ ශරීරයේ සෙසු කොටස් අතර ස්නායු පණිවිඩ හුවමාරුව සඳහා ද කැල්සියම් වැදගත් වේ.
තවත් වැදගත් කාර්යයක් වන්නේ රුධිරය කැටි ගැසීමයි. ශරීරයට තුවාලයක් වූ විට රුධිරය වහනය වීම නැවැත්වීමට කැල්සියම් අවශ්‍ය වේ. එසේම ශරීරයේ බොහෝ එන්සයිම සහ හෝමෝනවල ක්‍රියාකාරීත්වය සඳහා ද කැල්සියම් දායක වේ.
මිනිස් ශරීරය ස්වාභාවිකව කැල්සියම් නිපදවන්නේ නැති නිසා එය ආහාර හෝ ඖෂධ මඟින් ලබා ගත යුතුය. කැල්සියම් බහුල ආහාර ලෙස කිරි, චීස්, යෝගට්, සාලයා සහ හුරුල්ලා වැනි කුඩා මාළු, ආමන්ඩ් සහ කොළ පැහැති එළවළු හඳුන්වා දිය හැකිය.
බොහෝ පුද්ගලයන්ට දිනපතා ආහාරයෙන් ප්‍රමාණවත් කැල්සියම් නොලැබෙන බැවින් කැල්සියම් හිඟයක් ඇති විය හැකිය. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නොලැබෙන විට, රුධිරයේ කැල්සියම් මට්ටම සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ශරීරය විසින් අස්ථිවල ඇති කැල්සියම් ලබා ගැනීමට පටන් ගනී.
මෙය දිගු කලක් සිදු වුවහොත් අස්ථි දුර්වල වී බිඳී යාමේ අවදානම වැඩි වේ. දිගුකාලීන කැල්සියම් හිඟය නිසා ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis) වැනි රෝග ඇති විය හැකිය. වැඩිහිටියන්ට ඔස්ටියෝමැලේෂියා (Osteomalacia) නම් රෝගය ඇති විය හැකි අතර, එවිට අස්ථි මෘදු වී වේදනාව හටගනී. ළමයින්ට කැල්සියම් සහ විටමින් D හිඟ වූ විට රිකට්ස් (Rickets) රෝගය ඇති විය හැකිය. එවිට අස්ථි ඇද වීම, වර්ධනය ප්‍රමාද වීම සහ අස්ථි ආකෘතිය වෙනස් වීම වැනි ගැටලු ඇති වේ.
එබැවින් මුළු ජීවිත කාලය පුරාම ප්‍රමාණවත් කැල්සියම් ලබා ගැනීම අස්ථි සෞඛ්‍යය, මාංශ පේශි සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මෙන්ම සමස්ත සෞඛ්‍යය සඳහාම ඉතා වැදගත් වේ.
කැල්සියම් පෙති වර්ග
කැල්සියම් ඖෂධ විවිධ ආකාරවලින් ලබාගත හැකිය. මේවා එකිනෙකට වෙනස් වන්නේ ඒවායේ අඩංගු මූලද්‍රව්‍යමය කැල්සියම් (Elemental Calcium) ප්‍රමාණය, ශරීරයට උරා ගැනීමේ හැකියාව සහ ආමාශයට ඇති බලපෑම අනුවය. වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් රෝගියාගේ වයස, ජීර්ණ පද්ධතියේ තත්ත්වය සහ අනෙකුත් රෝගී තත්ත්වයන් අනුව සුදුසු කැල්සියම් වර්ගය තීරණය කරයි.
Calcium Carbonate: මෙහි 40%ක් මූලද්‍රව්‍යමය කැල්සියම් අඩංගු බැවින් වැඩි කැල්සියම් ප්‍රමාණයක් ලබා ගත හැකිය. මෙය හොඳින් උරා ගැනීමට ආමාශයික අම්ල අවශ්‍ය වන බැවින් ආහාරයෙන් පසු ගැනීම සුදුසුය.
Calcium Citrate: මෙහි කැල්සියම් ප්‍රමාණය 21%ක් පමණ වුවද, එය ශරීරයට පහසුවෙන් උරාගනී. ආමාශයික අම්ල අඩු වැඩිහිටියන්ට සහ ගැස්ට්‍රයිටිස් රෝගීන්ට මෙය වඩාත් සුදුසුය. මෙය ආහාර සමඟ හෝ රහිතව ගත හැකිය.
Calcium Lactate:
මෙහි කැල්සියම් ප්‍රමාණය අඩු වුවද ආමාශයට වන බලපෑම අවම බැවින් අතුරු ආබාධ අඩුය.
Calcium Gluconate: මෙහි කැල්සියම් ප්‍රමාණය ඉතා අඩුය. මෙය ප්‍රධාන වශයෙන් රෝහල්වලදී එන්නත් ලෙස හදිසි ප්‍රතිකාර සඳහා භාවිත කරයි.
භාවිත කරන සහ නොකළ යුතු අවස්ථා
කැල්සියම් පෙති ප්‍රධාන වශයෙන් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වළක්වා ගැනීමටත්, ගර්භිණී හා කිරි දෙන මවුවරුන්ටත්, රුධිරයේ කැල්සියම් අඩු (Hypocalcemia) අයටත් නිර්දේශ කෙරේ.
කෙසේ වෙතත්, රුධිරයේ කැල්සියම් මට්ටම දැනටමත් වැඩි අය, වකුගඩු ගල් ඇති අය සහ වකුගඩු අකර්මණ්‍යතාව ඇති රෝගීන් කැල්සියම් පෙති ගැනීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය.
අතුරු ආබාධ
මලබද්ධය, බඩ පුරවා දැමීම සහ අජීර්ණය වැනි සුළු අතුරු ආබාධ ඇති විය හැකිය. අධික මාත්‍රාවක් දිගු කලක් ගැනීමෙන් හයිපර්කැල්සීමියාව (Hypercalcemia) ඇති විය හැකි අතර, එහි ලක්ෂණ වන්නේ අධික පිපාසය, වැඩිපුර මුත්‍රා පිටවීම, අලස බව සහ වමනයයි.
TEXT – විදුමිණි දිසාකරුණා
